නොබෙල් කමිටුව අසීරුවෙන් විසඳන සාම තෑගි තරගය | සිළුමිණ

නොබෙල් කමිටුව අසීරුවෙන් විසඳන සාම තෑගි තරගය

ලෝක සෞඛ්‍ය සංවිධානය

නොබෙල් ත්‍යාගය සම්බන්ධව ලෝකයේ නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. තම සොයා ගැනීම් සම්බන්ධයෙන් තමා ලැබූ අති විශාල ධනය ලෝකයට සේවය කරන මිනිසුන් වෙනුවෙන් බෙදා දීමට ඇල්ෆ්‍රඩ් නොබෙල් ගත් උත්සාහයේ ප්‍රතිඵලය වන්නේ නොබෙල් ත්‍යාගයයි. නෝර්වේ හි නොබෙල් කමිටුව මගින් වාර්ෂිකව නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් සහිතවන පුද්ගලයන් තේරීම සිදුකරන අතර නොබෙල් ත්‍යාගය විවිධ අංශ යටතේ ලබා දීමද සිදුවේ. මේ අංශ අතරින් වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය යනාදි අංශවලට වඩා සෑම වසරකම ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්නේ ලෝකයේ සාමය ඇති කිරීම සඳහා කටයුතු කළ පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන නොබෙල් සාම ත්‍යාගයයි . නිශ්චිත පුද්ගලයකු හෝ සංවිධානයක් සුදුසුකම් සම්පූර්ණ කිරීමට අසමත් වීම හේතුවෙන් ඇතැම් වසරවල නොබෙල් සාම ත්‍යාගය පිරි නොනැමෙන අවස්ථාද තිබී ඇත.

අනෙකුත් ක්ෂේත්‍ර මෙන් නොව සාම ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන් හෝ සංවිධාන බොහෝ විට ලෝකයේ ජනප්‍රිය චරිත වන බැවින් නොබෙල් සාම ත්‍යාගය ලබන්නා හෝ යෝජනා වන පුද්ගලයන් සම්බන්ධව ලොව විවිධ කතාබහ ඇති වේ.

එමෙන්ම ඉතිහාසයේ නම රන්දා ගැනීමට බොහෝ දෙනා නොබෙල් සාම ත්‍යාගයට අවම වශයෙන් නාම යෝජනා ලැබීමට හෝ දරන වෑයම ගැන මෙහිලා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

කෙසේ වුවද මෙවර නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වන නාම යෝජනා දෙස බැලූ විට පෙනී යන්නේ දැනටමත් ලෝකයේ නම තැබූ චරිත රැසක් සහ සංවිධාන කිහිපයක්ම නොබෙල් සාම ත්‍යාග ලැයිස්තුවේ සිටින බවයි.

නෝර්වේ හි නොබෙල් කමිටුව ස්ථාපිත කර තිබෙන ඔස්ලෝ නුවරින් ලැබෙන පුවත් අනුව රුසියාවේ පුටින්ට එරෙහිව දේශපාලනයේ නිරත වන, එමෙන්ම මේ වන විට සිරගතව සිටින ඇලෙක්සි නවල්නිද සාම ත්‍යාග ලැයිස්තුවේ සිටින්නේය.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද නාම යෝජිත ලැයිස්තුවේ සිටින්නේ පැතිර යමින් පවතින වසංගතය හමුවේ එහි කාර්යභාරය අති විශාල වීම හේතුවෙන් යැයි පැවසේ.

2019 වසරේ ප්‍රථම වරට එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම සහ අනාගත පරපුර ලෙස ආරක්ෂිත පරිසරයක් සඳහා දරුවන්ට ඇති අයිතිය සම්බන්ධව දැඩි ආවේගශීලී කතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග්ද මෙවර නොබෙල් සාම ත්‍යාග ලැයිස්තුවේ සිටින්නීය. ග්‍රේටා 18 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියකි.

ඇමරිකාවේ කළු ජාතිකයන් වෙනුවෙන් බිහි වූ වර්ණ බේදයෙන් තොර ‘කළු මිනිසුන්ද වැදගත්’ සංවිධානයද මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා වී තිබේ. මේ සංවිධානය 2009 තරම් ඈතකදී බිහිවූ සංවිධානයක් වුවද එය පසුගිය වසරේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමග කළු ජාතිකයන් පීඩාවට පත්වීම හෙළා දකිමින් ජනතාව සංවිධානය කිරීමට විශේෂ මෙහෙවරක් ඉටු කිරීමට සමත් විය.

මෙයට අමතරව තවත් නම් රැසක් විවිධ රටවලින් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නොබෙල් කමිටුව වෙත යෝජනා කර ඇති බව ඔස්ලෝ නුවරින් වාර්තා වේ.

බෙලරූස් හි පාලක ලිට්විනෙන්කෝගේ අන්තනෝමතික පාලනයට එරෙහිව මහජනතාව මෙහෙයවීම තම සුදුසකම් ලෙස දක්වමින් එරට සමාජ ක්‍රියාකාරිනියන් තිදෙනෙක්ද සාම ත්‍යාගය වෙනුවෙන් නාම යෝජනා ලබා දී තිබේ.

ඔවුන් ජනාධිපති ලිට්විනෙන්කෝගේ ජයග්‍රහණයෙන් අවසන් වන එරට අන්තනෝමතික මැතිවරණ හෙළා දකිමින් ජනතාව සංවිධානය කර ඇති අතර ඒ වෙනුවෙන් නොයෙක් පීඩාවන්ටද ගොදුරු වී ඇති බව සඳහන් ය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් කරන ලද මෙහෙය සලකා නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ලබා දී ඇති ජෙට් ක්‍රිස්ටෙන්සන් හංගේරියානු ජාතිකයෙකි. එමෙන්ම ඔහු හෙල්සින්කි කමිටුවේද සාමාජිකයෙක් බව සඳහන්ය.

ඇලෙක්සි නවල්නි                                                      ග්‍රේටා තන්බර්ග්
 
 

ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙවර තමාගේ නම නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් යෝජනා වී ඇත්තේ යුරෝපයේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම වෙනුවෙන් කරන ලද මෙහෙය සලකා බලමින් බවයි.

මීට අමතරව හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කරන සාමකාමී සටනේ පුවත් ලොවට වාර්තා කළ මාධ්‍යවේදීයකු ඇතුළු තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනක්ද අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් කළ මෙහෙය උදෙසා නොබෙල් සාම ත්‍යාගයට නාම යෝජනා වී තිබේ.

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද 2021 නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නාම යෝජනා වී ඇත්තේය.

බොහෝ විට ඇමරිකානු ජනාධිපතිවරුන් තම සේවා කාලය තුළදීම නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා කරවන අතර ඒ සඳහා විශේෂ ප්‍රසිද්ධියක්ද ලබා දීමට අමතක නොකරති.

ඒ අනුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ද අවස්ථාව බලා කටයුතු කර ඇති බව පැවසිය හැකිය.

මීට අමතරව නේටෝ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ වැඩසටහනද මෙවර නොබෙල් සාම ත්‍යාග ලැයිස්තුවේ සිටින බව සඳහන්ය.

මේ නොබෙල් සාම ත්‍යාග නාම යෝජනා ලැයිස්තුව ඉතා සංකීර්ණ වී ඇත්තේ මේ වසරේ පමණක් නොවන බව කිව යුතුය.

නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ලබා දීමේදී ඇත්තේ ඉතා සරල සීමාකම් කිහිපයක් පමණක් බැවින් බොහෝ දෙනෙක් නාම යෝජනා වීම මගින්ම ලැබෙන ජනප්‍රියත්වය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ලබා දීමට කටයුතු කරණු පෙනේ. දේශපාලනඥයන් මේ අතරින් ඉදිරියෙන්ම සිටින අතර ඒ අතරින් ඇතැම් දෙනා ලොවට සාමය ඇති කිරීමට නොව තිබෙන සාමයත් නැති කිරීමට කටයුතු කළ අය බව කිව යුතුය.

එමෙන්ම පසුගිය අවස්ථා කිහිපයකදී නොබෙල් සාම ත්‍යාගය ලබා දුන් අන්දම විග්‍රහ කර බැලූ විට බටහිර රාජ්‍ය බලය ස්ථාවර කිරීමේ යම් යටිපෙළ සහයක් නොබෙල් සාම ත්‍යාගයෙන් ලැබෙන බවද අනුමාන කළ හැකිය.

මේ සියල්ල අතර දෝලනය වන නොබෙල් සාම ත්‍යාගය මෙවරද ඔක්තෝබර් මාසයේදී පුද දීමට නියමිත අතර මේ වන විට නාම යෝජනා ලබා දීමේ කාලයද අවසන් බැවින් මේ තරගකරුවන් අතරින් අති විශාල ත්‍යාග මුදල හිමිකරගන්නේ කවුරුන්ද යන්න බලා සිටීමට වටින්නේය.

Comments