අට වසරක් අඛණ්ඩව ජාතික ශූරයා වීම අමාරු වැඩක් රවිඳු පීරිස් | සිළුමිණ

අට වසරක් අඛණ්ඩව ජාතික ශූරයා වීම අමාරු වැඩක් රවිඳු පීරිස්

 

යම් ක්‍රීඩාවක ජාතික ශූරයෙක් වීම අසීරු කර්තව්‍යයකි. එය වඩාත් අසීරු වන්නේ වසර අටක් අඛණ්ඩව ජාතික ශූරයකු ලෙසින් කිරුළු පැළඳීමය. ඔහු එවැනි ක්‍රීඩකයෙකි. මේ අඛණ්ඩව අට වසරක් ජාතික ස්කොෂ් ශූරයා වූ රවිඳු ලක්සිරිගේ හඬය.

‘මගේ එකම අරමුණ ලෝකයේ මුල් ක්‍රීඩකයන් පනස්දෙනා අතරට නම එකතු කරගැනීම. එය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොවෙයි. එය මේ රටේ අනාගතයේ බිහිවන ක්‍රීඩකයින්ට ඉදිරියට යන්න අවශ්‍ය කරන ගාමක බලයක් ලබාදෙන්න.’ මෙසේ කීවේ මෙරට ජාතික ස්කොෂ් ශූරයා වන රවිඳු ලක්සිරිය.

අටවැනි වතාවටත් ජාතික ස්කොෂ් ශූරයා බවට පත්විමෙන් අනතුරුව ‘ක්‍රීඩා’ සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ‘මම ස්කොෂ් ක්‍රීඩාව පටන් ගත්තේ මගේ අයියා නිසා. ඔහු තමයි ස්කොෂ් ක්‍රීඩාවේ මුලින්ම නියැලුණේ. ඔහු ක්‍රීඩාකරන ආකාරය දකිද්දී මටත් ආසාවක් ඇතිවුණා මේ ක්‍රීඩාව එක්ක එකතු වෙන්න. මම ස්කොෂ් පටන් ගනිද්දි මම හිටියේ තුන වසරේ. එතැන් සිට වසර දහනවයක් තිස්සේ මේ ක්‍රීඩාව සමඟ බැඳිලා ඉන්නවා. ඒ අතරින් අට වතාවක් ජාතික ශූරයා වෙන්න මට අවස්ථාව ලැබිලා තිබෙන එක ගැන මට සතුටුයි.’ ඔහු කීවේය.

තවමත් විසි හතර වැනි වියේ පසුවන රවිඳු පෙන්වා දෙන්නේ ස්කොෂ් පුහුණු කටයුතු වෙනුවෙන් මෙන්ම උපකරණ ලබාගැනීම සඳහාද සැලකිය යුතු ධනයක් වැය කළ යුතු බවයි. ‘මේ වෙනුවෙන් ඕනෑ කරන පිති, සපත්තු, ක්‍රීඩා පිටි වෙන්කරගන්න, පුහුණුකරුවන්ට ගෙවන්න’ විශාල මුදලක් වැය කරන්න වෙනවා. නමුත් ක්‍රීඩාවට ආදරය කරන්න වුණාට පස්සේ ඒ දේවල් වලට අපි පුරුදු වෙනවා.’ යැයි ඔහු පවසන්නේය.

සල්ලි කාරයන්ගේ ක්‍රීඩාවක් ද?

මෙම ක්‍රීඩාව දැන් සල්ලි කාරයන්ගේ ක්‍රීඩාවක් පමණක්දැයි ඇසූවිට ඔහු ඊට එකඟත්වය දැක්වූයේ නැත. ‘දැන් පාසල් මට්ටමින් මේ ක්‍රීඩාව ප්‍රචලිත වෙලා තිබෙනවා. එතැනදී ධනය පමණක් මෙහි රැඳෙන්න හේතුවක් වෙලා නෑ.’ යැයි පැවසීය.

‘මගේ මුල්ම පුහුණුකරු තමයි චන්දන සර්. තලගල සර් වගේම යස්මින් මිස් මට ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න උපකාර කළා. ඒ වගේම තමයි මගේ පාසල වන ඩී.එස්. සේනානායක විද්‍යාලය තමයි වසර අටක කාලයක් ජාතික ශූරයෙක්ව නිර්මානය කරන්න පදනම සකස් කළේ. ඒ වෙනුවෙන් මම ඔවුන්ට ණය ගැතියි.’ රවිඳු පවසන්නේ සතුටිනි.

වර්තමානයේ ඔහු බ්‍රැන්ඩෙක්ස් ආයතනයට සම්බන්ධව රැකියාවේ නිරතව සිටිමින් ක්‍රීඩාවට එක්ව සිටී. ‘මට මගේ ආයතනය උපරිම සහයක් දෙනවා. ඔවුන් තරග කරන්න අවශ්‍ය නිවාඩු, පුහුණු සහයෝගය, ඇතුළු මගේ හැමදෙයක් ගැනම බලාගන්නවා. ඔවුන් නොඉන්න මේ ක්‍රීඩාවේ තවදුරටත් රැඳීසිටීම අභියෝගයක් වන්නටත් ඉඩ තිබුණා. මොකද පාසලෙන් ඉවත් වුණාට පසුව ඇතිවෙන රැකියා අර්බූදවලට විසඳුම් සොයාගන්න ගියාම ගැටලුවක් ඇතිවෙන නිසා.’ ඔහු ප්‍රකාශ කළේය.

පාසල් යන සමයේ සිටම ජාතික ශූරයකු බවට පත්වූ රවිඳු එම ගෞරවයට හිමිකම් කීවේ 12 වැනි වසරේදී වීම විශේෂත්වයකි. ‘මම 2016 වසරේ දකුණු ආසියානු තරගයට යන්න සිටියදී මගේ ආදරණීය පියා හෘදායාබාධයකින් මියගියා ඒ නිසා මම ඉන්දියාවට ගියේ දවස් කීපයක් පසුවෙලයි. මට ඒ සිදුවීම කිසිදවසකවත් අමතක කරන්න බෑ. ඒත් අපට එවර තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගන්න අවස්ථාව උදාවුණා. තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව,පාකිස්තානය, බංගලාදේශය,නේපාලය,භූතානය තරග වැදුණා.’ ඔහු පැවසූයේය.

තමන් ක්‍රීඩාව තුළින් ලබාගැනීමට අපේක්ෂා කරන අරමුණු අතර ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් කතාකළ ඔහු, ‘ලෝක ශූරතා තරගාවලිය මේ වසරේදි ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් මම අඛණ්ඩව පුහුණු කටයුතු වල යෙදෙනවා. සතියට එක දවසක් පමණක් විවේක ගන්න ආකාරයට තමයි මගේ පුහුණු සැලසුම් හදලා තිබෙන්නේ. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ නැත්නම් නාරාහේන්පිට ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩාංගනයේ ඇති ස්කොෂ් පිටියේ තමයි මම පුහුණුවීම් කරන්නේ.’ පවසන්නේය.

ජාත්‍යන්තරය ජයගැනීමේදී ඇති ප්‍රබලම අභියෝගයවී ඇත්තේ තරග අත්දැකීම් අඩුකම බවද ඔහු පවසයි. ඊට හේතුවී ඇත්තේ වසරකට තරග දෙක තුනක් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවිමය. ‘අපි ආසියාවේ අංක නවය, දහය මට්ටමේ ඉන්නේ. දකුණු ආසියාවේ නම් අංක තුන. එතැනින් ඉදිරියට පැමිණිය යුතුයි. ආයෙත් අපිට දකුණු ආසියානු හා ආසියානු තරගගාවලි තිබෙන්නේ 2023 වසරේදීයි. කොරෝනා අර්බූදය නිසා අපට පසුගිය කාලේ විදෙස් තරග සංචාරවලට සහභාගිවෙන්න අවස්ථාවක් හිමිවුණේ නෑ. ඒ නිසා මගේ ක්‍රීඩාවේ යම් පසුබෑමක් සිදුවුණා. තරගාවලි 5ක් 6ක් ක්‍රීඩාකරනවා නම් අපට ශ්‍රේණිගත කිරීම්හි ඉහළට එන්න පුළුවන්. ලෝක තරගාවලිය වෙනුවෙන් සහභාගිවෙන්නේ ඇමෙරිකාව, එංගලන්තය, බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, ඊජීප්තුව, මැලේසියාව ඇතුළු රටවලුයි. ආසියානු රටවල් අතරින් හොංකොං,මැලේසියාව, ඉන්දියාව,පාකිස්තානය තමයි මේ ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින්නේ. වර්තමානය වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල මුල් දසදෙනා අතර ඊජීප්තු ක්‍රීඩකයින් 06 දෙනෙක් සිටිනවා.’ රවිඳු පවසන්නේය.

ඕනෑම පුද්ගලයකුට තැනකට පැමිණීම අසීරුතා අඩුවූවක් වුවත් තමන් පැමිණි තැන පවත්වාගෙන යාම ඊටත් වඩා අසීරු බව ඔහුගේ මතයයි. ‘මම වසර අටක් ජාතික ශූරයා. ඒ තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අසීරු කටයුත්තක්. 2013 සිට 2020 දක්වා ඒ තත්ත්වය තබාගන්න මා බොහෝ කැපකිරීම් කරලා තිබෙනවා. මට ඒ ගමන එන්න උදව්කළ අයට මම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. එතන මගේ පවුල, පුහුණුකරුවන් වගේම බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ගෞරවය හිමිවිය යුතුයි.’ ඔහු අවසන් වශයෙන් පැවසීය.

 

උදුලා පීරිස්

ඡායාරූප - සිතුම් පීරිස්

Comments