බයිඩ්න් ට්‍රම්ප්ගේ පිට කසයි: දෙවැනි දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් නිදහස් | සිළුමිණ

බයිඩ්න් ට්‍රම්ප්ගේ පිට කසයි: දෙවැනි දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් නිදහස්

ඇමරිකානු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු බලයෙන් ජනාධිපතිවරයා සතු බලය පාලනය වන ලෙස නිර්මාණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තුව ඉක්මවමින් ජනාධිපති ඒකාධිපතියකු සතු
බලතල අත්පත්කර ගෙන අවසන්ය.

 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට විරුද්ධව එල්ල වී තිබූ දෙවැනි දෝෂාභියෝගයෙන් නිදොස් වූ බව පසුගියදා එරට සෙනෙට් සභාව නිවේදනය කර සිටියේය. ඔහුට මේ දෝෂාභියෝගය එල්ල කරනු ලැබුවේ ජනතාව කුපිත කරවීමේ චෝදනා සමඟිනි. පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට දින කිහිපයකට පෙර සිට රිපබ්ලිකන් පාක්ෂිකයන් වොෂිංටන් නගරයේ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගත් අතර, අවසානයේ ඔවුන් දිවුරුම් දීම පැවැත්වීමට නියමිත කැපිටල් ගොඩනැගිල්ලද ආක්‍රමණය කළහ. මේ සිදුවීම් සිදුවන අතර ට්වීටර් මාර්ගයෙන් මේ කළහකාරීන් උද්දාමයට පත්වන අන්දමේ පණිවිඩ දිගින් දිගටම එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ට්වීටර් ගිණුමෙන් නිකුත් වන්නට වූ අතර බලය අත්හැර යෑමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුට දෙවැනි දෝෂාභියෝගය එල්ල කෙරුණේ මෙලෙස ජනතාව කුපිත කිරීමේ චෝදනාව යටතේය.

ධූරයෙන් නික්ම යෑමට පැය ගණනක් තිබියදී එල්ල වූ දෝෂාභියෝගය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත වූ අතර සෙනෙට් මණ්ඩල විභාගය පසුවට කල් තැබුණේ ඒ අතර බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවය පැවතීම හේතුවෙනි. කෙසේ වුවද ඒ වන විට ට්‍රම්ප් යනු හුදෙක් අහෝසි වූ දේශපාලනඥයකු පමණක්ම විය. ඔහුට විරුද්ධව රිපබ්ලිකන් පක්ෂය අභ්‍යන්තරයෙන්ම බලවේගයක් ක්‍රියාත්මක වූ අතර ඔහුගේ උප ජනාධිපති මයික් පෙන්ස් කල්තබාම ට්‍රම්ප් විරෝධියකු බවට පත්ව සිටියේය. තවත් රිපබ්ලිකන් සෙනෙට්වරුන් පිරිසක් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල විවේචනය කරමින් ට්‍රම්ප් නොමැති රිපබ්ලිකන් ජයග්‍රහණයක් සම්බන්ධව අනාවැකි කියන්නට වූහ.

ඇමරිකාවේ බොහෝ දුරට පරාජිත දේශපාලනඥයන් පරාජිතයන් පමණක්මය. ඔවුන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පරාජයට පත්වූයේ නම් හෝ ජනාධිපතිවරණය පරාජයට පත්වූයේ නම් හෝ ඔවුන්ට යළිත් දේශපාලනයේ රැඳී සිටීමට ලැබෙන අවස්ථා අවමය. මෙහිදී බොහෝ දුරට සිදුවන්නේ මෙවැනි පරාජිත දේශපාලනඥයන් තමන් විසින්ම දේශපාලනයෙන් සමුගැනීමය. ඒ සඳහා හොඳම උදාහරණයද හොඳම ව්‍යතිරෝකයද හමුවන්නේ ඩිමොක්‍රටික් පක්ෂයෙනි. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස හිලරි ක්ලින්ටන් දැක්විය හැකිය. ඇය එක් අවස්ථාවකදී ජනාධිපති අපේක්ෂකත්ව තරගයෙන් පරාජයට පත්වූයේ බරැක් ඔබාමාටය. දෙවැනි අවස්ථාවේදී අැය ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්නා අතර ඇය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වූවාය. යළිත් ඇය දේශපාලනයේ නොයෙදුණු අතර අපේක්ෂකත්වය අත්හරිමින් ඩිමොක්‍රට්ක් ක්‍රියාකාරිනියක් ලෙස පමණක් කටයුතු කරමින් සිටින්නීය.

එහෙත් මේ සඳහා හොඳම ව්‍යතිරේකය ලෙස දැක්විය හැකි වන්නේද ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න්ය. ඔහු අවස්ථා කිහිපයකදීම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට අපොහොසත් වූ නමුත් ඔහු දේශපාලනයෙන් බැහැර වූයේ නැත. ඒ වෙනුවට ඔහු ඇමරිකාවේ වියපත්ම ජනාධිපතිවරයා ලෙස වයස අවුරු 78දී ජනාධිපති ලෙස ජයග්‍රහණය ලැබුවේය.

කෙසේ වුවද හිටපු ජනාධිපති ට්‍රම්ප්ට පෙර දිගින් දිගටම ජනාධිපතිවරුන් ධූර කාල දෙකම සම්පූර්ණ කිරීමට සමත් වූ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනතාව අතර අප්‍රසාදයට ලක් වූ බැවින් ඔහුට පළමු ධූරකාලයෙන් පසු සමු ගැනීමට සිදුවිය. එහෙත් ඔහු සමුගැනීමට පෙර ඉඟි කර සිටියේ තමන් යළිත් වරක් බලයට පැමිණෙන බවයි. කෙසේ වුවද ඔහුගේ දේශපාලන අනාගතයට පහර වැදෙනු ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් නොව ඔහුගෙ රිපබ්ලිකන් පක්ෂය අභ්‍යන්තරයෙන්ම බව මේ වන විට පැහැදිලිය.

ඒ අනුව යළිත් වරක් ට්‍රම්ප් කිසිදින බලයට පත් නොවන බව නිශ්චිත වීමට මෙලෙස දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් ජය ගැනීමට හේතුවක් වන්නටද ඇත. ඒ මන්ද යත් බලයේ පවතින ඩිමොක්‍රටික් පක්ෂ ආණ්ඩුවක පාර්ලිමේන්තු බලට ලබා ගැනීම එතරම් විශේෂ දෙයක් නොවන බැවිනි. ගතවන මොහොත වන විට සෙනෙට් මණ්ඩලයේ ආසන දෙකක වැඩි බලයක් රිපබ්ලිකන් පක්ෂයට පැවතියද එම පක්ෂයේම කොටසක් ට්‍රම්ප්ට එරෙහිවූ බව අමතක කළ යුතු නැත. එහෙත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය පවතින්නේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

ඇමරිකානු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සතු බලයෙන් ජනාධිපතිවරයා සතු බලය පාලනය වන ලෙස නිර්මාණය කර තිබුණද මේ වන විට පාර්ලිමේන්තුව ඉක්මවමින් ජනාධිපති ඒකාධිපතියකු සතු බලතල අත්පත්කර ගෙන අවසන්ය.

ඒ අනුව සැමවිටම ඇමරිකානු පාර්ලිමේන්තුව යටපත් වන අතර ජනාධිපතිවරයා හැමවිටම ඉස්මතු වේ. කෙසේ වුවද දෝෂාභියෝගයන් වැනි අවස්ථාවලදී යළිත් යටපත්ව පැවති පාර්ලිමේන්තුව අවධානයට ලක් වුවද පාර්ලිමේන්තු සාමාජිකයන් කටයුතු කරන්නේ ද ජනාධිපති අභිලාෂයන් අනුව බව අමතක කළ යුතු නැත.

ට්‍රම්ප් බලයට පැමිණි දින සිට කකුලෙන් ඇදීමේ නිතර වූ කතානායිකා නැන්සි පෙලෝසි ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රථම දෝෂාභියෝගය සඳහා පෙරමුණ ගත් අතර එහිදී ට්‍රම්ප් ඉතා සැහැල්ලුවෙන් එයට මුහුණ දුන්නේ සෙනෙට් සභාව සතු බලය පිළිබඳ විශ්වාසයෙනි. එවරද ඔහු දෝෂාභියෝගය ජය ගත්තේය.

මෙවර ඔහුට විරුද්ධව ඡන්ද සෙනෙට් සභාවේදී ඡන්ද 48ක් ලැබෙන්නේය. ඒ ඩිමොක්‍රටික් ඡන්ද 47ක් සහ එක් රිපබ්ලිකන් ඡන්දයක් වශයෙනි. එහෙත් ඔහුට පක්ෂව ලැබෙන සෙසු රිපබ්ලිකන් ඡන්ද 52 හේතුවෙන් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් නිදහස් වන්නේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දේශපාලන පරාජිතයෙකි. ව්‍යපාරිකයකු වශයෙන්ද ඔහු පරාජය වෙමින් සිටින බවට පසුගිය වසර පුරා වරින්වර වාර්තා විය. එවැනි පරාජිතයකු තවදුරටත් පරාජය කිරීමට දෙයක් නැත. තරගය පැවතියේ දෝෂාභියෝගයේ නොව ජනාධිපතිවරණයේදීය. ඒ අනුව ජනතාවට සිතා ගත යුතුව ඇත්තේ කැපිටල් ගොඩනැගිල්ලට සිදුකළ පහර දීමේදී ට්‍රම්ප්ගෙ ට්වීටර් ගිණුම තමන්ම පණිවිඩ ඉබේ නිකුත් කරගත් බවය. නැතහොත් ජනතාව නිකම්ම කුපිත වූ බවය.

දේශපාලන යනු එසේය. එය ඇමරිකාවේද, ආසියාවේද කියා වෙනසක් නැත. අනික් අතට ට්‍රම්ප් වැනි තරමක් වෙනස් මිනිසකු බලයට පැමිණ ක්‍රමයේ යම් යම් වෙනස්කම් කිරිමට උත්හාස දැරීම මිස ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකද එකම කාසියේ දෙපැත්ත වැනිය.

දැන් තවදුරටත් ට්‍රම්ප් නැත. සිටින්නේ ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන රිපබ්ලිකන් පක්ෂය පමණි.

අති සාර්ථක බුෂ් පාලනයෙන් පසු රිපබ්ලිකන් පක්ෂය සාර්ථක වූයේම නැත. යම් තරමකට හෝ සාර්ථක වූ ට්‍රම්ප්ට හැකියාව ලැබුණේද එක් ධූරකාලයක් පමණක් අසීරුවෙන් ගෙවා දැමීමටය. එසේ නම් තවදුරටත් ගියවුන්ට පහර එල්ල කිරීමේ වැදගත්කමක් නැත. තවත් වසර හතරකට බයිඩ්න් රිපබ්ලික් පක්ෂය අමතක කර දමා ඇති බවට මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය.

 

Comments