පොත ඇතිදා, පොත නැතිදා | සිළුමිණ

පොත ඇතිදා, පොත නැතිදා

“පොත (book) කියන්නේ ලොව පහළවූ උසස්තම ඥාන දායාදයයි. පොතක් බිහි නොකළ රටක්, සංස්කෘතියක් වෙතොත් එය මහා පුදුමයක්. මානවයාත් පොතත් අතර පවතින්නේ පරම්පරානුගත නොබිදිය හැකි සම්බන්ධතාවකි. ඒ නිසා පොත කියන්නේ කුමක්ද? ඉන් සිදුවූ සෙත කුමක්ද යන්න විටින් විටම තක්සේ‍රු කිරීමට සිදුවේ. “මෙසේ සඳහන් වන්නේ යුනෙස්කෝ මැක්බ්‍රයිඩ් වාර්තාව (UNESCO Mac Bride Report) නමින් හැඳින්වෙන Many Voices, One World නමැති මාහැඟි නිබන්ධනයෙහි ය. එහිලා තවදුරටත් සඳහන් වෙන සාධක හා කාරණා අද සන්නිවේදන අධ්‍යයනය සඳහා අපූරු ශාස්ත්‍රීය පසුබිමක් සපයන බව පෙනේ. ඒ කෙසේද යත්

“පොත මානවයා විසින් පුදනු ලැබුවේ තම චින්තනය හා ඥානය ගබඩාකර තැබිය හැකි නිදන් සාගරයක් ලෙසිනි. මේ වග අපට සන්නිවේදන ඉතිහාසය, චීන සන්නිවේදනය, ඉන්දියානු සන්නිවේදනය, ඊජිප්තියානු හා රෝම සන්නිවේදන සංස්කෘතින් හදාරන විට පෙන්නුම් කෙරේ.”

එහිලා සටහන් වන්නේ, the invaluable repository of thought and knowledge was the book (P 06) යනුවෙනි.

“සන්නිවේදන ඉතිහාසයේ ප්‍රාචීන සංස්කෘතීන් හා ප්‍රතිචීන සංස්කෘතීය එක්සත් කරන්නේත්, හේතුවක් තනන්නේත් පොත” යයි සඳහන්වේ. පොත යන යෙදුම නිසා ‘පොතුගුල’, ‘පොත් වහන්සේ’, ‘පොත් ගුල්ලා’, ‘පොතපත’, ‘පොතින් පතින් වැඩ ගැනීම’, ‘අත්පොත් තැබීම’ යනාදී සන්නිවේදනාර්ථ සංවාදයක් බිහි විය. මේ අනුව අද පවතින පොත් සංස්කෘතිය (Book Culture) යන්නෙහි සම්භවය හා ව්‍යාප්තිය වටහා ගැනීමට පර්යේෂණ රැසක් පවත්වා ඇති බවත් සිහි කටයුතු ය. මුලින් වාචිකව හා කටවහරින් (Verbal) පැවැති බොහෝ දේ කෙමෙන් සටහන් කර තැබීමේ අවශ්‍යතාව අනුව ලේඛනය බිහිවිය. ලේඛනය හෙවත් ලිවීම පටන්ගත්තේ කිනම් රටක ද යන්න සොයා ගැනීම අපහසු ය. එසේම එම සොයා ගැනීමට වඩ වඩා දායකවන්නේ කිනම් කරුණු සටහන් කර තැබීම සඳහා ලේඛනය අවශ්‍ය වීද යන්න හඳුනාගැනීම අවශ්‍ය විය. ලේඛනය ප්‍රාචීනවාදී බොහෝ රටවල මුලින් ම සිදුවී යැයි සැලකෙන්නේ විවිධාකාර පත්‍ර මතය. ඒවා ‘තල්පත්’ විය හැකි ය.

පැපිරස් පත්‍ර විය හැකි ය. ‘‍පුස්කොළ’ නමින් හැඳින්වෙන තල්පත් විය හැකිය. පැපිරස් හෙවත් පාච්මන්ට් (Papyrus or Parchment) යනුවෙන් සඳහන් වන්නේ චීන ජාතිකයන් විසින් පළමුවන සියවසේදී සොයා ගන්නා ලද පැළෑටි වර්ගයකින් තනාගනු ලැබූ ‘පත්‍ර’ හෙවත් ‘පත්ඉරු’ වර්ගයකි. මේ ‘පත්ඉරු’ මත අකුරු ලිවීමට භාවිතයට ගත්තේ පන්හිඳක් හෙවත් උල්කටුවකි. මේ උල්කටුව කෙමෙන් පෑනක් හෝ පැන්සලක් බවට පත්වීම අපූරු විස්මයජනක කතන්දරයකි. කෙමෙන් මේ පත්ඉරු භාවිතය ව්‍යාප්තවීම පොත් පිළිබඳ කතාවේ නව පිටුවක් පෙරළීමට සමත්වූ බව පෙනේ. පැපිරසය (Papyrus) පේපර් (Paper) හෙවත් පත්‍රය හෙවත් කරදාසිය බවට පත් විය. පත්ඉරු එකතු කොට ඒ මත තම චින්තනය හා ඥානය සටහන් කර තැබීමෙන් පෞද්ගලික සන්නිවේදන දායාදයක් පොදු සන්නිවේදන දායාදයක් බවට පත්වූ අයුරු වටහාගත යුතු ය.

මේ සන්නිවේදන ක්‍රියාදාමය ලෝක ඉතිහාසයේ නව පිටු කීපයක් පෙරළීමට සමත් වූ බව ද මතක තබාගත යුතු ය. පොත බිහිවීමේ අඩිතාලම පත්ඉරුවකින් ප්‍රභවය ලත් නමුත් පොත කෙමෙන් තුනී කරදාසිය හෙවත් පත්‍රය නමින් හැඳින්වෙන පත්තරයක් බවට පත්වීම තවත් දිගු කතාවක මුලය.

Comments