ජගත් ක්‍රිකට් පිටියෙන් | Page 2 | සිළුමිණ

ජගත් ක්‍රිකට් පිටියෙන්

ජගත් ක්‍රිකට් පිටියෙන් කයිල් මේයර්ස්ගේ කන්ටේනර් ඉනිම

ජගත් ටෙස්ට් කරළිය මේ දිනවල ඇත්තේ උණුසුම්වය. ඒ තරගාවලි රැසක් ක්‍රියාත්මක වෙමින් ඇති හෙයිනි.

බංගලාදේශයේ සංචාරයක යෙදෙන කොදෙව් පිල එහිදී තරග වැදුණු එක් දින තරග තුනම සත්කාරකයන් හමුවේ පරාජය වූ නමුත් දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලකුණු 395 ක ජයග්‍රාහි ඉලක්කයක් සපුරා ගනිමින් ජය අත් කරගත්හ.

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් 28 වියැති කයිල් මේයර්ස් නොදැවී ලකුණු 210ක් රැස්කරමින් ක්ලියම් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, රොහාන් කන්හායි, ඩෙස්මන්ඩ් හෙන්ස් නැතහොත් බ්‍රයන් ලාරා ගණයේ අලුත් වීරයෙක් කොදෙව් පිලට බිහිව ඇති බව ප්‍රකාශ කළේය. මේයර්ස්ගේ ඉනිම ටෙස්ට් තරගයක ජයග්‍රහණය පිණිස හඹා ගොස් වාර්තා කළ ලකුණු සංඛ්‍යා අතර පස්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම ආසියානු තණතීරු මත හඹා ගොස් ජය අත් කරගත් වැඩිම ලකුණු ගණන වශයෙන් වාර්තා පොතට එක්විය.

කයිල්මේයර්ස් මෙන්ම තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ එන්ක්රුමා බොනර් අතර දෙවන ඉනිමේ 04 කඩුල්ල වෙනුවෙන් එකතුවූ ලකුණු 216 ක ජයග්‍රාහී සබඳතාවයක් පැවැත්වීය. බංග්ලාදේශය වෙනුවෙන් මුල් ඉනිමේ ලකුණු 103 ක් මෙන්ම සමස්ත තරගයේදී කඩුලු අටක් දවාලු මෙහෙදි හසන් මෙම තරගයේ කැපී පෙනුණේය. කොදෙව්වන් ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් ජගත් ටෙස්ට් ශුරතාවයේ හත්වන ස්ථානයට උසස් වූ අතර මෙතෙක් හත්වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අටවන ස්ථානයට පහළ වැටිණි.

 

පාකිස්තාන-දකුණු අප්‍රිකා ටෙස්ට් තරගමාලාවෙන් පාකිස්තානයට ජය

තරග දෙකකින් සමන්විතවූ පාකිස්තාන -දකුණු අප්‍රිකා තරගමාලාවේ කරච්චිහි පැවති ප්‍රථම තරගය මෙන්ම රාවල්පින්ඩිහි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ජයගත් පාකිස්තානය තරගමාලාව 2-0 ලෙස ජයගැනීමට සමත්විය. එය දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානය ලැබූ දෙවන තරග මාලා ජයග්‍රහණයයි.

මුල් තරගයේදි මුල් ඉනිමේ ශතකයක් ලද ෆාවඩ් අලාම්, 3/54 මෙන්ම 4/70 ලෙස කඩුලු දවාලු යසීර් ශා,දෙවන ඉනිමේ තම ප්‍රථම ටෙස්ට් තරගයේදීම කඩුලු පහක් දවාලු 34 වියැති නවුමන් අලි යන දඟ පන්දු යවන්නෝ පාකිස්තාන් ජයග්‍රහණය සහතික කළහ. දෙවැනි තරගයේදී මුල් ඉනිමේ 5/54 හා දෙවැනි ඉනිමේ 5/60 ලෙස කඩුලු දවාලු හසන් අලි මෙන්ම දෙවන ඉනිමේ 4/51 ලෙස කඩුලු දවාලු සයින් අෆ්රිඩි පන්දුවෙන් ද මොහොමඩ් රිස්වාන් දෙවන ඉනිමේ ලකුණු 115 ක් නොදැවී ලබා ගනිමින් පාකිස්තාන් ජයග්‍රහණය සහතික කළහ.

දෙවන තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මුල් ඉනිමේ අන්රිච් නොර්ජේ 5/56 හා දෙවන ඉනිමේජෝජ් ලිනඩේ 5/64 ලෙස පන්දුවෙන්ද ඒඩ්න් මාක්රාම් දෙවැනි ඉනිමේ ලැබූ ශතකයද මෙහිදී අමතක කළ නොහැක.මෙම තරගමාලාවට පෙර ලෝක ටෙස්ට් තරගමාලාවෙහි හයවන ස්ථානයෙහි සිටි පාකිස්තානය පස්වන ස්ථානයට පැමිණියේ පස්වන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව හයවන ස්ථානයට පත් කරමිනි.

අනිල් වීරසිංහ

Comments