
පසුගිය ආදරවන්තයන්ගේ දවසේ හැරී කුමාරා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ප්‍රීතියෙන් ඉපිලී ගොස් ඇති බවක් වාර්තා වනවා. මෙතෙක් දිනක් හැරීගේ ප්‍රකාශ හේතුවෙන් කනගාටුවට පත් වූ රජ පවුල ප්‍රීතියට පත් කිරිමට හේතුවූ මේ ප්‍රකාශයත් හැරී සිදු කර තිබුණේ තමන්ගේ දරු පවුල සම්බන්ධයෙන්ම තමයි.
හැරීගේ මේ ප්‍රකාශයෙන් කියවුණේ තමන්ගේ සහ මේගන්ගේ පවුලට තවත් සාමාජිකයකු එක් වීමට යන බවයි. මේ පුවත රජ පවුලේ මහ රැජින, පිලිප් කුමරා සහ චාල්ස් කුමරා තම සතුට ප්‍රකාශ කරමින් වෙන වෙනම නිවේදන නිකුත් කර ඇති බවත් සඳහන්.
මේ වන විට හැරී කුමරා 36වැනි වියේත්, මේගන් 39වැනි වියේත් පසුවනවා. ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුත්‍රයා වන ආචි ගේ වයස මාස 13ක් පමණයි.
රුසියානු ජනතාවගේ ප්‍රේමය නවල්නිට
පසුගිය පෙබරවාරි 14වැනිදාට යෙදී තිබුණු පෙම්වතුන්ගේ දිනය රුසියානු ජනතාව සැමරුවේ වඩා වෙනස් අන්දමකින්. විශේෂයෙන් මොස්කව් සහ සෙන්ට් පීටර්ස්බර්ග් ජනතාව එදින රාත්‍රියේ තම නිවෙස්වලින් පිටතට පැමිණ තම ජංගම දුරකතනවල ආලෝක දල්වමින් දැනට සිරගතව සිටින එරට විපක්ෂ ක්‍රියාධර ඇලෙක්සි නවල්නිට සහය දක්වමින් හඬ නගා තිබෙනවා.
එදින රාත්‍රියේ මේ නගරවල සෙල්සියස් අංශක ඍණ පහළවක පමණ දැඩි ශීතලක් පැවතියත් ජනතාව මෙලෙස පිටතට පැමිණ ඇත්තේ ඒ බව නොතකමින්.
ජනතා උද්ඝෝෂණ කොතරම් ක්‍රියාත්මක වූවත්, විදෙස් බලපෑම් කොතරම් එල්ල වුවත්, මේ දක්වා රුසියානු නායකයා ඇලෙක්සි නවල්නි නිදහස් කිරීම සම්බන්ධව කිසිඳු අදහසක් ප්‍රකාශ කර නැහැ.
දත්ත හිඟවීම නිසා අප්‍රිකාවට එන්නත ප්‍රමාදයි
කොවිඩ් සම්බන්ධව අප්‍රිකාවෙන් නිශ්චිත නිවැරදි දත්ත වාර්තා නොවන නිසා එන්නත ලබා දීම ප්‍රමාද විය හැකි බවට පුවත් වාර්තා වනවා. අප්‍රිකානු රටවල කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද නිශ්චිතව වාර්තා නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
කොවිඩ් සම්බන්ධව ආරම්භයේ සිටම නිශ්චිත දත්ත වාර්තා පවත්වාගත් ජෝන් හෝකින්ස් විශ්වවිද්‍යාලය පවසන්නේ අප්‍රිකා මහාද්වීපයේ දිනකට ආසාදිතයන් මිලියන 3ත් 7ත් වාර්තා විය යුතු බවත්, දිනකට මරණ දහස් ගණනක් වාර්තා විය යුතු බවත්.
එහෙත් බොහෝ අප්‍රිකානු රටවල්වලින් නිශ්චිතව ආසාදිතයන් වාර්තා නොවන බවක් තමයි කියවෙන්නේ.
අප්‍රිකානු රටවලට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ අපහසුතා පැවතීමත් එසේ වීමට එක් ප්‍රධාන හේතුවක්. ඒ හේතුවෙන්ම ඔවුන් වෙත නිශ්චිත ප්‍රමාණයෙන්ගෙන් එන්නත් ලබා දීම ප්‍රමාද විය හැකි බවට අනාවැකි පැවසෙනවා.
ඇමරිකාවෙන් කොටසක් හිමෙන් වැසෙයි
තම රටේ විශාල ප්‍රදේශයක් දරුණු හිම කුණාටුවකට මුහුණ දී සිටින බව පසුගිය සතියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කර සිටියා. වැඩි දුරටත් වාර්තා වූ තොරතුරුවලින් ප්‍රකාශ වූයේ එරට ටෙක්සාස් ප්‍රාන්තය දරුණු හිමපතනයක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. එම ප්‍රාන්තයේ ජනතාව මිලියන එකහමාරක් පමණ විදුලි බලය අහිමි වීමෙන් පීඩාවට පත්වූ අතර ඔවුන්ට නිවෙස්තුළම කොටුවී සිටින්නටද සිදුව තිබුණා. බයිඩ්න් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සනාථ කරමින් එරට කාලගුණ වාර්තා පෙන්වා දුන්නේ රටේ ප්‍රධාන නගර බොහොමයක දැඩි ශීත කාලගුණයක් පවතින බව. ඒ අනුව ඔක්ලහෝමා නගරයේ සෙල්සියස් අංශක ඍණ 15ක් ලෙසත්, ඩලාස් හි ඍණ 12, කැන්සාස් සිටිහි ඍණ 22ක් යනාදී වශයෙන් සහ තවත් නගර රැසක දැඩි ශීත කාලගුණ තත්ත්වයන් වාර්තා වී තිබුණා.
නවසීලන්තයත් ලොක්ඩවුන්
බ්‍රිතාන්‍ය වයිරස ප්‍රබේදය හමුවීමත් සමඟම නවසීලනත්යේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නගරය වසා දැමීමට එරට බලධාරීන් තීරණය කළා.
මේ දක්වා මුළු ලෝකයෙන්ම කොවිඩ් ඉතාම හොඳින් පාලනය කළ රට වශයෙන් සම්මානයට පාත්‍රව සිටියේ නවසීලන්තයයි. එහෙත් කොවිඩ් වයිරසයෙන් බේරීමට එරටටද හැකියාවක් ලැබුණේ නැහැ.
බ්‍රිතාන්‍ය වයිරස් ප්‍රබේදය ඔක්ලන්ඩ් නගරයෙන් වාර්තා වීමත් සමඟම නගරය වසා දැමීමට නවසීලන්ත බලධාරින් කටයුතු කළ අතර මිලියන දෙකක ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස නියෝග ලබා දුන්නා. මේ අතර නවසීලන්ත අගමැතිනිය පවසා සිටියේ ඇණවුම් කළ කොවිඩ් එන්නතේ ප්‍රථම තොගය තම රටට ලැබී ඇති බවයි.