ලෙජන්ඩ්ස්ලා හා රායිපූර් අහසට නැඟි මාර්ග සුරක්ෂාවේ ටී 20 පරෙවියා | සිළුමිණ

ලෙජන්ඩ්ස්ලා හා රායිපූර් අහසට නැඟි මාර්ග සුරක්ෂාවේ ටී 20 පරෙවියා

 

මෙහි අරමුණ වසරකට සිදුවන මාර්ග අනතුරු සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩකයින් හරහා ජනතාව දැනුවත් කිරීමයි.

ඉන්දියාවේ රායිපූර්හි අහසට මාර්ග සුරක්ෂාවේ පණිවුඩය රැගත් පරෙවියෙක් වැදුණේය. ඒ පුරාවෘත්ත බඳු ක්‍රිකට් ක්‍රීඩකයන් සමූහයක් ඉන්දියාවේ දී යළි ඒකරාශීවන බව ප්‍රකාශ කරමිනි. කලකට පෙර ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයන්ව සිටි ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් හයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රායිපූර් පිටියේ තරග වදින්නේ උත්තුංග අපේක්ෂාවක් පෙරදැරිවය. ඒ මාර්ග සුරක්ෂාවේ වැදගත්කම එම ප්‍රාන්තය මතු නොව සමස්ත ලෝකයාටම පැහැදිලි කරමිනි. මේ එම තරගාවලිය ගැනය.

ක්‍රීඩාවට විවිධ හැඩතලවලට අනුව වෙනස් විය හැකි බව සැබෑය. ක්‍රීඩාව ගැඹුරු අර්ථ සමුදායක් සහිත සමාජ ක්‍රියාවලියකි. එය මිනිස් සමාජයේ ගාමක බලවේගයකැයි කිව හැක්කේ එහෙයිනි.

ජය පරාජය සමසේ විඳ දරා ගැනීම, සාධාරණ ලෙස තරග වැදී ජයගැනීම, අනෙකාගේ ජයග්‍රහණයේ දී සතුටුවීම, ඉවසීම ප්‍රගුණ කිරීම, ජිවිතයට මනා ශික්ෂණයක් එක්කර ගැනීම ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන ගුණාංග කීපයකි.

මුල්යුගයේදී මෙවන් ආකල්ප මත ක්‍රීඩාව රඳා පැවති නමුත් පසුව ක්‍රම ක්‍රමයෙන් ක්‍රීඩාවේ උතුම් ගුණාංග පසෙකට විසිවී කෙසේ හෝ ජය ගැනීම යන සංකල්පය ඉස්මතුවිණි. ඒ සමග ප්‍රතිවාදියා පහත් කොට සැලකීම, ඔහුගේ ජයග්‍රහණය අවතක්සේරු කිරීම, පරාජය නො ඉවසීම යන කරුණු ක්‍රීඩාව ආක්‍රමණය කළේය.

එහි තත්ත්වය තවත් බියකරු වුයේ ක්‍රීඩාවට මුදල් එක් වීමත් සමගිනි. ක්‍රීඩක , ක්‍රීඩිකාවන් මුදල් පසුපස හඹා යෑම, ක්‍රීඩා පිටියේ අල්ලස් ගැනීම්, තරග පාවාදීම් මේ අතරට එක්විය.කෙසේ වුව ද මෙවන් සිදුවීම් මධ්‍යයේ ද ක්‍රීඩාවේ උතුම් ගුණාංග රැක ගනිමින් ගංවතුර ආපදා, භුමි කම්පා, යුද විපත් වැනි තත්ත්වයන් හමුවේ සමාජ සුබ සාධනය සඳහා ක්‍රීඩකයින් ඉදිරිපත් වූ අවස්ථා දැක ගත හැක.

මෙවන් තවත් උදාර අවස්ථාවක් මෙම මස 05 වැනි දින සිට ඉන්දියාවෙන් ආරම්භ විය . ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මාර්ග ආරක්ෂණය සඳහා වන විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩා තරගාවලියයි.

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරිස්’ නැතහොත් මාර්ග ආරක්ෂණ ලෝක ශුරතා තරගාවලිය වශයෙන් නම් කර ඇති මෙම තරගාවලිය සංවිධානය කරනුයේ “රෝඩ් සේෆ්ටි සෙල් ඔෆ් මහාරාෂ්ට්‍ර” නම් සංවිධානය විසිනි.

මෙහි අරමුණ ඉන්දියාවේ වසරකට සිදුවන මාර්ග අනතුරු සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩකයින් හරහා ජනතාව දැනුවත් කිරීමය. රවී ගයෙක්වඩ් මෙහි නිර්මාතෘවරයා වන අතර සුනිල් ගවස්කාර් තරගාවලියේ කොමසාරිස්වරයකු ලෙස ක්‍රියා කරයි.

ලොව පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය 2020 වසරේ මාර්තු මස 07 දින ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති අතර සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ලෙජන්ඩ්ස්, තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්, බ්‍රෙට් ලීගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස්, ජෝන්ටි රෝඩ්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යනුවෙන් කණ්ඩායම් 06 ක් තරග වැදිණි.

කෙසේ වුවද තරග හතරක් අවසන් වීමෙන් පසු කොවිඩ් වසංගතය හිස එසවීම නිසා තරගාවලිය අතරමග නතර කර දැමීමට සිදුවිණි. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි සංචරණ සිමා මත මෙවර ඕස්ට්‍රේලියාවේ සහභාගිත්වය නොලැබෙන අතර කෙවින් පිටර්සන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත ලෙජන්ඩ්ස් හා කාලිඩ් මහමුද්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අලුතෙන් එක්ව තිබේ .

දැනට වාර්තා වන ආකාරයට පසුගිය වසරේ තරගාවලිය නතර කළ තැන පටන් ආරම්භ වන මෙවර තරගාවලියේ සියලුම තරග ප්‍රේක්ෂකයින් 65000 කට ඉඩකඩ ඇති රායිපුර් හි සහිඩ් වීර් නාරායන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ සෞඛ්‍ය නියෝග මත සියයට පනහක ක්‍රීඩා ලෝලී ජනකායකගේ සහභාගිත්වයෙනි.

තරගාවලියේ මුල් වටයේ පැවැත්වෙන තරගවලින් අනතුරුව අර්ධ අවසන් තරග හා අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත.

පසුගිය වසරේ තරගාවලියේ ප්‍රතිපල දෙස බලන විට ඉන්දියාව ඉදිරියෙන් සිටින්නේ තමන් මුහුණ දුන් තරග දෙකම ජය ගනිමිනි . තරග දෙකකට මුහුණ දුන් දකුණු අප්‍රිකාව එක තරගයක් ජයගෙන එක තරගයකින් පරාජය ලබා දෙවන ස්ථානයේ පසු වෙයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව ඉදිරියේ පරාජය වී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත්ව ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන්, චමින්ද වාස්, මුරලිදරන් , රොමේෂ් කලුවිතාරණ යන ක්‍රීඩකයින් පසුගිය වසරේ තරගාවලියට එක්ව සිටි අතර මෙවර සනත් ජයසුරිය, රසල් ආනල්ඩ් වැනි ක්‍රීඩකයින් ද තරග වැදීමට නියමිතය.

ඉන්දියාවෙන් සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ශේවග් , සහීර් ඛාන්, කොදෙව් දූපත්හි බ්‍රයන් ලාරා,චන්ද්‍රපෝල්,කාල් හුපර් වැනි එදා ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ක්‍රිකට් තරු රැසක් මෙදා රායිපුර් හි සහිඩ් වීර් නාරායන් ක්‍රීඩාංගණය මෙම තරගාවලිය හරහා ආලෝකමත් කරනු ඇත.

Comments