'අඩු දිනකින් අවසන් වුණු ටෙස්ට් තරග ගැන අහමදාබාද් ටෙස්ට් තරගය ඇවිස්සූ මතකය ඇසුරෙන් ලියැවෙන මෙම කෙටි සටහන එවැනි තරග 22 ක් ගැන සිහිපත් කරයි.'
පසුගියදා ඉන්දියාවේ නිමාව දුටු ඉන්දියා -එංගලන්ත අහමදාබාද් ටෙස්ට් තරගයේ ආයු කාලය දින දෙකකි. එහෙත් ඒ සඳහා භාවිත කළ තණතීරුව සම්බන්ධයෙන් මතුවී ඇත්තේ අර්බූදකාරී වාතාවරණයකි. එය පැහැදිලිවන්නේ අයි.සී.සී.ය දැනටමත් තණතීරුව සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇති හෙයිනි.
දින දෙකේ ටෙස්ට් තරග ඉතිහාසයේ වාර්තාවූ එකම අවස්ථාව මෙය නොවේ. මීට පෙරද එවැනි තරග වාර්තාවී ඇත.
2018 වසරේ ඇෆ්ගනිස්ථානය සිංය මංගල ටෙස්ට් තරගය සඳහා සහභාගිවද්දී බැංග්ලෝරයේ පැවැති තරගය අවසන් වූයේද දින දෙකකිනි. ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 474ක් රැස්කරද්දී ඇෆගන්වරුනට හැකිවුයේ ඉනිම දෙකේදීම පිළිවෙලින් 109 ක් හා 103 ක් රැස්කිරිමට ය.
විස්ඩන් වාර්තාවන්ට අනුව දින දෙකකින් අවසන් වූ පළමු ටෙස්ට් තරගය ගැන මුල්වරට අසන්නට ලැබෙන්නේ 1882 දීය. ඒ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ඕවල්හිදී ය. ඔස්ට්‍රේලියාව ඉන් ලකුණු 7ක සියුම් ජයක් ලැබීය. ඔස්ට්‍රේලියාව 63 ක් සහ 122 ක් රැස්කරද්දී එංගලන්තය 101 ක් හා 77 කට සිය ඉනිම සීමාවිය. එහිදී ඔස්ට්‍රේලියානු වේග පන්දුයවන්නකු වූ ෆ්‍රෙඩ් ස්පොපර්න් කඩුලු 14 ක් බිඳහෙළුවේ ලකුණු 90 ක් පමණක් වැය කරමිනි. ඒ 7/44 හා 7/46 වශයෙනි. ටෙස්ට් තරගයක කඩුලු 14 ක් දවාගත් පළමු පන්දුයවන්නා වන්නේ ද ඔහුම ය.
දැනට වාර්තාවී ඇති කෙටිම ටෙස්ට් තරගය පැවැත්වුණේ දින දෙකක් තුළ පැය හයක් හා මිනිත්තු 34 කදී අවසන් වූ 1888 මැන්චෙස්ටර් ටෙස්ට් තරගය ය. එය පැවැත්වුණේ එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතරයි. එංගලන්තය හා ඔස්ට්‍රේලියාව පිළිවෙලින් පළමු දිනයේ 172 ක් හා 32/2 ක් රැස්කරනු ලැබිණි. එහෙත් දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 81 කට හා දෙවැනි ඉනිම ලකුණු 70 කට සීමාවිණි. මේ තරගය වෙනුවෙන් සුප්‍රකට ඩබ්ලිව්. ජී. ග්‍රේස් හෙවත් 'ක්‍රිකට් දොස්තර ද' ක්‍රීඩා කළේය. ඔහු එහි වැඩිම ලකුණු ලාභියා (38) ද විණි.
පසුගියදා අවසන් වුණු අහමදාබාද් ටෙස්ට් තරගය තුළ පන්දුවාර 138ග4 ක් හෙවත් පන්දු 842 ක් පමණක් ඇතුළත් විණි. මෙම තරගය ලොව කෙටිම කාලයකින් අවසන් වුණු 7 වැනි තරගය වන අතර 1935 න් පසු අවසන් වූ කෙටිම ටෙස්ට් තරගයද විය. 1935 තරගය බ්‍රිජ්ටවුන් හි එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්විණි.
මේ ආකාරයෙන් දින දෙකකින් අවසන් වුණු ටෙස්ට් තරග 22 ක් පිළිබඳ වාර්තා පොතට ඇතුළත්වී ඇති අතර එය පළමුවෙන්ම වාර්තාවී ඇත්තේ ලොව නවවැනි ටෙස්ට් තරගයේදීය.
විසි දෙවැනි වතාවට එය වාර්තා වූයේ 2412 වැනි ටෙස්ට් තරගයේදී වීම විශේෂත්වයකි. එහිදී 13න් වතාවක් එංගලන්තයත්, 11 වතාවක් ඔස්ට්‍රේලියාවත්, 4 වතාවක් දකුණු අප්‍රිකාවත්, සිම්බාබ්වේ 3, නවසීලන්තය 2, බටහිර ඉන්දීය කොදෙව් 2, ඉන්දියාව 2, පාකිස්තානය 1, ඇෆ්ගනිස්ථානය 1ක් ලෙස එකී වාර්තාවට එකවිට සම්මාදම් වී ඇත.










