
වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට ඇතුළුවීම අභිලාෂයයි
සෙත් කරුණාරත්න නවසීලන්ත ජාතිකයෙකි. ශ්‍රී ලාංකික මවක හා පියකු තැනූ කැදැල්ලේ දෙවැනි පුත්‍රයා ඔහු ය. පසුගිය හයවැනිදා ඔහු නවසීලන්තය තුළ වාර්තාවක් පිහිටුවී ය. ඒ එරට ජාතික පාපන්දු ලීග් ශූරතා තරගාවලිය නියෝජනය කළ ළාබාල ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. මේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් තැබෙනඔහු ගැන තැබෙන සටහනකි.
සුළඟ හමුවේ ගිහාන් කරුණාරත්න නතර වූයේ නැත. හිමිදිරි උදාසන වෙලිංටන් නුවර ගත සනහන,සිත නළවන නිදි කැඳවන සුළං ප්‍රවාහයන් අභිමුව ඔහු තම පුතුන් දෙදෙනා පෙරටු කරගනිමින් තම කුඩා ගෙ උයනේ එසේත් නැතහොත් නිවස ආසන්නයේ පිහිටි උද්‍යානයට ගියේය. එහිදී තමන් දන්නා සියලු ක්‍රීඩා අත්දැකීම් කුඩා පුතුන් දෙදෙනාට කියා දුන්නේය.
එය නවසීලන්තයේ පදිංචි-යට ගොස් නොබෝ කලකින් තම පවුලට එක් වූ නොආ කරුණාරත්නටත්, ඊට වසර දෙකකට පසු ඔහු ගේ තනි නොතනියට ගෙදරට කැන්දාගෙන ආ සෙත් කරුණාරත්න සොහොයුරාටත් පියකු ලෙස ගිහාන් ලබාදුන් මූලික ඥානය සේ සැලකිය හැකිය.
‘ක්‍රීඩා කරන්න ඕනෑ කියන හැඟීම නවසීලන්තයේ ජීවත්වන මිනිස්සු තුළ තිබෙනවා. මම උදේට උදේට මගේ පුංචි පුතුන් දෙදෙනා එක්ක මිදුලේ ක්‍රීඩා පුහුණුවීම් කරලා සමහර වෙලාවට අසළ පිහිටි උද්‍යානයට යන්න පුරුදු වුණා. දරුවෝ දෙන්නත් ක්‍රීඩා කරන්න කැමැත්තක් දැක්වූවා. ඉතින් මම ඔවුන්ට ඒ වෙනුවෙන් මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා.’ ගිහාන් කරුණාරත්න පවසන්නේය.
වසරේ වැඩිම කාලයක් වේගවත් සුළං ප්‍රවාහයන්ට මුහුණ දෙන ප්‍රදේශ අතරින් ලොව දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ නවසීලන්තයේ වෙලිංටන් නුවරටය. සාමාන්‍යයෙන් දින තුන්සිය හැටපහෙන් තුනෙන් දෙකකට ආසන්න කාලයක් එම නුවර හරහා වේගවත් සුළං දහරාවන් හමා යයි. ගිහාන් හෝ ඔහුගේ පුතුන් දෙදෙනා එම සීතල සුළං රැළි දහරාවන්ගෙන් පසුපසට ගමන් ගත්තේ නැත.
‘ලොකු පුතු නොආ ඉපැදුණේ 2003 වසරේ දී. ඔහු තමයි මුලින්ම පාපන්දු ක්‍රීඩා කළේ. එහෙම ඔහු පාපන්දු ක්‍රීඩා කරද්දී පොඩි පුතා 'සෙත්' ඒ ක්‍රීඩාවට වඩාත් ආකර්ශනය වුණා.’ තම පුතුන් දෙදෙනා පාපන්දු ක්‍රීඩාව සමඟ සම්බන්ධ වූ ආකාරය ගැන ඔහු පැහැදිලි කළේ සත්ති කුම්භ ජාතක කතාව සිහිපත් කරමිනි. මෙම පිය පුතු සුසංයෝගය යහපත් දැකීම් යහපතකටම පොළඹවාලන බව තහවුරු කරන්නට නවසීලන්තයෙන් ලබාගත හැකි නූතන ආදර්ශයකි.
'නොආ හා සෙත් ' පාසල් යන්න පටන් ගත්තාට පස්සේ පුංචි කාලේ ඉඳලම විවිධ ක්‍රීඩාවන් කළා. විශේෂයෙන් ක්‍රිකට් ගැහුවා. නමුත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න වැඩි කැමැත්තක් දැක්වූයේ නෑ. හැබැයි ඔවුන් රගර් වගේම පාපන්දු ක්‍රීඩාත් කළා. නමුත් නවසීලන්තයේ රගර් ක්‍රීඩා කරන්න හැමෝටම බෑ. ඒක හරියට ජපානයට ගිහින් සුමෝ ක්‍රීඩා කරනවා වගේ වැඩක්. ඒත් ඔවුන් වැඩි කැමැත්තකින් පාපන්දු ක්‍රීඩාවේ යෙදුණා.’ ඔහු කීවේය.
වෙලිංටන් හි ෆීනික්ස් පාපන්දු සමාජය යනු එරට වෘත්තීය පාපන්දු කණ්ඩායම සේ සැලකෙයි. පසුකලෙක නොආ කරුණාරත්නට එම පාපන්දු සමාජයට සම්බන්ධවීමට අවස්ථාව උදාවුණේය.
'නොආ තමයි මුලින්ම ෆීනික්ස් පාපන්දු සමාජයට ක්‍රීඩා කළේ. ඔහු තවමත් ක්‍රීඩා කරනවා. පොඩි පුතා සෙත් මේ වසරේ වෙලිංටන් ෆීනික්ස් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ඒ නිසා අඩුම වයසකින් විවෘත ජාතික ලීග් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන්නට සමත්වුණු පළමු ක්‍රීඩකයා වශයෙන් වාර්තාවක් තියන්නත් ඔහුට හැකිවුණා. ඇත්තටම අපිට ඒ ගැන ආඩම්බරයි.' නොආ හා සෙත්ගේ පියා පවසයි.
එහෙත් නොආ හා සෙත්ගේ පාපන්දු ආගමනය අහම්බෙන් සිදු වූවක් යැයි පැවසීමට ද නොහැකිය. අප එසේ කියන්නේ ඔවුහු එම ක්‍රිඩාවේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී වැඩිදුර පුහුණුව ලබාදී තිබීම හේතුවෙනි. 'ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු වුණේ ඔස්ට්‍රේලියාවේ රෝවිල් ක්‍රීඩා ඇකඩමිය තුළින් ලබාගත්තු වැඩිදුර පුහුණුවත් සමඟයි. මෙල්බර්න්වලට ඇවිත් පුහුණුවීම් කරද්දී නොආ එරට පවත්වන වාර්ෂික දක්ෂතා ඇගයීමේ ව්‍යාපෘතියකට මුහුණ දුන්නා. ඒ යටතේ වික්ටෝරියා ප්‍රාන්තයට ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව හිමිවුණා. මේ දක්ෂතා ඇගයීමේ වැඩසටහනට ඒ ප්‍රාන්තයේ පාපන්දු ක්‍රීඩා කරන දරුවන් හයසියයක් පමණ එක්වෙනවා. ඒ අතරින් ප්‍රාන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබීම විශේෂ දක්ෂතාවයක්. ඊට පසුව අපි නැවත නවසීලන්තයේ වෙලිං-ටන් වෙත එනවා. ඒ පැමිණීමෙන් පසු නොආට වෙලිංටන් ෆීනික්ස් ක්‍රීඩා සමාජයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ සෙත්ටත් වෙලිංටන් ෆීනික්ස් කණ්ඩායමේ දොරටු විවර වෙනවා. ඒ නිසා අවුරුදු පහළොවක් වයස වෙද්දී නවසීලන්ත ජාතික ලීග් පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරන්න ඔහුට අවස්ථාව උදාවුණා.' ගිහාන් පැවසුවේය.
මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් දුර පිහිටි තවත් දූපත් වලින් ගහන පාරාදීසයක පාපන්දු ක්‍රීඩාවේ දිග් විජය කිරීම අරඹා ඇති නොආ හා සෙත් කරුණාරත්න දෙසොහොයුරන්ගේ ප්‍රමුඛ අරමුණු අතර වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නියැලීමේ අපේක්ෂාවක් තිබේ.
'අපි ඔවුන්ට නිදහස ලබාදීලා තිබෙනවා. නොආ දැන් අධ්‍යාපන කටයුතු අවසන් කරලා තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් සූදානම්. සෙත්ට තමන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් තවත් වසර දෙකක් ගත කරන්න වෙනවා.' ගිහාන් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තවමත් සිතා බලා නැති නොආ හා සෙත් සොහොයුරෝ දිනෙක එවැනි අවස්ථාවක් ලබාගැනීමට වුවද අකමැත්තක් නැතැයි පවසති.
'මගේ පුතුන් දෙදෙනාම කීප සැරයක්ම ලංකාවට ආවා. ඔවුන් නවසීලන්තයටත් වැඩිය අපේ මව්බිමට කැමතියි. ඒ ගමන්වලදී ගස් නැගලා, පළතුරු කඩාගෙන කාලා ගතකරපු ඒ දින කීපය ඔවුන් සිහිපත් කරන්නේ සතුටින්. ඇත්තටම අපි ඔවුන්ගේ අනාගතයට බලපෑම් කරන්නේ නෑ. යම් දවසක ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තීරණය කළහොත් අපි ඒ තීරණයට බාධා කරන්නෙ නෑ. ඒ වගේම නවසීලන්තයේ සිටිය දී අනිවාර්යයෙන්ම අපේ මව්බිමට ක්‍රීඩා කරන්න කියලා ඔවුන්ට පීඩනයක් දෙන්නත් අපි සූදානම් නෑ.' ගිහාන් පැවසූයේ තිර හඬකිනි.
'ඔවුන් මව්බිමට ක්‍රීඩා කළත් නොකළත් මගේ මව්බිමේ කෝටි දෙකක ජනතාවගේ ආශිර්වාදය ඔවුන් දෙදෙනාට තිබෙන බව අපි දන්නවා. සිංහ කොඩිය යට ක්‍රීඩා කළේ නැතිවුණාට දැනුත් ලෝකයේ කොහේ හරි පාපන්දු පිටියක නොආ හා සෙත් ක්‍රීඩා කරද්දී ඔවුන්ගේ නම්වල කෙළවරින් 'කරුණාරත්න' කියන නම ඇහෙද්දී කියැවෙන්නේ මගේ රට ජාතිය ගැනයි. ඒකෙන් ඔවුන් කොයි රටකින් නවසීලන්තය තුළට ආවද කියන පණිවුඩය ලෝකයා අතරට කාන්දු කරවනවා. එතකොට මුළු ලෝකයම දන්නවා මගේ දරුවෝ දෙන්නාගේ මව් පියන් පැවත එන්නේ ශ්‍රී ලංකාව කියන අසිරිමත් රාජ්‍යයෙන් කියලා. ඒ අසිරිමත් රාජ්‍යයේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ වගේම සිතේ සවිය, දක්ෂතාවය කොයිතරම් දීප්තිමත් එකක් ද කියලා ලෝකයාට වැටහෙනවා. ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් සතුටුයි.' ගිහාන් කරුණාරත්න 'ක්‍රීඩා' වෙත පැවසීය.
කසුන් ඉරුගල්බණ්ඩාර










