ලොව වටා | සිළුමිණ

ලොව වටා

ඉන්දියාවට කඩා වැටුණු ග්ලැසියරය

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද ප්‍රදේශයේ පසුගියදා මහා ජලගැලීමකට මුහුණ දීමට සිදුවිය. කිසිඳු පූර්ව ලක්ෂණයකින් තොරව ඉතාම හදිසියේ සිදුවූ මේ ජලගැලීමට හේතුව වී තිබුණේ හිමාලය කඳු ආශ්‍රිතව සිදුවූ ග්ලැසියර කඩා වැටිමකි.

ගම් දනව් යට කරමින්, පාලම් කඩා බිද දමමින් ක්ෂණිගව ගලා ආ මේ මහා ජල ධාරාව වැඩියෙන්ම හානි සිදු කරණු ලැබුවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ජල විදුලි බලාගාරයක් ඉදි කරමින් සිටි කම්කරුවන් පිරිසකටය. ජල ගැලීම හේතුවෙන් කොටුවූ එහි සේවකයන් පිරිසක් මේ වන විට මුදා ගැනීමට සමත්ව තිබුණද 170කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව ඇතැයි ප්‍රකාශිතය.

 

ඇස්ට්‍රාසෙනෙකා නවත්තන්න එපා ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

දකුණු අප්‍රිකාවේ පැතිර යන කොවිඩ් වයිරස ප්‍රභේදයට ප්‍රතිශක්තිය ඇති නොකළද දැනට ලොව පුරා රටවල එන්නත් කෙරෙමින් පවතින ඇස්ට්‍රසෙනෙකා එන්නත නවත්වා දැමිය යුතු නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. දකුණු අප්‍රිකානු වයිරස් ප්‍රභේදයට ප්‍රතිශක්තිය ඇති නොකරන බව දැනුම්වත් වීමත් සමඟම එරට ජොහැන්නස්බර්ග් නගරයේ සිදු කෙරෙමින් පැවති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරන වැඩපිළිවෙළ නවත්වා දැමීමට එරට බලධාරීන් කටයුතු යෙදීය.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ සෙසු රටවල සිදු කෙරෙමින් පවතින එන්නත්කරණ මේ හේතුවෙන් නවත්වා දැමිය යුතු නොවන බවයි. කොවිඩ් වයිරසයේ සෙසු ප්‍රභේදවලට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මනාව ප්‍රතිශක්තිය ඇති කරන බැවින් එසේ නවතා දැමිය යුතු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ. මේ වන විට ලෝකයේ දුගී රටවල් බහුතරයක ලබා දෙමින් පවතින්නේද ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි.

 

පසුගිය වසරේ චීනයේ බබාලා අඩුවෙලා

පසුගිය 2020 වසරේ චීනයේ නව දරු උපත් සංඛ්‍යාව පෙර වසරට වඩා සියයට හැත්තෑපහකින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. මේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වා ඇත්තේ එරට නව දරු උපත් ලියාපදිංචි ආයතනය මඟිනි.

චීනයේ එක් පවුලකට එක් දරුවකු යන නීතිය 2016 වසරේදී වෙනස් කරනු ලැබූයේ අනාගත චීන ශ්‍රම බළකාය භයානක ලෙස හැකිළෙනු ඇති බවට පළවූ අනාවැකිය සමඟිනි. එහිදී පවුලකට දරුවන් දෙදෙනෙකු වශයෙන් එම නීතිය සංශෝධනය කරනු ලැබීය.

එහෙත් පසුගිය වසරේ පැතිර ගිය වංසගත තත්ත්වය හේතුවෙන් නව දරු උපත් සිදුවීම මෙලෙස විශාල වශයෙන් පහත වැටෙන්නට හේතුව ලෙස අනුමාන කර තිබේ.

 

ඇමරිකාවේ හැකර්වරයකුගෙන් වතුරට වස

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජල සැපයුම සිදුකෙරෙන පරිගණක පද්ධතියට බලහත්කාරයෙන් ඇතුළු වූ හැකර්වරයකු උග්‍ර විෂ රාසයන ද්‍රව්‍යකින් විශාල ප්‍රමාණයක් ජලය ටැංකිවලට මුසු කිරිමට උත්සාහ දරා තිබේ.

ඔහු මේ උත්සාහය දරා ඇත්තේ ෆ්ලොරිඩාහි ඔල්ඩ්ස්මාර් ජල පිරිපහදු ස්ථානයේදීය. එහිදි ජලය පිරිසිදු කිරීමට යොදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ඉතා විශාල අගයක් ලෙස පද්ධතිය මඟින් ඉබේ ක්‍රියාත්මක වීමට අණ ලබා දීමට හැකර්වරයා කටයුතු කර තිබේ. ඔහුගේ අරමුණ සාර්ථක වී නම් අති විශාල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් සමඟ ජනතාව වෙත යැවෙන ජලය පානය කිරීමෙන් විශාල ජිවිත සංඛ්‍යාවක් හානි වීමට ඉඩ තිබූ බව පැවසේ. කෙසේ වුවද මේ මහා ව්‍යසනය සිදුවීමට පෙර වළක්වා ගැනීමට ෆ්ලොරීඩා බලධාරින්ට හැකියාව ලැබිණි.

 

බිට් කොයින් අහසට

එලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම විසින් ඩොලර් බිලියන 1.9ක වටිනාකමකින් යුත් ‘බිට්කොයින්’ මිලදී ගැනීමෙන් පසු එක් බිට්කොයින්එකක අගය ඩොලර් 43,968 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එක්වරම බිට්කොයින් එකක මිල වැඩිවී ඇත්තේ සියයට 14ක ප්‍රමාණයකිනි. බිට්කොයින් යනු අන්තර්ජාල මුදල් ඒකකයක් වන අතර, එය භෞතික භාවිතයේ නොමැති අතත්‍ය එහෙත් අන්තර්ජාල භාවිතයේදී අති විශාල වටිනාකමකින් යුත් මුදල් ඒකකයි.

මීට අමතරව භාවිතයේ පවතින තවත් අන්තර්ජාල මුදල් ඒකක කිහිපයක් මිලදී ගැනීමෙන් ඒවායේ වටිනාකම ඉහළ දැමීමටද එලෝන් මස්ක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඩොගෙකොයින් ඒ අතරින් එක් මුදල් ඒකකයක් වන අතර එහි මිල එක්වරම සියයට 50කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මෙසේ කිරීමට හේතුව ටෙස්ලා සමාගම ස්වකීය ආයෝජන සැලැස්ම යාවත්කාලීන කිරීම බව එලෝන් මස්ක් ට්වීටර් පණිවිඩයක් මඟින් පවසා තිබේ.

Comments