වාස් - මල් සහ ක්‍රිකට් අර්බූද | සිළුමිණ

වාස් - මල් සහ ක්‍රිකට් අර්බූද

මල ගසෙන් නෙළාගත් පසු වඩා සුන්දර ලෙස පෙනෙන්නේ මල් බඳුනේ නැතහොත් ‘පෝච්චියේ’ රුවා තබන විටය. පෝච්චිය ඉංගිරිසියෙන් ‘වාස්’ (Vase) යැයි ද කියයි. එහෙත් ‘මල’ නැතහොත් ‘මළ’ (දෙයාකාරයටම ලිවිය හැකිය) දැමීමට භාවිත කළයුතු පෝච්චිය කවරක්ද යන්න තීරණය කරනුයේ එය ලියන්නට යොදාගත් අක්ෂර වින්‍යාසය අනුවය. යම් හෙයකින් ඒ දන්තජ ‘ල’ නම් නිවසේ ආලින්දයේ හෝ කාමරයක මේසයක් මත තබන වාස් නැතහොත් පෝච්චියක් ඊට යොදාගත හැකිය. එහෙත් එම මල යන්නෙහි ‘ල’ අක්ෂරය ‘ළ’ බවට පත්වූයේ නම් ඒ පෝච්චිය තිබෙන්නේ කොහේදැයි කිවයුතු නැත.

මල ලියන්නට යොදාගන්නා නිවැරදිම අක්ෂර වින්‍යාසය ගැන අපට සිහිපත් වූයේ සිංහල පාඩමක් ගැන ලියන්නට නොවේ. ඒ මේ දිනවල ‘මල සහ වාස්’ අතර සම්බන්ධය සමාජය තුළ ගැඹුරු සංවාදයකට ලක්ව ඇති හෙයිනි. එලෙස සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ Vase (වාස්) නොව Vass (වාස්) නැතහොත් චමින්ද වාස් සම්බන්ධවය.

දසක දෙකකට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙළහර පෑ සුවිශේෂී ශ්‍රී ලකා වේග පන්දුයවන්නා ඔහුය. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යාමට පෑ කීපයකට පෙර වේග පන්දු පුහුණුකරුවාගේ භූමිකාවෙන් ඉවත්වන බව කී හෙයින් ඔහු පිළිබඳ සංවාදය ගොඩනැගී ඇත. එම කතා බහ මේ වනවිට ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගොස් පාර්ලිමේන්තු සභාගර්භය දක්වාද පැමිණ තිබේ.

ඒ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු සභාව තුළ චමින්ද වාස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇතිවී ඇති මත ගැටුම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කිරීමත් සමඟිනි. එම දෙපාර්ශ්වය අතර ඇතිවූ පරිපාලනමය අර්බූදය ගැන පාර්ලිමේන්තු සභාව හමුවේ පවසන්නට මෙරට ක්‍රීඩා ඇමැතිවරයාට සිදුවන තරමට එය මේ වනවිට ඔඩුදිවූ අර්බුදයක් බවට පත්ව තිබේ.

පාර්ලිමේන්තුව ඇමැතූ ක්‍රීඩා ඇමැතිවරයා එහිදී කියා සිටියේ වාස් කොතරම් විශිෂ්ට ක්‍රීඩකයකු වුවද අවසන් මොහොතේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්වීමට ගත් තීරණය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් එය කිසිසේත්ම සිදුනොවිය යුත්තකැයිද ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර සමාජ මාධ්‍ය තුළද චමින්ද වාස්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇතිවූ අර්බූදය දැඩි කතාබහක් ගොඩනංවා තිබිණි. ඇතමුන් එම සිද්ධිය අර්ථ ගන්වා තිබුණේ සාධාරණ යැයි කිවිය හැකි වැටුප් වැඩිකිරීමක් සිදුකර තිබිදීත් ‘ෂයිලොක්’ පන්නයේ තීන්දුවකට එළැඹීමට චමින්ද වාස් ක්‍රියා කිරීම අසාධාරණ බවයි. මේ සියලු ප්‍රකාශ අතර චමින්ද වාස් පිළිතුරු ගොනු කර තිබුණේ සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි. ඒ දිනෙක සිදුවූයේ කුමකද යන්න නිවැරදිව ඔප්පුවනු ඇති බවය.

මතවාද දෙකක් පවතින හෙයින් චමින්ද වාස්ගේ හදිසි ඉල්ලා අස්වීම පිටුපස දැනට කියැවෙනවාට වඩා ගැඹුරු කතාවක් සැඟව පවතින බව සිතන්නට මෙම ද්විත්ව මතවාද කදිම සාක්ෂියකි. එය මූල්‍ය අර්බුදයක් බවද පැහැදිලිය. එහෙත් එකී මූල්‍ය අර්බූදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මවා පෙන්වන තරමේ භයංකර එකක් නොවන බවක්ද ඉන් ගම්‍ය කෙරෙයි. එහෙත් එහි සත්‍යාසත්‍ය භාවය නිවැරදිව කිවහැක්කේ එම දෙපාර්ශ්වයටම පමණි. දෙපාර්ශ්වය යැයි කීවේ ශ්‍රී ලංකා ක්‍රිකට් හා චමින්ද වාස් ය.

එහෙයින් ඔවුන් දැන් දෙපාර්ශ්වයකට බෙදී එකිනෙකාට එල්ලකරන චෝදනා සඳහා සියයට සියයකින් පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් නැත. එවැනි පසුබිමක් තුළ අප මෙම ගැටලුව දෙස බැලිය යුත්තේ විවෘත ඇසකිනැයි පැවසිය යුතුය.

අප එය එසේ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනුව නම් චමින්ද වාස් යනු එක්තරා ආකාරයකට ‘කප්පම්’ කාරයෙක් බඳුයැයි අර්ථ දක්වා ඇති පසුබිම සලකද්දීය. එය අතිශය දරුණු විවේචනයකි. පුද්ගල චරිතයකට එරෙහිව නිරුක්ති සැපයීමකි. එවැනි අර්ථයක් ඔවුන් නිකුත් කළ නිල නිවේදනය තුළ ගැබ්කර තිබීම එක්තරා ආකාරයකින් බලන කල ශෝක ජනකය. මෙවන් පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කිරීමේදී ද රැඳී සිටියේ එකී දැඩි ආන්තික යැයි හැඳින්විය හැකි ආස්ථානයකමය. එය වඩා පැහැදිලි වන්නේ ක්‍රීඩා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයෙන් ඒ බව තහවුරු වීමෙනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව රට තුළ ගොඩනගා ඇති චෝදනාවන්හි සත්‍යාසත්‍යතාවය පැහැදිලි කරන්නට මේ මොහොත වනවිට චමින්ද වාස්ට හැකියාවක් නැත. ඒ මන්දයත් රට සම්බන්ධයෙන් වන කාරණයකදී වාස් සිටගෙන ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ යැයි බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන හෙයිනි.

අනෙක් කාරණය වනුයේ ප්‍රබල මූල්‍ය හා පරිපාලන ශක්තියක් සහිත ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනංවා සමාජගත කර ඇති එකී චෝදනාව වඩා විශ්වසනීයය. එහෙයින් එම චෝදනාව අභිමුව හිටපු ජාතික ක්‍රීඩකයෙක් වූ පමණින් වාස්ට ද ගැලවෙන්නට නොහැකිය. මින් පැහැදිලි වන්නේ වාස් යනු මේ මොහොතේ මහා මේරු පර්වතය අභිමුව ලිලිපුට්ටකුවී සිටින බව පමණි.

එය තේරුම්ගෙන සිටින චමින්ද වාස් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ දුරකථන ඇමැතුම්වලට ප්‍රතිචාර නොදක්වන ප්‍රතිපත්තියකි. එසේ සිදුකළ පමණින් ඔහුගේ නම ඉදිරියේ බැඳුණු මෙම අර්බූදයට පිළිතුරක් සොයාගන්නටද හැකියාවක් නොලැබෙන බව ඔහු තේරුම්ගත යුතුව ඇත.

මෙහිදී අප කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හෝ චමින්ද වාස් යන පාර්ශ්වයන්ගෙන් කවුරුන් නිවැරදිද යන්න සෙවීම නොවේ. පැහැදිලිව එහි එක් පාර්ශ්වයක් වඩා සදොස් වන්නට පිළිවන. එසේත් නැතහොත් දෙපාර්ශ්වයේම අඩුලුහුඩුතා තියෙන්නට පිළිවන. එය එසේමය.

එහෙත් අප කියන්නේ වාස් හා ගොඩනැංවී ඇති අර්බූදය ඉදිරියට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ප්‍රශ්න වසන්නට කිසිවිටෙකත් උත්සහ නොකළ යුතු බවය. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් මෙන්ම ඊට ඉදිරිපත්වන විවිධ පාර්ශ්ව ගැනද, ව්‍යවස්ථා වෙනසක් ගැනද සාකච්ඡා වෙමින් පවතී. එවන් පසුබිමක චමින්ද වාස් ගේ තීරණය හෙළා දකිමින් ක්‍රිකට් ගොඩනැගීම සම්බන්ධ මූලික ගැටලුව අකාමකා හරින්නට කිසිදු පාර්ශ්වයකටත් නොහැකිය.

වාස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර ඇති ගැටුම වෙනමම පරීක්ෂා කළ බලා විසඳන්නට හැකිය. එය එකිනෙකාට බැණ අඩ ගසා ගැනීමෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන සෙතක් ඇත්තේ නැත. එහෙත් එය අවශ්‍යම නම් දෙපාර්ශ්වයේම මතය අපක්ෂපාතී ලෙස විනිශ්චයකට ලක්කිරීමෙන් ඉදිරි කාල සීමාවේදී සිදුකළ හැකිය. අවශ්‍ය නම් එය ක්‍රීඩා ඇමැතිවරයාට හෝ ක්‍රීඩා සභාවට නැතහොත් වෙනයම් පත්කළ කමිටුවකටද කළ හැකිය. එහෙත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියාවට නැංවිය යුතු වැඩපිළිවෙල අකාමකා දැමීමේ ආවරණයක් සිදුකර නොගත යුතුය.

 

සංස්කාරක

Comments