කබඩි අබලී ක්‍රීඩාවක් නොකරන්නේ කෙසේ ද? | Page 2 | සිළුමිණ

කබඩි අබලී ක්‍රීඩාවක් නොකරන්නේ කෙසේ ද?

 

අපේ රටේ කබඩි ක්‍රීඩාව මෙහෙමවත් ඉතිරිවෙලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව නිසයි. පාසල් මට්ටමින් ක්‍රීඩාව කනගාටුදායක විදිහට කඩා වැටිලා

මේ කබඩි ගැන කතාවකි. මෙම කතාව 'ක්‍රීඩා' වෙත පැවසූයේ සමන්ත දිනේෂ් කුමාර නමැති කබඩි පුහුණුකරුවා ය. ක්‍රීඩාවේ ප්‍රගමනය අපේක්ෂා කරමින් ඇරැඹි 'ක්‍රීඩා' පුවත්පත ඔහුගේ හඬ ඇසුරු කරගනිමින් දේශීය කබඩි ක්‍රීඩාව පිළිබඳ මෙලෙස සටහනක් තබන්නේ එහි අනාගතය සුරක්ෂණය කරගැනීමේ අභිලාෂයෙනි.

ජාතික ක්‍රීඩා විද්‍යායතන කබඩි පළමු ශ්‍රේණියේ (LEVEL1) පුහුණු පාඨමාලාව සම්පූර්ණ කරමින් මෙරට කබඩි පුහුණුකරුවකු ලැබිය හැකි ඉහළම සුදුසුකම සම්පූර්ණ කර ඇති 35 හැවිරිදි සමන්ත දිනේෂ් කුමාර මහතා කලක් යුද හමුදා සිංහ රෙජිමේන්තු කබඩි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත්තෙකි.

‘වර්තමානයේ පාසල් මට්ටමින් කබඩි ක්‍රීඩකයන් බිහිවෙනවා හරි අඩුයි. අතීතයේ කෑගල්ල, කොළඹ, ගාල්ල වැනි පළාත්වලින් දස්කම් සපිරි කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිවුණා. නමුත් දැන් එවැනි තත්ත්වයක් හා දියුණුවක් පෙන්වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් පමණයි. ඒ අනුව උතුරට සාපේක්ෂව දකුණේ කබඩි ක්‍රීඩාව අභාවයට යමින් තිබෙනවා. ‘ක්‍රීඩා’ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සමන්ත දිනේෂ් කුමාර මහතා කියා සිටියේය.

‘අපේ රටේ කබඩි ක්‍රීඩාව මෙහෙමවත් ඉතිරිවෙලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව නිසයි. පාසල් මට්ටමින් ක්‍රීඩාව කනගාටුදායක විදිහට කඩා වැටිලා’ ඒ මහතා පැවැසීය.

වසර 2014දී ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් මෙහෙයවූ ක්‍රීඩා සම්බාහක පුහුණු පාඨමාලාවත්, වසර 2018දී ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මෙහෙයවූ තරග විනිසුරු වැඩමුළුවත් සම්පූර්ණ කරමින් කබඩි ක්‍රීඩාවේ දැනුමින් පෝෂණය වී සිටින මේ විශිෂ්ට ක්‍රීඩකයා කබිඩි ක්‍රීඩකයකු ලෙසත්, පුහුණුකරුවකු ලෙසත් වසර 20කට අධික කාලයක අත්දැකීම් ඇති අයෙකි.

‘2019 වසරේදී ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. එහිදී පත් වූ කබඩි ක්‍රීඩා ගුරුවරුන් බහුතරයකට අත්දැකීම් නෑ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අවුරුදු 20, 21 වයසේ පසු වූ, පුහුණුකරුවන් බවට පත්වීමට තරම් අත්දැකීම් නොමැති ළාබාල අයයි. ඒ නිසාම අපට දැන් පාසල් කබඩි ක්‍රීඩකයන් බිහි කිරීමේ දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. ජාතික සංචිතයට දායකත්වයක් ලබා දිය හැකි දෙවැනි පෙළ කණ්ඩායමක් ඇත්තෙම නෑ.’ ඒ මහතා තවදුරටත් කීවේය.

‘අපි කාලයක් කබඩි ක්‍රීඩාවෙන් ආසියාවේ ඉහළ තැනකයි සිටියේ. දැන් අපිට ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල පාසල් කණ්ඩායම් අසලටවත් ළඟාවීමට නොහැකියි. මම ඉරානයේ සංචාරය කළ අවස්ථාවේදී ඒ බව දුටුවා.’ ඔහු සඳහන් කළේය.

කෑගල්ල රන්වල මහානාග මහා විද්‍යාලයෙන් කබඩි ක්‍රීඩාවට එක් වූ සමන්ත දිනේෂ් මහතා, පසුව කෑගල්ල දිස්ත්‍රික් කබඩි කණ්ඩායම නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උලෙළ හා අවුරුදු 25න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වූවෙකි. වසර 2008දී ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට බැඳී වසර 12ක සේවා කාලයකින් පසු 2020දී නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත් වී සිටින ඒ මහතා ක්‍රීඩකයකු ලෙස අවුරුදු 16ක අත්දැකීම් සහ පුහුණුකරුවකු ලෙස වසර 5ක අත්දැකීම් ඇති ඉහළම සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි.

‘අපේ රටේ කබඩි ක්‍රීඩාව නැවත ඉහළට ඔසවා තැබීමට හැකියාව ඇති දක්ෂ යොවුන් ක්‍රීඩකයන් අපට සිටිනවා. ඔවුන් නිවැරැදි අයුරින් පුහුණු කළ යුතුයි. මේ ක්‍රීඩාවේදී ශරීර අස්ථි, මාංශ පේශීන් ක්‍රියාකරන ආකාරය, එක් එක් මාංශ පේශී හා ශරීර අස්ථී ක්‍රියා කරන්නේ කිනම් ක්‍රීඩා ඉරියව්වේදැයි යන්න කබඩි ක්‍රීඩකයන් දැන සිටිය යුතුයි. එසේ නැතිනම් සිදුවන්නේ ක්‍රීඩකයන් ඉක්මනින්ම ආබාධවලට ලක්වීමයි. ඔවුන්ට විද්‍යානුකූල දැනුමක් ලබා දිය යුතුයි. ඒ සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවකු විදිහට විශාල දායකත්වයක් ලබාදීමට මට හැකියාව තිබෙනවා.’ සමන්ත දිනේෂ් කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ෆවුස් මොහොමඩ්

Comments