එන්නත්කරණ අපේක්ෂාව සහ ක්‍රීඩාව | සිළුමිණ

එන්නත්කරණ අපේක්ෂාව සහ ක්‍රීඩාව

 

පාපන්දු ක්‍රීඩකයන් අතර කොරෝනා රෝගීන් හමුවීමෙන් සුපර් ලීග් පාපන්දු තරගාවලියට පෙර පැවැත්වෙන සුහද පාපන්දු තරගාවලියේ තරග කීපයක වෙනස්වීමක් පසුගිය දිනවල වාර්තා වූයේ ය. ඒ හේතුවෙන් තරග කීපයක කාලසටහන වෙනස් කෙරුණු අතර ඇතැම් තරග අතහැර දැමිණි. ඒ නිරෝධායන නීතින් ප්‍රකාරව කටයුතු කිරීමට යාමේ ප්‍රතිඵලයක් වශයෙනි.

කෝවිඩ් වයිරසය එලෙස පාපන්දු පිටියෙන් මතුවී නැවතුණේ නැත. එකී අර්බූදය යළි ඊළඟට හිස එසවූයේ දැල්පන්දු ජාතික සංචිතය තුළය. ඒ කණ්ඩායම් නායිකාව වශයෙන් කටයුතු කළ ක්‍රීඩිකාව එකී වයිරසයට ගොදුරු කරගනිමිණි. ඈ ඇගේ සේවා ස්ථානය හෝ ඒ ආශ්‍රිත පරිසරය තුළ වයිරසයට ගොදුරු වීයැයි මූලාශ්‍ර පරික්ෂා කිරීමේදී තහවුරුවිණි.

එහෙත් දැල් පන්දු සංචිතයේ ඇය රැඳී සිටි කණ්ඩායමේ සාමාජිකාවන් වූ ක්‍රීඩිකාවන් දහ අට දෙනෙක් ආශ්‍රිතයන් බවට සලකමින් ස්වයං නිරෝධායනයට හා පී.සී.ආර්. පරීක්ෂණයන්ට යොමුකිරීමට කටයුතු කළේය.

කෙසේ නමුත් පෙර කී සංගම් කොවිඩ් වසංගතයට නතු වූ ක්‍රීඩකයින් වාර්තා වූ ක්‍රීඩා සංගම් යැයි පවසන්නට නොහැකිය. ඒ පාපන්දු හා දැල්පන්දු ක්‍රීඩා සංගම්වලට අමතරව අවස්ථා ගණනාවක දී ක්‍රිකට් හා මලල ක්‍රීඩකයින් අතරින් ද කොරෝනා වයිරසය ශරීරගත වූවන් වාර්තාවී ඇති හෙයිනි.

එහෙත් එම තත්ත්වය සමහන් කරගනිමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතර වයිරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහා පියවර ගැනීමට ක්‍රීඩා වෛද්‍ය ආයතනය සමත්ව තිබුණේ අදාළ ක්‍රීඩා සංගම් සමඟ සෘජුව සම්බන්ධ වෙමිනි. එය ප්‍රශස්තය, අගය කළ යුතුය.

එහෙත් මෙම තත්ත්වය දිගින් දිගටම ආවරණය කරගනිමින් කටයුතු කිරීමට අපහසු බව පිළිගත යුතුය. අප එසේ කියන්නේ කොරෝනා රෝග වාහකයෙන් සැඟව සිටීම හෝ කට්ටි පැනීම පහසු නොවන බැවිණි.

ඒ එසේ යැයි කියා දැන් ලබාදෙන එන්නත් ක්‍රමය ඊට ලබාදෙන නිසැක ප්‍රතිකර්මය ද නොවේ. එහෙයින් එය ඉදිරි කාලයේදී තවදුරටත් වැඩිදියුණු කරමින් වඩාත් උචිත එන්නතක් බවට පත්වනු ඇත. එහෙත් එසේ කියා එන්නත්කරණයෙන් මඟහැර යාමට ද අපට නොහැකිය. දැනට පවතින එන්නත් අතරින් වඩා සුදුසු යැයි තීරණය කරන ලද ඖෂධය ක්‍රීඩකයන් විෂයේ ද කඩිනමින් ලබාදිය යුතුව ඇත.

ඒ ඔවුන් ජනසමාජයක වින්දකයන්, අපේක්ෂා ගොඩනංවන්නන් මෙන්ම සමාජයේ යොවුන් පෙළ විසින් ආදර්ශයට ගන්නා කණ්ඩායමක් වන හෙයිනි. එහෙයින් ඔවුහු කොරෝනා හෝ වේවා වෙනයම් රෝග ව්‍යසනයක් හෝ වේවා ඊට ඔරොත්තු දිය හැකි නිරෝගී ප්‍රජාවක් බවට බලගැන්විය යුතුය.

එය සිදුකළ හැක්කේ ක්‍රීඩකයන්, වෙසෙසින් ජාතික තලයේ, ජාතික සංචිතගතව සිටින ක්‍රීඩකයන් වෙනුවෙන්වත් අදාළ එන්නත්කරණය කඩිනම් කිරීමෙනි. දැනට දැනගන්නට ඇති ආකාරයට අදාළ එන්නත් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සෞඛ්‍ය අංශ වෙත ඉල්ලීමක් කර අවසන්ය.

එහෙත් එය යම් පමණකට පොරොත්තු වෙමින් ඇත්තේ රටක් එන්නත්කරණයේ නිමග්නව සිටින හෙයින් අදාළ එන්නත් ටොරින්ටන් වෙත යොමුකිරීමේ ප්‍රමාදයක් වශයෙනි.

එය එසේ වූවායැයි කියා බලා නොසිට මේ වෙනුවෙන් තවදුරටත් සංවේදීවන්නට ක්‍රීඩා බලධාරීන් උත්සුක විය යුතුය. ක්‍රීඩකයන් ද එන්නත්කරණය වෙනුවෙන් අපේක්ෂා බැඳගන්නා සේම දැනට පවත්වාගෙන යන පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම කිසිසේත් ලිහිල් කළ යුතු නැත.

එන්නත්කරණය කළ ද මුව ආවරණ පැළඳීම, විෂ බීජහරණ දියරයෙන් දෑත් සේදීම, මුව හෝ දෙනෙත් දෑතින් ස්පර්ශ නොකිරීම, මීටරයක දුරක් පවත්වාගෙන යාම හා සංචරණය වඩා ආරක්ෂිතව මෙන්ම සීමාන්විතව සිදුකිරීම මොනයම් ආකාරයකින්වත් කඩ නොකළ යුතුය. එවිට කඩිනමින් කොවිඩ් එන්නත ලැබුණ ද නොලැබුණ ද සෞඛ්‍යාරක්ෂිත භාවය ආරක්ෂා කරගැනීමට හැකිය.

වෙසෙසින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් විෂයෙහි මෙකී සමාජ වගකීම අනුල්ලංඝණීය වන්නාසේම සමාජයීය සෙසු ජන කණ්ඩායම් ද එය නොපිරිහෙළා ඉටුකළ යුතුමය.

 

Comments