
ටයිගර් යළි එන්න!
පසුගියදා කලිෆෝර්නියාවේ සිදුවූරිය අනතුරකින් තුවාල ලැබූ ලෝක ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් යළි ක්‍රීඩාකරනු දැකීම තම අභිලාෂය බව ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ප්‍රකාශ කොට තිබේ. ඒ බරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔවුන් ටයිගර් වුඩ්ස් වෙත යැවූ පණිවිඩ මගින් මේ බව ප්‍රකාශ කර තිබේ. මේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා විරුද්ධ දේශපාලන පක්ෂ නියෝජනය කළද ටයිගර් වුඩ්ස් සම්බන්ධයෙන් නම් එක මතයක සිටින බව පැහැදිලිය. ඔවුන් දෙදෙනාට ගොල්ෆ් ලෝලීන් වන අතර දෙදෙනාගේම ප්‍රියතම ගොල්ෆ් ක්‍රීඩකයා ටයිගර් වුඩ්ස් බවද ප්‍රකාශිතය.
ඔලීට උසාවියෙන් පහරක්
වර්ධනය වෙමින් පවතින දේශපාලන විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසිරුවා මැතිවරණයකට යාමේ නේපාල අගමැති ශර්මා ඔලිගේ උත්සාහය එරට අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ඒ වෙනුවට පාර්ලිමේන්තුව දිගටම පවත්වා ගනිමින් එතුළ අගමැතිවරයා සතු ශක්තිය උරගා බැලීමට කටයුතු කිරීමට අගමැතිවරයාට සිදුවී තිබේ.
පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට අගමැතිවරයා ගත් තීරණයත් සමඟ පසුගිය දෙසැම්බරයේ සිට නේපාලය පුරා විරෝධතා ක්‍රියාත්මක වූ අතර දේශපාලන විරුද්ධවාදීන් ඍජු ලෙසම අගමැතිවරයාට ඇඟිල්ල දිගු කිරීමට වූහ. අගමැතිවරයාගේ තීරණයට පක්ෂ මහජන රැළි මෙන්ම අගමැතිවරයාට විපක්ෂ විරෝධතා රැළි රාශියක්ද නේපාලය පුරා ක්‍රියාත්මක වූයේ වසංගතය මැද අඩපණ වෙමින් තිබූ ආර්ථිකයටද තවත් පහර එල්ල කරමිනි. කෙසේ වුවද පවතින තත්ත්වය මත අගමැතිවරයා ඉල්ලා අස් නොවිය යුතු බවටද බොහෝ දෙනා මත පළ කර තිබේ.
පෘථිවිය රකින්න ඉරානයෙන් වැඩපිළිවෙළක්
දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා වන කටයුතු සඳහා ලෝක ව්‍යප්ත අරමුදලක් පිහිටුවිය යුතු බවට ඉරානයෙන් මතයක් ඉදිරිපත් වී තිබේ. මෙහිදී ඉරානය යෝජනා කර ඇත්තේ ලෝකයේ සෑම රටක්ම තම බදු මුදලින් මේ අරමුදලට දායක විය යුතු බවත්, එම රටවල දායක ප්‍රතිශතය ගණනය කළ යුතු වන්නේ එම රටවල ජනගහණයට සාපේක්ෂව බවත්ය. දිනපතා පෘථිවිය මත සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, විමෝචනය වන වායූන් හේතුවෙන් ඇන්ටාක්ටිකාවේ අයිස් පර්වත දියවෙමින් පවතින අතර මේ සිදුවීම් මාලාව අනාගත ලෝකයට බොහෝ ගැටලු ඇති කරන බවට සැකයක් නැත. මෙවන් තත්ත්වයක් මත ඉරානය යෝජනා කර ඇති මේ අරමුදල ඉතා ප්‍රයෝජනවත් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් දේශපාලන අරමුණු මත එකිනෙකා දෙස වයිරයෙන් බලන, මුල්‍ය ලාභය මත තීරණවලට එළඹෙන ලෝකය මෙවැනි පොදු අරමුණක් මත ක්‍රියාත්මක වේ යැයි සිතිම තරමක් උගහටය.
මැරඩෝනාගේ මරණය ගැන හොයන්න ආර්ජන්ටිනාවෙන් කමිටුවක්
පසුගිය නොවැම්බර් මාසයේදී හෘදයාබාධයකින් මියගිය ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව දියාගෝ මැරඩෝනා මියයෑමට පෙර ඔහුට නිසි ප්‍රතිකාර ලබා දුන්නේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට එරට රජය තීරණය කර තිබේ. මේ සඳහා අට දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට කටයුතු යෝජනා වී තිබේ. මේ වන විටත් මේ කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට පුද්ගලයන් කිහිප දෙනෙක්ම ඉදිරිපත් වී ඇති අතර මැරඩෝනාගේ දියණිවරුන් දෙදෙනා ඇතුළු පවුලේ සාමාජිකයෝද එයට අයත්ය. මැරඩෝනාගේ මරණය සිදුවීමෙන් පසු එය හෘදයාබාධයක් යැයි ප්‍රකාශ වූ අතර පසුව ඔහුගේ පෙනහළුවල වතුර පිරී තිබීමෙන් පසු මරණයට හේතුව නිශ්චය කර ගැනීමේ ගැටලු මතුවී තිබේ.
අබිරහස් රෝගයකින් ඉන්දියාවේ සිංහයෝ මරුට
දැනට වඳවී යෑමේ තර්ජනයකට ලක්ව ප්‍රවේශමින් බෝ කරගනිමින් සිටින ආසියානුසිංහ විශේෂය දැනට වසර තුනක පමණ කාලයක් පුරා හඳුනා නොගත් වයිරසයක් හේතුවෙන් මිය යමින් සිටින බව ඉන්දීය සත්වෝද්‍යාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මේ සිංහ විශේෂය අප්‍රිකානු සිංහයන්ගේ පෙනුවමට ඉතා සමාන වන අතර ස්වභාවික නිවහන් අහිමිවීම සහ දඩයම්කිරීම වැනි හේතු මත වඳවීයාමේ දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. ඒ අනුව මේ සිංහයන් බෝ කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළ අතර ඔවුන්ට සතුන් 700ක් දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාව උදා විය.
එහෙත් දැන් වසර තුනක පමණ කාලයක් පුරා සතුන් ක්‍රමයෙන් මිය යමින් සිටින බවත් ඔවුන් එන්නත් කිරීමට කටයුතු කළද තත්ත්වයේ වෙනසක් නොමැති බව ඉන්දීය සත්වෝද්‍යාන බලධාරීන් පවසා තිබේ.