
1952-ලාහෝර් හිදී සිව්ල් ඉංජිනේරු ඉක්රාමුල්ලා
ඛාන්ගේ එකම පිරිමි දරුවා ලෙස උපත ලැබීය.
1992 - පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ
නායකයා ලෙස ලෝක කුසලානය
දිනා ගැනීමට දායකත්වය සැපයීය.
1996 - පකිස්ථාන ටෙහ්රීක් ඉ - ඉන්සාෆ්
දේශපාලන පක්ෂය පිහිටුවීය.
2002 - ප්‍රථම වරට එරට පාර්ලිමේන්තුව නියෝජනය
කිරීමේ අවස්ථාව දිනා ගත්තේය.
2018 - පකිස්ථානයේ 22වැනි අගමැතිවරයා ලෙස තේරී පත්විය.
අගනුවර - ඉස්ලාමාබාද් විශාලතම නගරය - කරච්චි
භාවිත වන භාෂා - ඉංග්‍රීසි, උර්දු, පශ්තූන්, පන්ජාබි
ආගම - ජනගහනයෙන් සියයට 96.28ක ආගම ඉස්ලාම් වේ
ඩොමීනියන් නිදහස ලැබීම - 1947 අගෝස්තු 14
ඉස්ලාමීය ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම - 1956 මාර්තු 23
භූමි ප්‍රමාණය - 8,81, 913 වර්ග කිලෝමීටර්
ජනගහනය - 207.8 මිලියන (2017 වන විට)
මුදල් ඒකකය - පකිස්ථාන රුපියල
ඔවුන් වහරන්නේ උර්දු බසයි. එම බසට අනුව පකිස්ථානය යනු ‘නිර්මල දේශය’යන්නයි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් තම යටි අරමුණු වෙනුවෙන් දෙකඩ කරන ලද බිම් කඩක ඔවුහු මේ නිර්මල දේශය ගොඩනැඟූහ. ඒ ගොඩනැඟුණු දේශයෙන් සැමදා ශ්‍රී ලංකාව වෙත මිත්‍රත්වයේ දෑතම දිගු විය. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතාවල විශේෂ ස්වභාවය වන්නේ එකී මිත්‍රත්වයමය.
භූමි ප්‍රමාණය අතින් එතරම් විශාල නොවූවද ලෝකයේ වැඩිම ජනගහනය අතින් පස්වැනි තැන දිනා ගැනීමට පකිස්ථානය සමත් වී තිබේ.
එමෙන්ම ලෝකයේ සත්වැනි විශාලම හමුදා බලයද පකිස්ථානය සතුය. ලොව බලවත්ම ඉස්ලාම් රාජ්‍ය අතරට කලක් එක්ව සිටි පකිස්ථානය විසිවැනි සියවසේ අගභාගය වන විට න්‍යෂ්ටික බලය ලබා ගැනීමේ ආසන්න අවස්ථාවේ පසුවීමට තරම් ශක්තිමත් රටක් විය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රටවල් අතරට පකිස්ථානයද එක් විය යුතු යැයි එම යුගයේදී දිගින් දිගටම යෝජනා විය.
එහෙත් වසර 2000න් පසුව ලෝක දේශපාලනයේ සිදුවූ වෙනස් වීම් මත දුෂ්කර කාලයක් ගෙවීමට පකිස්ථානයට සිදුවූ අතර ආර්ථිකමය මෙන්ම සමාජයීය වශයෙන්ද පීඩාවට පත්වීමට එරට ජනනතාවට සිදු විය.
එහෙත් ඒ කිනම් තත්ත්වයක් යටතේ වුවද ශ්‍රි ලංකාව සමඟ පැවති ශක්තිමත් මිත්‍රත්වයට හානි වීමට දෙරටම කිසිඳු ඉඩක් දුන්නේ නැත. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති අවස්ථාවේ පකිස්ථානය ශ්‍රී ලංකාවට නිතර යුද ආධාර ලබා දීමට ඉදිරිපත් විය. එකල ශ්‍රී ලංකා හමුදාවට අවශ්‍ය බොහෝ අවි ආයුධ මිලදී ගැනීම සිදුවූයේ පකිස්ථානයෙනි. කිනම් බාධක පැමිණියද පකිස්ථානය නොකඩවා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ට යුද පුහුණුව ලබා දීමට කටයුතු යෙදීය.
එපමණක්ද නොව එල්ටීටීඊ හිතවාදීන්ගෙ උසිගැන්වීම් මත බටහිර රටවල් ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල කළ සෑම අවස්ථාවකදීම පකිස්ථානය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි එකම රට පකිස්ථානය විය.
ස්වභාවික විපත් අවස්ථාවලදීද දෙරට හුවමාරු කරගත් මිත්‍රත්වය අවියෝජනීය විය. බොහෝ අවස්ථාවලදී පකිස්ථානය බලවතා මෙන්ම ධනවතාද වූ අතර ශ්‍රී ලංකාවට සහෝදරත්වයෙන් සැලකීමට කටයුතු යොදනු දැකගත හැකි විය.
පෙරළා ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාසි අවම වුවද පකිස්ථානය කිසිදා ශ්‍රී ලංකාව සමඟ ඇති මිත්‍රත්වය අවැඩදායී සේ නොසලකනු දැක ගත හැකි විය.
ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයට ත්‍රස්ත තර්ජනවලට මුහුණ දිමට සිදුවිය. අසල්වැසි ඇෆ්ගනිස්ථානය ඇමරිකානු හමුදා ප්‍රහාර සහ තලේබාන් ප්‍රතිප්‍රහාරවලින් බිමට සමතලා වන විට පකිස්ථානයට ඒවායේ අතුරු ප්‍රතිඵලවලින් මිදීමට හැකියාවක් ලැබුණේ නැත.
එමෙන්ම ඉරාකය ඇතුළු මුස්ලිම් ලෝකයට එල්ල වූ ප්‍රහාර හමුවේ පකිස්ථාන ආර්ථිකයටද බලවත් හානි සිදුවිය.
අන්තවාදී ඉස්ලාම් සංවිධාන පකිස්ථාන සාමාන්‍ය ජන ජීවිතය උඩු යටිකුරු කර දමද්දී එරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වූයේ නැත.
උදාහරණ ලෙස 2009 වසරේ ලාහෝර් නගරයේදී එරට සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමකින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැක්විය හැකිය. එම ප්‍රහාරයෙන් පසු පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට අත්වූ කණගාටුදායක ඉරණමෙන් මිදීමට තවත් බොහෝ කල් ගත විය.
මේ වන විට ශක්තිමත් නායකත්වයක් යටතේ පකිස්ථානය යළි ශක්තිමත්ව නැගී සිටිමින් පවතින බව පැහැදිලිවම දක්නට තිබේ. එරට ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින අතර, කොවිඩ් වසංගතයෙන් පසු තවදුරටත් ශක්තිමත් ආර්ථිකයක් පවත්වා ගැනීමට පකිස්ථාන නායකත්වයට හැකියාව ලැබෙනු ඇති බවට අනාවැකි කල්තබාම පැවසිය හැකිය.
සාක් කලාපීය සාමාජික සුහදත්වය මෙන්ම ඉපැරණි මිත්‍රත්වයද, අසල්වැසි සබැඳියාවද ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දිගු කාලීන බැඳීමට හේතු ලෙස දැක්විය හැකිය. දෙරට අතර පවතින ආනයන අපනයන ශක්තිමත් තත්ත්වයක පවතින අතර දෙරටම එකිනෙකා මත පරායත්ත වන්නේද, එකී පරායත්තභාවය තවදුරටත් ශක්තිමත් වන්නේද මේ ඉපැරණි මිත්‍රත්වයම හේතුකොටගෙන බව පැවසිය හැකිය.