ගැමි දිවි සැරියේ නිබඳ බැඳි අමිල රස ඉතිරි කෙළි | සිළුමිණ

ගැමි දිවි සැරියේ නිබඳ බැඳි අමිල රස ඉතිරි කෙළි

 

අප දුටු වනම හටගත් කුළෑටි කමක් හෝ බියක් නිසා හෝ ඇය වහ වහා ඒ කඳු ගැටය නගිමින් යන්නට වුණේ හරියට තැනිතලා බිමක ඇවිද යන ගානට යි.

 

‘මේ ටිකක් විතර වෙනස් විධියේ ලියැවිල්ලක්. ඒ ගැන අපට කියන ‘මොහාන් ශ්‍රියන්ත ආරියවංශ’ පාසල් සමයේ ක්‍රීඩකයෙක්. වර්තමානයේ සාහිත්‍ය විචාරකයෙක්. ‘ක්‍රීඩා’ ඇරැයුමෙන් ඔහු තමන්ගේ ජීවිතයේ කලක් ජනමාධ්‍යවේදියකු වශයෙන් යුහුසුළුව සිටියදී ලබාගත් අත්දැකීම් අනුසාරයෙන් ‘ගැමි දිවි සැරියේ ක්‍රීඩාව’ ගැන සටහනක් තබනවා. මේ එම සටහනේ ඇරඹුම.’ 

පුවත්පත් කලාවේදීන් තිදෙනෙක් වශයෙන් අපි බොහෝ දුර බැහැරක ඇති ගමකට ගමනක් ගියා. එවැනි ගමනක් කවදාවත් ක්‍රීඩාවක් වෙන්නෙ නෑ. ඒත් ඒ ගමන ගැන අද කල්පනා කරනකොට එතැන තියෙනවා ක්‍රීඩාව පිළිබඳ කතිකාවතක්.

අපි එදා ගියේ මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයට අයත් උඩගල දෙබොක්කාව ගමට. ඇත්තම කියනවා නම් ඒ ගම දිහාවට යනකංම, ඒ ගම මොන වගේ ද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ. ඒක හරිම දුෂ්කර ගමනක්. සැතපුම් 4 ක් හෝ 5 ක් වනයක් මැදින් කඳු මගක් දිගේ ඒ ගමන වැටිලා තිබුණේ. අතරමග අම්බලමක් දෙකක් තිබුණා. යනවා මිසක් වෙන විකල්පයක් නෑ. අපි දිගටම ගමන ගියා.

මේ ගමන අතරමඟ දී වු හමුවීම් දෙකක් හේතු කොටගෙනයි කලින් කීව ක්‍රීඩා පිළිබඳ කතිකාවත ගොඩ නැඟෙන්නෙ. මුලින් ම අපට හමු වුණේ වනය මැදින් ගලා යන දොළක් සමීපයේ විඩා හරිමින් සිටි වයෝවෘද්ධ විවාහක යුවළක්. පිරිමියාගේ වයස අවුරුදු අනූ ගණනක්. ගැහැනිය තමාගේ වයස හෙළි කළේ අවුරුදු අසූ ගණනක්ය කියල යි. මේ දෙදෙනා ගම පහළ ඇති කුඩා කඩ මණ්ඩියට යමින් සිටියේ ගෙදරට වුවමනා කරන කළමනා වගයක් අරගෙන එන්නයි. නගරයක නම් මේ වගේ යුවළකට එක දිගට පඩිපෙළක් නඟින්න පුළුවන් වෙයි කියලා මම නං හිතන්නෙ නෑ. එකම දේ අර පිරිමියා අතේ දිග හැරමිටියක් තිබුණා. එච්චර යි.

ඊට පස්සේ වනය මැදින් බොහෝ දුරක් ගෙවාගෙන ඉදිරියට ගියාට පසුව කඳු ගැටයක් තරණය කරද්දී අපි තවත් දර්ශනයක් දැක්කා. ඒ ලොකු දර මිටියක් හිස තබාගෙන අවුරුදු දහයක විතර ළමයෙකුත් සමග වනය ඇතුළේ සිට ආ තරුණ ගැහැනියක්. අප දුටු වනම හටගත් කුළෑටි කමක් හෝ බියක් නිසා හෝ ඇය වහ වහා ඒ කඳු ගැටය නගිමින් යන්නට වුණේ හරියට තැනිතලා බිමක ඇවිද යන ගානට යි. අපත් සමග සිටි ප්‍රකට ඡායාරූප ශිල්පියා (ඔහුගේ නම හෙළි කිරීමට නොහැකි වීම ගැන කනගාටු යි.) මද වේලාවක් නැවතී, අර තරම් බරක් දරාගෙන කඳු ගැටය නගින ඇගේ ඒ නාරි ගමන ගැන මෙහෙම කිව්වා.

“ඇගේ ගමන නයි පෙනේ සැලෙනවා වගේ ගමනක්.”

මෙන්න මෙතන ඉඳලා තමයි ක්‍රීඩාව පිළිබඳ කතිකාවත පටන් ගන්නෙ. ඒ මිනිස් චරිත අපිව විස්මයට පත් කරන්න ආව නාට්‍යයක චරිත නෙවෙයි. ඒ මිනිස්සුත් සැබෑ ලෙසින් ම ඒ ගමේ ජීවත් වෙලා වයසට ගොස් කාලයේ නියමයට අනුව මරණයට පත් වෙන අව්‍යාජ චරිත.

ගැමි ක්‍රීඩාවේ වෘත්තීය ක්‍රීඩකයන් බිහිනොවීම ගැන ලබන සතියේ

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Comments