ක්‍රිකට් ජයගෙන, රටත් දිනවන්නට | සිළුමිණ

ක්‍රිකට් ජයගෙන, රටත් දිනවන්නට

1992 ලෝක එක්දින ක්‍රිකට් තරග ශුරතාවය දිනූ නායකයා වන ඉමිරාන් ඛාන්

ඒ 1992 වසරය. ලංකාවේ අපට මෙන්ම දකුණු ආසියාව පුරාම ක්‍රිකට් උන්මාදය දරුණුවට පැතිරගොස් අවසන්ය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රිකට් ලෝලීන්ගෙන් පිරී තිබුණේ එම වසරේ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා තරග වදින එංගලන්තය සහ පකිස්ථානය අතර තරගය දැක බලා ගැනිමටය. ඒ වන විටත් ඔහු 39වැනි වියේ පසුවූයේය. එම තරගය මගහැරුණේ නම් ඔහුට යළිත් ක්‍රිකට් ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු ලැබෙන අවස්ථාවක් එසේ පහසුවෙන් අතහැර ගන්නා වර්ගයේ පුද්ගලයකු නොවේ. අවසන් තරගය දක්වා දැක්වූ දස්කම් හේතුවෙන් පකිස්ථාන ක්‍රීඩකයන් තුළ ඒ වන විට මනා විශ්වාසයක්ද ගොඩ නැගී තිබිණි. ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට ගොස් එක් කළ ලකුණු 72 කොන්ක්‍රිට් පදනමක් වැනි ශක්තියක් කණ්ඩායමට ලබා දුන්නේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තවදුරටත් ඉහළ දමමිනි.

අවසානයේ එකින් එක එංගලන්ත ක්‍රීඩකයන් පකිස්ථාන පන්දු යවන්නන් විසින් ක්‍රීඩාගාරය දක්වා හරවා යැවෙද්දී එංගලන්ත අවසන් කඩුල්ල ඔහු දවා ගන්නේ එවර ලෝක කුසලානය වෙනුවෙන් ඔහුගේ වන අයිතිවාසිකම තහවුරු කරමිනි.

ඔහු එදා තමා නිරත වී සිටි ක්‍රීඩාවේ උපරිමය තම රටට ලබා දුන්නේ එසේය. එයින් සෑහීමකට පත් වූ ඔහු වියපත්ව ක්‍රිකට් අත්හැර තම ජිවිතයේ වෙනත් අරමුණු ඔස්සේ කටයුතු කරමින් සිටියේය. එහෙත් ඔහුට එසේ බලා සිටින්නට බැරි තරමට පකිස්ථානය දුක් විඳිමින් සිටියේය. වරින් වර බලයට පැමිණි පාලකයෝ පකිස්ථානය අගාදයට ඇද දමමින් සිටියහ. ලෝක බලවතුන්ගේ බළල් අතක් ලෙස ඔවුන්ට ඕනෑ හැටියට නැටවෙන්නට පකිස්ථානයට සිදුවී තිබිණි. ඔහු තම නිසල ජීවිතයට නැවතීමේ තිත තැබුවේය. මහා දේශපාලන ජිවිතයක මුල් පිටුව පෙරළු ඔහු මහා වගකීම් කන්දරාවක්ද සමඟ පකිස්ථානයේ බර තම කර මතට ගත්තේය.

ඉම්රාන් ඛාන් නම් වූ එදා මෙල්බර්න් පිටිය දෙවනත් කළ ඒ පැහැපත් හීන්දෑරි තරුණයා අදත් බාහිර පෙනුමේ වැඩි වෙනසකින් තොරව දේශපාලන පිටියේ දස්කම් දක්වමින් සිටින්නේය.

වර්ෂ 1952 දී පකිස්ථානයේ පෙෂාවර්හි පශ්තූන් පවුලක එකම පිරිමි දරුවා වූ ඉම්රාන් උපතින්ම දක්ෂයකු වූයේය. ඔහු නිරතවූයේ යමකද එය දක්ෂ ලෙස කිරීමේ හැකියාවක් ඔහු සතු විය. අධ්‍යාපනය ලබන අතරම ක්‍රිකට් වෙනුවෙන් තමා තුළ පවතින දක්ෂතාව හඳුනාගත් ඉම්රාන්ට වයස 18දී පූර්ණ කාලීන ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ වරම හිමි විය. ක්‍රීඩාවේ උපරිමය දක්වා ගොස් විශ්‍රාම ගත් ඔහුගේ ජිවන ඉලක්ක අතර පකිස්ථාන් ජනතාව වෙනුවෙන් යම් මෙහෙයක් කිරීමද විය. ඔහු තම මව අනුස්මරණය කරමින් රෝහල් ඉදි කිරීමේ මහා කර්තව්‍යයට අත ගැසූ අතර ඔහුට පිළිකා රෝහලක්ද ඇතුළුව රෝහල් තුනක් පකිස්ථාන ජනතාවට තිළිණ කිරීමට හැකියාව ලැබිණි.

ඔහු දේශපාලනයට පිවිසෙන්නේ ඉන් පසුවය. ඔහුට මුල සිටම ඔහුගේම වූ දර්ශනයක් විය. තමන් කෙරෙහි වූ විශ්වාසය හේතුවෙන්ම ඔහු තමාගේම ඉලක්ක මත කටයුතු කළේය.

කාගේ හෝ අඩි පාරේ යාම, කාගේවත් බළල් අතක් වීම ඔහු මුල සිටම ප්‍රතික්ෂේප කළේය. ඔහු තමන්ගේම කියා දේශපාලන පක්ෂයක්ද පිහිටුවා ගන්නේ ඒ අනුවය. ඔහු ඉල්ලා සිටියේ නම් ඕනෑම දේශපාලන පක්ෂයක් ඔහු සාදරයෙන් තම පිළට කැඳවා ගනු ඇත. එහෙත් ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ගේම ගමනක් සංවිධානය කර සිටියේය.

ඔහු 1996 වසරේදී තමන්ගේ නායකත්වයෙන් යුත් පකිස්තාන් තරීක් ඉ - ඉන්ෂාෆ් පක්ෂය පිහිටුවා ගත්තේය. ඒ වන විටත් පකිස්තානය තුළ ප්‍රධාන පක්ෂ දෙකක් වූ අතර, ඒ පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කරමින් සිටියේය. ඉම්රාන් ඛාන් කියන පුද්ගලයා තනි මිනිසකු ලෙස කෙතරම් බලවත්ද යත්, ඉතා කෙටි කලක් ඇතුළත තම දේශපාලන පක්ෂය රටේ ප්‍රධාන පක්ෂ දෙක සමඟ කරට කර තැබීමටත්, තවත් කෙටි කාලයක් ඇතුළත පැවති ප්‍රධාන පක්ෂ දෙකම පසු කරමින් ජනතා ආකර්ෂණය මත ආණ්ඩුවක් පිහිටුවීමටත් හැකියාව ලබා ගත්තේය.

ඒ වන විට පකිස්ථානයේ දේශපාලනඥයන්ගේ අමනෝඥ ක්‍රියා ජනතාවට තිත්ත වී තිබූ අතර, ඔවුන් වංචා, දූෂණ මගින් ගොඩ ගසාගත් මුදල් කන්දරාවන් මිස රටට, ජනතාවට කළ සේවයක් නොමැති බව ජනතාව හොඳින් තේරුම් ගෙන තිබුණහ. ඒ බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් පකිස්ථාන ජනතාවට විය. නවාස් ශරීෆ් මුල්‍ය වංචා හේතුවෙන් සිරගත වන විට, ඇමරිකානු සහයෙන් කළ හමුදා කුමන්ත්‍රණයෙන් බලයට පැමිණි පර්වේස් මුෂාරාෆ් ටද දූෂණ චෝදනා එල්ල වන විට ජනතාව තමන් වෙතට දිගු කෙරෙමින් පැවති ඉම්රාන් ගේ දේශපාලන හස්තයේ නිරායාසයෙන්ම එල්ලීමට කටයුතු කළහ.

ඉම්රාන් පකිස්ථානයේ 22වැනි අගමැතිවරයා වන්නේ එසේය. එහෙත් 2018 දී ඉම්රාන් අගමැති පුටුවට පැමිණෙන විට පකිස්ථානයට ඉතිරිව තිබුණේ මහා ණය කන්දක් සහ දේශසීමාව සඳහන් වූ බිම් කඩක් පමණි. එහෙත් මුල සිට පටන් ගැනීමට ඉම්රාන්ට අපහසුවක් වූයේ නැත.

ඔහු රට තුළ දේශපාලන මෙන්ම ආර්ථීක ප්‍රතිසංස්කරණද ආරම්භ කළේය. ඔහු බලයට පැමිණෙන විට රටේ ගෙවුම් ශේෂය පවැතියේ සතියක කාලයක වැය පියවා ගැනීමට පමණක් විය. ඔහු වහාම මිතුරන්ගෙන් උපකාර ඉල්ලා සිටියේය. උපකාර ද හිමි විය. එහෙත් ඒ උපකාරවලට හිලව්වට රටේ කෑලි විකිණීමට ඉම්රාන් කටයුතු කළේ නැත.

ඔහු පටි තද කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඒ රටේ ජනතාවගෙන් නොවේය. තම ඇමති මණ්ඩලයෙනි. සුඛෝපභෝගී මෝටර් රථ ඇමති මණ්ඩලයට ලබා දීම ප්‍රතික්ෂේප කර සිටියේය. තම නිවසේද ඇතුළුව ඇමති මණ්ඩලයේ සෑම කෙනෙකුගේම නිවෙස්වල කිරි හරකෙක් ඇති කිරීමට ඔහු අනුබල දුන්නේ ස්වයං පෝෂණය නිවසෙන් ඇරඹීමට අවවාද නොව ආදර්ශ ලබා දෙමිනි.

ණය උගුලක හිර වූ රටට නායකත්වය දීම අභියෝගයක් කොට ගනිමින් ප්‍රථමයෙන්ම ඉම්රාන් අසීරු පියවර රාශියකින් තරමක් ස්ථිර පදනමක් කරා රට රැගෙන ඒමට සමත් වූයේය. එමගින් රටේ මූල්‍ය තත්ත්වය තරමක් ස්ථායී තත්ත්වයක පවත්වා ගැනීමටද ඔහුට හැකියාව ලැබිණි.

ඔහුම මූලිකත්වය ගනිමින් වංචා, දූෂණවලට වැට බැඳීමේ මහා වැඩපිළිවෙළක් ආරම්භ කළේය. පෙර සිටි පාලකයන්ම වංචා දූෂණ සිදු කරනු ලබා සිටි පකිස්ථාන ජනතාවට ඉම්රාන්ගේ අවංක වැඩ පිළිවෙළ ආශිර්වාදයක්ම විය. රටේ අනාගතය ගැන සිතූ ඔහු පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් රට තුළ ස්ථාපිත කිරීමේ මහා වැඩපිළිවෙළක් ආරම්භ කළේය. වන වගාවට මුල් තැන දුන්නේය. රටේ පැවති වනෝද්‍යාන ආරක්ෂා කිරීමට නීති සම්පාදනය කළේය. වනාන්තර ආරක්ෂා කිරීමට කටයුතු කළේය. බදු වංචාකරුවන් කෙරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කරමින් බදු එකතු කිරීමේ වැඩපිළිවෙළ ප්‍රතිසංස්කරණය කළේය. පකිස්ථානයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල වර්ධනයට කෙසේ හෝ මුදල් වෙන් කිරිමට කටයුතු කළේය. මේ සියල්ල කිරීමට ණය බරින් මිරිකෙමින් තිබූ පකිස්තාන ආර්ථිකයෙන් මුදල් සොයා ගැනීමට ඉම්රාන් හැකි විය. එයට ප්‍රධාන හේතුව ඔහු මුදල් වංචා නොකිරීම විය. රජ කරවන්නට පරපුරක් නොතිබූ ඉම්රාන් මුළු පකිස්ථාන ජනතාවටම සැබෑ පියෙකු විය.

තරුණ වියේදී ඉම්රාන් බොහෝ විනෝදමත් ජීවිතයක් ගත කළ අයෙකි. ඔහුට බොහෝ පෙම්වතියෝද වූයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණු ජනප්‍රියත්වය නිසාවෙන්මය. කොටින්ම කිවහොත් හිටපු පකිස්ථාන අගමැතිනි බෙනාසීර් භූතෝද ඉම්රාන්ගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ වූ බවට කසුකුසු ඇසෙන්නට ලැබී තිබේ.

ඉම්රාන් ඛාන් ගේ ප්‍රථම දියණිය උපත ලබා ඇත්තේද ඔහු සමඟ නිත්‍යනුකූලව විවාපත් නොවූ කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයකිනි.

පසුව ඔහුට වෙනත් කාන්තාවන්ගෙන් ලැබුණු තවත් දරුවන් සිටින බව ලොස් ඇන්ජලිස් අධිකරණයකදී ප්‍රකාශ වූයේ මෙලෙස ඉම්රාන්ගේ දරුවකුට මවක වූ කාන්තාවක් පැවරූ නඩු විභාගයක් අතරතුරදීය.

කෙසේ වුවද ඉම්රාන් නිත්‍යනුකූල විවාහ තුනක් සිදු කර ගත්තේය.

ඉම්රාන් ඛාන් ‌ස්වකීය ප්‍රථම කසාදය සිදුකර ගත්තේද බොහෝ කල් බලා ඉවසිල්ලේ සිටීමෙන් පසුවය. ඇය ජෙමීමා ගොල්ඩ්ස්මිත් නම් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇයගේ පියාගෙන්ද ඇයට විශාල ධනයක් උරුමව තිබූ අතර ඇය ජනමාධ්‍ය ඇතුළු වෘත්තීන් කිහිපයකම නිතර වූවාය. විවාහයෙන් පසු ඇය ඉස්ලාම් ආගම වැලඳගත් අතර, ඉම්රාන්ට පුතුන් දෙදෙනෙක්ද ලබා දුන්නාය. පසුව පකිස්ථාන ජීවිතයට හුරු වීමේ අපහසුතාව හේතු කොට ගනිමින් ජෙමීමා ඉම්රාන්ගෙන් දික්කසාද වූවාය.

ඉම්රාන් ඉන්සපු විවාහ කර ගත්තේ රේහම් ඛාන් ය. ඇය බ්‍රිතාන්‍ය පකිස්ථාන මිශ්‍ර පවුලක සාමාජිකාවක් වූ අතර, මාධ්‍යවේදිනියක්, සිනමා අධ්‍යක්ෂිකාවක් ද වූවාය. ඇයගෙන් ද දික්කසාද වූ ඉම්රාන් පකිස්ථානයේ අගමැදි වීමට මාස හයකට පෙර බුෂ්රා බිබී සමඟද විවාපත් වූයේය.

මෙලෙස ඉතා අපහසුවෙන් පකිස්ථාන ආර්ථිකය ගොඩ නඟන විට කඩාපාත්වුණු කොවිඩ් වසංගතයෙන් යළි දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට ඉම්රාන්ට සිදුවිය. එහෙත් ඔහු පැවති දැඩි සීමාකම් මැද ජනතා ජිවිත ආරක්ෂා කිරීමට කටයුතු කළේය.

ලෝකයට අසාධිතයන් සංඛ්‍යාව සම්බන්ධව බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොකළ ඉම්රාන් දුගී බව අතර වසංගතයක් සමඟ සටන් කරන්නේ කෙසේද යන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැසසුම් ලැබුවේය.

කෙතරම් මුල්‍ය අපහසුතා තිබුණද ඔහු පසුගිය වසරේ නොවැම්බර් වන විට ඩොලර් මිලියන 900ක මුදලක් වෙනර කරමින් පවසා සිටියේ කොවිඩ් වෙනුවෙන් පැමිණෙන පළමු එන්නත තම ජනතාවට ලබා දී ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ස්වකීය දෙවැනි ධූර කාලය සඳහා ජනවරම ඉල්ලීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇටවූ කාශ්මිර යුද උණුසුමට ඉම්රාන් ඛාන් මෛත්‍රියෙන් පිළිතුරු දුන්නේය. තම ජනතාවට බෝම්බ දැමීමට පැමිණ කඩා වැටුණු ඉන්දීය යානයේ නියමුවා ගෞරවයෙන් සහ ආරක්ෂිතව ඉන්දියාවට යළි බාර දුන් ඉම්රාන් දේශපාලන ඉවසීම මෙන්ම, අනුන් කපන උගුල්වල නොවැටීම සම්බන්ධයෙන්ද ලෝක මට්ටමේ උදාහරණ අතරට එක් වූයේය.

ඉතින් එවන් වූ අපූරු නායකයකු නුදුරේදී අප රටට පැමිණීමට නියමිතය. අපි ඔහු ගෞරවයෙන් පිළිගන්නේ ඔහු ගෞරවය ලැබීමට ඉතා සුදුසු නායකයකුද වන නිසාවෙන්මය.

Comments