
මම දන්නවා මිනිසා ප්‍රකෘති මට්ටමට එන්නේ ක්‍රීඩාවෙන් කියලා. නැත්නං බිහිවන්නේ කෘත්‍රිම චරිත.
ඔහු කවියෙකි. පුවත්පත් කලාවේදියෙකි. රසවතෙකි. පාසල් සමයේ වර්ෂාවකට හැරෙන්නට ක්‍රීඩාවකට සහභාගි නො වූවෙකි. එහෙත් පුවත්පත් කලාවේදියකු වශයෙන් සටන් කලාව ප්‍රගුණ කළ අයෙකි. ඇරැව්වල, පන්නිපිටියේ පිහිටි අසපුවක් බඳු නිහඬත්වය අගයන ඔහුගේ නිවසේදී අප ඔහු හමුවූයේ ඔහුගේ ක්‍රීඩාව ගැන කියවන්නටය.
'මම කුඩා කාලයේ සිට කවි ලියන්න පුරුදු වෙලා සිටියා. ඒ සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, ජී.බී. සේනානායක වැනි ලේඛකයන්ගේ නිර්මාණ නිසා ඇතිවූ ආලෝලනය යැයි කියන්න පිළිවන්. ඔවුන් නිසා මගේ ලිවීමේ ආශාව වැඩිදියුණු වුණා. මම මුලින්ම කාව්‍ය කෘතියක් පළ කළේ 1984 වසරේදී යි.
ඇත්තටම කියනවා නම් මම මගේ ජීවිතයෙන් වසර හතළිහකට අධික කාලයක් කවිය සමඟ රැඳී සිටිය කෙනෙක්.
මාපලගම මහා විද්‍යාලයේ මම ඉගෙන ගනිද්දීත් මම ක්‍රීඩා කළේ නෑ. පසුව පේරාදෙණි මහා විදුහල හා කිංග්ස්වුඩ් විද්‍යාලයන්හි අධ්‍යාපනය හැදෑරුවා. ඒත් ක්‍රීඩාවට සම්බන්ධ වුණේ නෑ. හැබැයි මම මගේ මිතුරන් ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ ක්‍රීඩාව රස වින්දා. නමුත් ඒ මානසික රස වින්දනයක්. එ්ත් කායිකව ක්‍රීඩාවේ නිරතවෙන්න අවශ්‍යයි කියලා මට කිසිම අපේක්ෂාවක් පෙළඹවීමක් ඒ කාලයේ ඇතිවුණේ නෑ. නමුත් ක්‍රීඩාවේ යෙදී සිටින මගේ මිතුරන්ට ක්‍රීඩා කරන්න මම හැකි පමණ උද්යෝගය ලබා දුන්නා. මම දන්නවා මිනිසා ප්‍රකෘති මට්ටමට එන්නේ ක්‍රීඩාවෙන් කියලා. නැත්නං බිහිවන්නේ කෘත්‍රිම චරිත. මොකද සංස්කෘතිය විසින් සකස් කළ චරිත වශයෙන් කටයුතු කරන මිනිසා ක්‍රීඩාව තුළදී ඔවුන්ගේ ස්වභාවික හැඟීම්, භාවයන් එළියට දමනවා. ඒකෙන් ඇත්ත මානව චරිතය ඉවතට පැමිණෙනවා. ආවේශයන් වශයෙන් පවත්වාගෙන ගිය කෘත්‍රිම චරිතය සැඟවෙලා තමයි මේ කියන ඇත්ත චරිතය මතුවෙන්නේ. මානව ශිෂ්ටාචාරය තුළ එය කරන්න පුලුවන් හොඳම වේදිකාව තමයි ක්‍රීඩාව. ක්‍රීඩාව තුළින් ළමයකු බවට පත්වන්නට ඕනෑම වැඩිහිටියකුට අවස්ථාවක් හිමිවෙනවා.' යැයි කියන්නේ නන්දන වීරසිංහයන්ය. මෙරට සම්භාවනාවට පාත්‍ර වූ කවියකු හා පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔහු හඳුන්වා දිය හැකිය.
'ඇත්තටම කිය-නවා නම් එකම එක අවස්ථාවක මම පාසලේ සහය දිවීමේ ඉසව්වක් වෙනුවෙන් සහභාගි වී පරාජය ලබා තිබෙනවා. ඒ තමයි මගේ එකම පාසල් ක්‍රීඩා සහභාගිත්වය. නැත්නම් සෙල්ලමටවත් මම නම් ක්‍රීඩා කළේ නෑ. ඒත් පසුකාලීනව මම ක්‍රීඩාව සමඟ සම්බන්ධ වෙනවා. ඒ පුවත්පත් කලාවේදියකු, කවියකු වශයෙන් සමාජය තුළ යම් පිළිගැනීමක් මා විසින් හිමිකර ගත්තාට පසුවයි. මම දන්නේ නෑ ඇයි මම ඒ විධිහට වියපත් වුණාට පසුව ක්‍රීඩාව එක්ක එකතුවෙන්නේ කියලා.' ඔහු කීවේ දිදුලන තාරුකා දෙස බලා සිටින්නාක් මෙන් කවුළුවෙන් එපිට අහස දෙස බලමිනි. රාත්‍රී තාරුකා සාගරය තුළ ඔහු යමක් සොයන්නාක් මෙනි.
'මගේ කියැවීම අතරට ලොව විශිෂ්ට සටන් කලාකරුවන්ගේ චරිතාපදාන එක්වන්න පටන් ගත්තේ අසූව දශකය ආරම්භයේ සිටයි. එම සිදුවීම් මා තුළ විශාල වෙනසක් ඇතිකිරීමට ඉවහල් වුණා. මොරිහෙයි උයෙෂිබා, බෲස් ලී වගේ සටන් කලාකරුවන්ගේ චරිත මගේ මනස වෙනස් තලයකට රැගෙන යන්නට පටන් ගත්තා. මොකද ඔවුන්ගේ සටන් කලාව වගේම ඒ සටන් කලාවේ තාක්ෂණය සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබුණු අප්‍රමාණ භාවය, නිමක් නැති පුහුණුවීම් තුළින් ක්‍රීඩා ලක්ෂණ මා දැක්කා.
මොකද සටන් කලාව කියන්නේ සැමවිටම පහරදෙන ක්‍රීඩාවක් පමණක් නොවෙයි. එය තුළ ආරක්ෂාවීමක් තිබුණා. පහර මඟහැර යාමක් ඉගැන්වෙනවා. තමන් වෙත ප්‍රතිවාදියාගෙන් එල්ලවන ප්‍රහාරයක ශක්තිය ඔහුට එරෙහිවම භාවිත කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් ලබාදෙනවා. මේවා මගේ සිත් ඇදගත්තා.
මේ වගේ පුහුණුවක් ලැබූ ශ්‍රී ලාංකිකයෝ ගැන සොයද්දී මට නන්ද සිරිවර්ධන වැනි සටන්කලා ගුරුවරුන් ගැන දැනගන්න ලැබෙනවා. ඒ සොයාගැනීම මා නතර වන්නේ ඔහු යටතේ සටන් කලාව හදාරණ සිසුවකු වශයෙනුයි. වසර තුන හතරක් ඔහු සමඟ මා සටන් කලාව ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. ඒ කියෝකුෂින් කරාටේ ක්‍රීඩාව පුහුණුවන ආධුනිකයකු වශයෙනුයි.
ඊට පස්සේ තවත් දක්ෂ පුහුණුකරුවන් මුණගැසෙනවා. මිතුරන් වන සටන්කරුවන් අතර සෙන්සේ අජිත් ගුණතිලක මට මුණගැහුණා. සටන් කලා පංති අවසානයේ නාවල පාරේ සිට කොහුවල දක්වා පයින් එන අතරතුර අප දෙදෙනාගේ මිත්‍රත්වය වැඩිදියුණු වුණා. පසුව ඔහු ජපානයේ දී අයිකිඩෝ කලාව පුහුණුව ලබා ලංකාවට පැමිණ එය උගන්වනවා. එය ඔහුගෙන් මුලින්ම ලබාගත් ශිෂ්‍යයා මේ නන්දන වීරසිංහ වන්නට පිළිවන් කියායි මා සිතන්නේ.' යැයි නන්දන වීරසිංහ ශූරින් පැවසූයේ නිරහංකාර ආඩම්බරයකි.
මුණිවර ලකුණු පළ කරන 'නන්දන වීරසිංහයන්ගේ' ජීවන හැසිරීම් තවදුරටත් ගැඹුරු හයිකු කවියක් බඳු ස්වරූපයක් ගන්නට ඇත්තේ සටන් කලාව නිසා වන්නට පිළිවන.
'ඇත්තටම අයිකිඩෝ (Aikido) සටන් කලාව සඳහා මා තුළ නැඹුරුවක් ඇති කළේ ඒ ක්‍රිඩාවේ ස්වභාවය ගැන අවබෝධ කරගනිද්දී යි. එය පහර දෙන ප්‍රතිවාදියාගේ පහර වළක්වලා ප්‍රතිප්‍රහාර ලබාදෙන්නේ නැතිවීම අපට විශේෂත්වය වුණා. මේ සටන් කලාව උයෙෂිබා මුරෙයි හඳුන්වලා දුන්නේ පහරක් එල්ලවනවිට එම පහරින් ඉවත් වී
ප්‍රතිප්‍රහාර නොදී ප්‍රහාරකයාගේ ශක්තියම ඔහුට එරෙහිව යොදාගන්නා ආකාරයයි. මේ සියලු කරුණු සමඟ මා සටන් ක්‍රීඩාවට ආදරය කරන්න වුණා. එය තමයි ක්‍රීඩාව විසින් මගේ ජීවිතයට කළ බලපෑම. ඒ සටන් ක්‍රීඩා අත්දැකීම් තුළින් මා සුවිශේෂී නිරානන්දයක් අත්විඳිනවා. එය ගැඹුරු මානසික නිදහසක්. කවියක් ලියූ පසු දැනෙන ආකාරයේ ම නිදහසක්.’ ඔහුගෙන් සමුගෙන ඇරැව්වල පිහිටි නන්දන වීරසිංහයන්ගේ සොඳුරු අසපුවෙන් අප නික්මයන මොහොතේදී ඔහු පැවසූවේය.
ඡායාරූප හා සටහන - සුදම් ගුණසිංහ










