
වන අලි හා මිනිසුන් අතර ගැටුම අද සුලබ සිද්ධියක් හා අවාසනාවන්ත සිද්ධියක් වුණාට අතීතයේ වන අලියා හා මිනිසා අතර එතරම් ගැටුම් වාර්තාවී නැහැ කියලා කියන්න පුලුවන්. ඇතැම්විට ගැටුම් ඇතිවන්න ඇති. නමුත් ඒවා සම්බන්ධයෙන් ඓතිහාසික සාක්ෂි තියෙන්නේ අඩුවෙන්. නමුත් අලි, ඇතුන් රට ඇතුළේ බොහෝම සුලබ වුණා. ඒ නිසානෙ අපිට සුද්දෝ ඇත් දළ දඩයමේ ගිය කතා වගේම, විනෝදයට අලින් දඩයම් කරන්න කැලෑ වැදුණු සමාජ ඉතිහාසයක් ගැන දැනගන්නට ලැබෙන්නේ.
කොහොම නමුත් සිංහල ජන ක්‍රීඩා ඉතිහාසය ගැන කතාකරද්දී ඇත් පොර සම්බන්ධයෙන් තිබුණේ දැඩි උනන්දුවක්. අලියා එකලත් මේ වගේ සටන් ශිල්ප, යුද ශිල්ප, කර්මාන්ත කටයුතුවලදී උපයෝගී කරගත්තා. මේ අතර අපිට ඉතිහාසයේ හමුවන ප්‍රසිද්ධම ඇතෙක් තමයි කණ්ඩුල. කණ්ඩුල කියන්නේ මේ රට එක්සේසත් කළ මහා නිරිඳකු වුණු දුටුගැමුණු රජුගේ හස්තියා. එදා දුටුගැමුණු එළාර සටනේ අප්‍රතිහත සටන් කරුවකු වශයෙන් ඉදිරියට ගියේ කණ්ඩුලයි. රට නිදහස් කරගැනීමේ මෙහෙවරේදී කණ්ඩුල පිටුපස හැරුණේ නෑ.
මේ ආකාරයේ යුද සටන්වලදී මෙන්ම නීතිය ක්‍රියාත්මක කරද්දීත් රාජාණ්ඩු පැවැති යුගයේ අලි ඇතුන් ප්‍රයෝජනයට ගත්තා. ඒ තමයි යමෙක් රාජ නීතිය අභිබවා යන ආකාරයේ සමාජයීය වරදක් සිදුකර වැරදිකරු බවට පත්වන්නේ නම් ඔහුව ඇතුන් ලවා පෑගෙන්නට සැළැස්සුවේ ඉතා කුරිරු මරණයක් හිමිවන ආකාරයටයි. ඇතැම්විට නූතන සමාජයේ මානව හිමිකම් ගැන කතාකරද්දී මේවා අකෘතඥ, කෲර වදහිංසා ගණයට වැටෙනවා යැයි යමෙක් තර්ක කරන්න පිළිවන්. නමුත් වරද සඳහා ලබාදුන් සාධාරණ දඬුවම් ක්‍රමයක් ලෙසයි මෙවැනි දඬුවම් එකල සැලකුණේ.
කෙසේනමුත් ඇත් පොර ක්‍රීඩාව එකල විශාල පිළිගැනීමක් හා අවදානයක් යොමුකරගත් ජන ක්‍රීඩාවක් වුණාලු. වසර විසිනවයක් උඩරට රජුගේ සිරකරුවකු වූ රොබට් නොක්ස් සිය ඓතිහාසික සටහන්හි රජදරුවන් උස් ප්‍රාකාර මත ගොඩනැංවූ විනෝදාගාරවල සිට ඇත් පොර නැරඹූ බව සටහන් කර තිබෙනවා. ඔවුන්ට පෙර මෙරටට පැමිණි පෘතුගීසීන් හා ලන්දේසීන්ද අලි ඇතුන් විෂයේ රට තුළ පැවැති අපූර්ව ඇත් පොර ක්‍රීඩා ගැනත්, විවිධ දඩුවම් ක්‍රම ගැනත් සාක්ෂි ඇතිබව පැවසිය යුතුයි.
ඔබට මේ ගැන තොරතුරු සොයන්න සිදුකළ ගවේෂණයේදී අප සොයාගත් කරුණු අතර ඉංගිරිසීන් රට අල්ලා ගනිද්දිත් රජ්ජුරුවන්ට අයත් ඇත් මඩු, ඇතුන් ආරක්ෂා කිරිමේ නීති, අණ පනත්, ඇත්ගාල් පවත්වාගෙන යාම, ඇතුන් ඇල්ලීම, වැනි කාරණාවන්හි ක්‍රමවේද පැවතිලා තිබෙනවා. ජෝන් ඩොයිලි මේ බව ඔහු විසින් ලියපු 'ඩොයිලි දුටු උඩරට රාජ්‍යය' කියන පොතේ පැහැදිලිව සටහන් කරලාත් තිබීම ඉතා කදිම සාක්ෂියක්.
එදා ඇත් පොරයට ඇතුන් පුහුණු කරද්දී උන්ගේ දළය සම්බන්ධනේ විශේෂ අවධානයක් යොමුකර තිබුණා. එහිදි ඇතුන්ගේ දළ වැඩි වර්ධනය කර තිබෙන්නේ ඇත් දළේ කෙළවර කොටස කපා දැමිමෙනුයි.
කුසුමා අබේසිරිගුණවර්ධන










