
මියන්මාර් ජනතාව මහපාරට පැමිණ තිබේ. ඒ මෙවර හදිසියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සහ ඒ ඔස්සේ ස්ථාපිත කළ ආණ්ඩුවට විරෝධය දක්වමිනි. ඔවුන්ගේ සහයට මියන්මාර් දයස්පෝරාව සහ ලෝකයේ සෙසු රටවල් රාශියක් ඉදිරිපත්ව තිබේ.
හමුදා පාලනයකට විරෝධය දැක්වීම යනු අතිශයින්ම නිර්භීත නම් පමණක් සිදුකළ යුතු කාර්යයකි. ඒ මන්දයත් හමුදා පාලනයක් යනු සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවන බැවිනි. මහජන ඡන්දයෙන් පත්වන පාලකයන් සතුව තමන්ගේ ජනතාව කෙරෙහි වගකීමක් පවතින අතර, රටේ නීතියට මෙන්ම ලෝකයේ පොදු නීතියටද යටත්ව කටයුතු කිරීමට එම පාලකයන්ට සිදුවේ. එහෙත් හමුදා පාලනයකදී එසේ නැත. හමුදාව පනවන නීතිය නීතිය වන අතර ජනතාවට සිදුවන්නේ එම නීතියට අනුව කටයුතු කිරීමට පමණි. එවැනි පාලනයකට විරුද්ධවීම සැබැවින්ම ජීවිත නැති කර ගැනීමක් හා සමාන වේ. එවැනි පාලනයකට විරුද්ධ වීමට ජනතාව පැකිළෙන්නේද ඒ හේතුවෙන්මය.
එහෙත් මියන්මාරයේ ජනතාව මේ වන විට තම ජිවිත ආශාව පසෙකට දමමින් හමුදා පාලනයට විරෝධය දැක්වීමට කටයුතු කරමින් සිටිති. ඒ සැබැවින්ම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජීවිතය අගය කරන නිසාවෙනි.
පසුගිය පෙබරවාරි පළමුවැනිදා මියන්මාර පාලකයන් සිරගත කරමින් එරට හමුදාව බලය අත්පත් කර ගත්තේය. ඔවුන්ගේ තර්කය වූයේ රටට අහිතකර ක්‍රියා පාලකයන් අතින් සිදුවන බවයි. දැන් එරට ජනතාව විරෝධතා පළකරමින් පවසන්නේ සැබැවින්ම රටට අහිතකර වන්නේ හමුදා පාලනය මිස ප්‍රජාතන්න්‍රවාදී පාලනය නොවන බවයි.
පාලකයන් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ සිට දින කිහිපයක් මියන්මාර් ජනතාව තුශ්නිම්භූතව ගත කළ අතර දින හතරක් ඉක්ම යන විට තමන් මේ සිදුවීම් සම්බන්ධව තම විරෝධය දැක්විය යුතු බවට අදහසක් ජනතාව අතරින් මෝදු වන්නට විය. එහි ප්‍රතිඵල ලෙස ප්‍රධාන නගර ඇතුළු තැන්තැන්වල ජනතාව ඒකරාශීවීම් සිදුවුණු අතර ඔවුන්ට හමුදා ප්‍රහාරවලට මුහුණ දෙන්නටද සිදුවිය. අවුන් සාන් සුකී ගේ පක්ෂයේ ප්‍රධාන කාර්යාලය හමුදාව විසින් බිමට සමතලා කර දැමෙන්නේ ඒ අනුවය. මේ වන විට සුකී ඇතුළු මියන්මාර් දේශපාලන ප්‍රධානීන් කිනම් වාතාවරණයක පසුවනවාද, අවම තරමින් ඔවුන් ජිවතුන් අතර සිටිනවාද යන්න හෝ එරට ජනතාව දැනුම්වත් වී නොමැත. එහෙත් නායකත්වයකින් තොරවම හමුදා පාලනයට විරුද්ධව සංවිධානාත්මක විරෝධතා පැවැත්වීමට තරම් ශක්තියක් මේ වන විට මියන්මාර් ජනතාව පෙන්නුම් කරමින් සිටිති.
පසුගිය සඳුදා දිනයේදී එනම් පෙබරවාරි 22වැනිදා දිනයේදී මුළු මියන්මාරයටම බලපාන අන්දමට ඇඳිරි නීතිය පැනවීමට හමුදා ආණ්ඩුව කටයුතු කළේද ජනතාව පාලනය කිරීමේ එක් පියවරක් වශයෙනි. එහෙත් එරට ජනතාව ඒ නීති මායිම් නොකමින් සිටිති.
ඇඳිරි නීතිය නොතකමින් පාරට පැමිණෙන ජනතාව අත්අඩංගුවට ගැනීමට හමුදාව දිගින් දිගටම කටයුතු කළද ජනතාව එයද නොසලකා විරෝධතා දක්වමින් සිටිති.
විරෝධතා පැවැත්වීමට එක්වූ ජනතාවට එල්ල වූ ප්‍රහාරවලින් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවල සඳහන්ය.
ඒ අතරින් එක් කාන්තාවකට ඍජුවම හිසට එල්ල වන වෙඩි පහරක් හේතුවෙන් ඇය එම ස්ථානයේදීම මැරී වැටෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ලොවටම දැක බලා ගැනීමට හැකියාව ලැබුණු අතර මියන්මාර් හමුදා පාලනයට විදේශ විරෝධය වැඩිවිමට එයද එක් හේතුවක් විය.
එළෙස පොලිස් වෙඩි පහරින් මියගිය 16 හැවිරිදි දරුවකුගේ අවසන් කටයුතු පසුගියදා මැන්ඩලේ නුවර දී සිදුකෙරුණු අතර එයට සහභාගීවීමට පැමිණි පුද්ගලයන් හමුදා පාලනයට විරෝධය දැක්වීමට එය අවස්ථාවක් කර ගත් බැවින් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විසිරුවා හැරීමට හමුදා පාලනය කටයුතු යෙදීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලැබීමය.
මේ වන විටත් මියන්මාර් ජනතාව ප්‍රධාන නගරවල ඒකරාශී වෙමින් විරෝධතාවල නිරතව සිටින්නේ හමුදා මර්දනයට නොතකමිනි.
කොයි මොහොතේ ඔවුන් වෙත වෙඩි වර්ෂා එල්ල වේ දැයි නොදන්නා නමුත් ඔවුන් නිර්භීතව තම රටේ අනාගතය වෙනුවෙන්, තම අනාගත පරපුර වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අයදිමින් සිටිති.
හමුදා පාලනයක් යනු ලොව කිසිම රටක ජනතාවගේ පැතුමක් නොවේ. එහි පවතින මිලිටරිමය නීතිරීති දරා ගැනීම සිවිල් සමාජයකට අසීරුය. ඇතැම් රටවල ඉතිහාස වාර්තා අනුව පෙනී යන්නේ හමුදා කුමන්ත්‍රණය බිඳ දැමීමට ජනතා සහය ලැබී ඇති බවත්, කුමන්ත්‍රණ මගින් බලයට පත්වූ හමුදා පාලනයන් පෙරළා දැමීමටත් පොදු ජනතාවගේ සහය හිමිවී ඇති බවත්ය. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස 1962 ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත්‍රණය දැක්විය හැකිය. එවර රටේ බලය අල්ලා ගැනීමට හමුදාව දැරූ වෑයම පරාජය වන්නේ ජනතා සහය හිමිවීම හේතුවෙන් බව අමතක කළ යුතු නැත.
මේ ජනතාවගේ සහයට බොහෝ විදේශ රටවල් තම උපරිමයෙන් සහය දක්වමින් සිටින බවද සඳහන් කළ යුතුය.
ජනතාව වෙත එල්ල වෙන මේ ප්‍රහාර ‘පිළිගත නොහැකි බව’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුයිටරේස් ප්‍රකාශ කර සිටි අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කෙන් පවසා සිටියේ මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි. එමෙන්ම ජනතාව වෙත එල්ල කෙරෙන මේ හමුදා මර්දනය තරයේ හෙළා දැකීමටද ඔහු කටයුතු කර තිබේ. ඒ අනුව මේ වන විට ජෙනරාල් මින්ග අවුන්ග් හාලෙන්ග්ගේ හමුදා රජයට ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබේ. එසේ වුවද එහි අතුරු ප්‍රතිඵල ලෙස පීඩිත ජීවිත ගෙවීමට සිදුවන්නේද එරට ජනතාවටම බව අමතක කළයුතු නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මියන්මාරය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කළ අතර ඔහු තත්ත්වය පිළිබඳ තම අදහස් දක්වමින් පවසා සිටියේ ‘ තත්ත්වය 1988දී මෙන් පවතිනු ඇතැයි නොසිතන ලෙසයි.’
මීට පෙර හමුදා පාලනය ඇරඹි සමයේදී ජනතා විරෝධතා එල්ල වූවද ඒ අවස්ථා තුනකදීම කෙසේ හෝ ජනතාව පාලනය කර ගනිමින් ජුන්ටාව පවත්වා ගැනීමට මියන්මාර් හමුදාව සමත් විය. මියන්මාරයේ රැඳී සිටින විදෙස් මාධ්‍යවේදීන්ට අනුව මේ වන විට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත විරෝධතාකරුවන් සංඛ්‍යාව 640කි.
වසර ගණනක් හමුදා පාලනයේ පීඩාව දරා ගනිමින් සිට කෙටි කාලයක් භුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ රට පහසුවෙන් එරට ජනතාව අමතක කර දමනු ඇතැයි සිතිය නොහැකිය.
එබැවින් මියන්මාර පාලනයේ අනාගතය කෙසේ වනු ඇතිදැයි අනාවැකි පළකිරීම අපහසුය. ඒ සෑම විටෙකම රටක සාමාන්‍ය ජනතාව යනු එරට බලවත්ම පාර්ශ්වය බව සිහිතබා ගත යුතු වන බැවිනි.