
දේශපාලනය යනු කඹය මත දක්වන සර්කස් ක්‍රීඩාවක් වැනිය. අති සියුම්ව, මනා සංයමයකින් යුක්තව ඉවසීමෙන් කඹය මත ගමන් කරන සර්කස් ක්‍රීඩකයා සාර්ථකව කඹයේ කෙළවරට පැමිණෙන්නේය. දේශපාලනයද එවැනිමය. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය යනු කකුලෙන් ඇදීම්, වෙට්ටු දැමිම් රාශියක් මැද නොසැලී පාලනය ගෙන යෑමය. මෙවැනි වටාපිටාවක ලෝක දේශපාලනයේ ප්‍රබලයන් අතරට මැදිවීම යනු තත්ත්වය තවත් බැරෑරුම් වීමකි.
තුර්කි ජනාධිපති එර්දගොන් ද එවැනි සාර්ථක දේශපාලන සර්කස් ක්‍රීඩකයෙකි. ඔහු පසුගිය වසර කිහිපය පුරාවටම නොසැලී කඹය මත දස්කම් දක්වන්නේ එක් පසෙකින් රුසියාවත්, අනෙක් පසින් ඇමරිකාවත් කඹය තදින් සොලවද්දීය. දැන් ඒ මදිවාට මේ දිනවල තුර්කි උසස් අධ්‍යාපනය ලබන සිසුන්ද එර්දගොන්ගේ කඹය සෙලවීමට දායක වෙමින් සිටිති. මේ සියල්ල මැද එර්දගොන් තවමත් නොදැවී දේශපාලන පිටියේ ලකුණු රැස් කරමින් සිටින්නේය.
රුසියානු ජනාධිපති එර්දගොන් ගැන පැවසීමට කරුණු බොහෝය. ඔහු දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වූවෙකි.
තුර්කියේ අගනුවර වන ඉස්තාන්බුල්හි නගරාධිපති ලෙස සේවය කිරීමෙන් පසු, තුර්කි අගමැති ලෙස සේවය කිරීමෙන් පසු ජනාධිපති ධූරයට පැමිණි එර්දගොන් මනා දේශපාලන දැනුමකින් සහ ඉවකින් යුතු පුද්ගලයකු ලෙස හඳුනා ගත හැකිය. දේශපාලනයේ තමන්ටම මාවතක් තනා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළුණු එර්දගොන් 2001 වසරේදී සාධාරණය සහ සංවර්ධන පක්ෂය යනුවෙන් තුර්කියේ නව දේශපාලන පක්ෂයක්ද පිහිටුවා ගන්නේය. 2014දී ඔහු ජනාධිපති දක්වා පැමිණෙන්නේ මේ පක්ෂයේ කර මතිනි.
එර්දගොන් ගේ පාලනය විශේෂ වන්නේ ඔහුගෙ අසල්වැසි රාජ්‍යයන්ගේ පැවති දේශපාලන වාතාවරණයට සාපේකෂවය.
තුර්කියට යාබදව පිහිටි ඉරාකය ඇමරිකන් හමුදා විසින් බිමට සමතලා කරන අතර, ඉරාකයට යාබද ඉරානයද කලාපීය චණ්ඩියා ලෙස ඇමරිකාවට අභියෝග කරමින් සිටින්නේය. මේ අතර අරාබි වසන්තය යටතේ ලිබියාව ඇතුළු රටවල් රැසක පාලනයන් පෙරළා දැමෙන්නේය. යාබද සිරියාවේ ගොඩනැගෙන අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් සිරියාව යුද බිමක් කරන අතර ඇමරිකාව මෙන්ම රුසියානු හමුදාද ඉස්ලාමීය අන්තවාදීන්ට බැට දෙන්නේ සිරියාව සුසාන භූමියක් බවට පත් කරමිනි.
ස්වකීය අසල්වැසියන් මෙලෙස කනගාටුදායක අත්දැකීම් ලබමින් සිටියදී තුර්කිය පමණක් සාර්ථක ඉදිරි ගමනක නියැළෙන්නීය. එසේ වීමට එර්දගොන්ගේ නිසඟ දේශපාලන දැක්ම බෙහෙවින් උපකාරී වූ බව පැවසිය යුතුමය.
එර්දගොන් ඇමරිකාවෙන් චෝදනා ලබන්නේ රුසියාවේ පුටින් පාලනයට බොහෝ හිතවත්කම් සහිත බව පවසිමිනි. එහෙත් එර්දගොන් ඇමරිකාවට ද හිතවත්ය. එපමණක්ද නොව එර්දගොන් තම තුර්කි භූමියේ පමණක් නොව අවටද ක්‍රියාත්මක වන ඉස්ලාමීය සංවිධාන සමඟද හිතවත්ය.
ඔහු තම විදේශ ප්‍රතිපත්තිය හඳුන්වාදෙන්නේ ‘නව ඔටෝමාන්’ විදේශ ප්‍රතිපත්තිය යනුවෙනි. ඔටෝමාන් තුර්කීන් යනු මැද පෙරදිග කලාපය අතික්‍රමණය කළ ආක්‍රමණශීලී පිරිසකි. එර්දගොන් ගේ ආක්‍රමණය ඉතා සියුම්ය. ඔහුට විදේශ ආක්‍රමණය කිරීමේ අරමුණක් නැතිවද තම රටේ මුල් බැස ගැනීමේ අරමුණ ඉතා බලවත්ය. එබැවින් ඔහු අසල්වාසී රටවල ගිනි තම ගෙන ගනිමින් - නොගනිමින්, බලවතුන්ගේ සිත් රිදවමින් - නොරිදවමින් ඉතා සියුම් ගමනක නිතර වෙමින් සිටින්නේය.
එර්දගොන් යන මේ ගමන ඉතා අසීරු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු මූලිකව රුසියානු නායක පුටින්ට සහයෝගය දැක්වූ බව සැබෑය. සිරියාවේ මුස්ලිම් අන්තවාදීන් මර්දනයට ඇමරිකාව පස්ස ගැසූ විට ඉදිරියට පැමිණි පුටින් අයිඑස් ත්‍රස්තවාදීන්ට රිදෙන්නට ගැහුවේය.
ඒ සඳහා පුටින්ගෙ හමුදාවලට සහය සේවා ලැබුණේ තුර්කියෙනි. පුටින් ලද අවසරයෙන් මිසයිල නාශක රුසියානු අවි තුර්කියේ ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර ඒවා ඉවත් කරන ලෙස ට්‍රම්ප් පාලනය නිතර එර්දගොන්ට කන්කෙඳිරි ගෑවේය. දැන් බයිඩ්න් පාලනයද එසේ කිරීමට පටන් ගෙන ඇති නමුත් එර්දගොන් ඒ සියල්ලන්ට සැනසිය හැකි පිළිතුරු දෙමින්,එහෙත් මිසයිල නාශක අවි ඉවත් කිරීම කල් දමමින් සිටින්නේය.
දැන් මේ දිනවල එර්දගොන්ට ස්වකීය පාලනයේ ප්‍රථමවරට දැවැන්ත විරෝධතාවන්ට මුහුණ දීමට සිදුවී තිබේ. ඒ විරෝධතා එල්ල වෙමින් පවතින්නේ තුර්කි උසස් අධ්‍යාපන සිසුන්ගෙනි. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ එර්දගොන් ඉතා සූක්ෂ්මව රටේ ප්‍රබල තනතුරුවලට තමන්ගේ හිතවාදීන් පත්කර ගන්නා බවයි. පසුගියදා ඉස්තාන්බුල් සරසවියේ රෙක්ටර්වරයා ලෙස එර්දගොන්ගෙ හිතවාදියකු පත් කිරීමත් සමඟ මේ විරෝධතා ආරම්භ වූ අතර, දින කිහිපයක් පුරා එම විරෝධතා පාලනය කර ගත නොහැකි තරම ප්‍රබලව ඇවිළී ගියේය.
පසුගිය සතියේ පමණක් ඉස්තාන්බුල් නගරයෙන් සිසුන් 250කට අධික පිරිසක් සහ අන්කරා නගරයෙන් 69ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළද විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට පොලීසිය පසුගිය සතිය අවසාන වන විටත් සමත් වී තිබුණේ නැත. සිසුන්ගේ සහයට සරසවි අධ්‍යයන කාර්ය මණ්ඩලද එක්විමෙන් තත්ත්වය තවත් බැරෑරුම් වූ අතර මේ වන විට මාසයක පමණ කාලයක් පුරා විරෝධතා පැවැත්වෙමින් තිබෙන්නේය.
මේ විරෝධතා සම්බන්ධව තම මතය පවසමින් එර්දගොන් කියා සිටියේ විරෝධතාකරුවන් සිසුන් නොව ‘ත්‍රස්තවාදීන්’ බවයි. එමෙන්ම මෙවැනි විරෝධතාවලින් තමා බියපත් කිරීමට නොහැකි බවද එර්දගොන් වැඩිදුරටත් පැවසීමට අමතක කළේ නැත. මෙවැනි ක්‍රියා මගින් තුර්කියේ ‘ජාතික අධ්‍යාත්මික වටිනාකම්වලට හානි වීමට ඉඩ දිය නොහැකි බවද’ ඔහු පවසා සිටියේය.
එර්දගොන් එසේ පවසා සිටියද තුර්කිය පවතින්නේ වතුර රත්වෙමින් පවතින හැළියක් තුළ බවට බොහෝ සාක්ෂි පවතින්නේය.
වසංගතයට පෙර සිටම එරට රැකියා වියුක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති අතර, එයට වැඩියෙන්ම මුහුණ දුන්නේ සරසවි අධ්‍යාපනය අවසන් කළ පිරිසයි. මේ වන විට තුර්කියේ රැකියා වියුක්තිය සියයට 29 දක්වා ඉහළ නැඟ තිබේ. සියයට 37.9ක් උපාධිධාරීන් පිරිසක් රැකියා වියුක්තියෙන් පසුවන බවට නවතම වාර්තා ද ලැබී තිබේ.
තත්වය මෙසේ වන විට එර්දගොන් තම ඉදිරි සැලසුම් කෙසේ සකස් කරනු ඇතිද යන පැනය මතු වේ. එර්දගොන් යනු අන්තර්ජාතික ගැටුම් අතර හිස බේරාගෙන සිටි පාලකයෙකි. එබැවින් තම පාලනයේ පවතින රටතුළ අභ්‍යන්තර ගැටුම් ඔහුට ගැටලුවක් වේදැයි සිතීම උගහටය. කෙසේ වුවද දේශපාලනය යනු කඹය මත දක්වන සර්කස් රංගනයකි. අඩිය ලිස්සා ගිය හොත් කොයි මොහොතේ බිම පතිත වේ දැයි පැවසිය නොහැකිය.