කොරෝනා සුළි කුණාටුව ඇමරිකාව පුරා හමා යන්නට ආසන්නයි | සිළුමිණ

කොරෝනා සුළි කුණාටුව ඇමරිකාව පුරා හමා යන්නට ආසන්නයි

හැකිතාක් එන්නත් කරන්න  විශේෂඥයෝ කියති
 

 

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොවිඩ් වයිරස ප්‍රබේදය ඇමරිකාවේ පැතිරීම ආරම්භ වීමත් සමඟ ඇමරිකාව කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවට මුහුණ දීමට නියමිත බව එරට වසංගත විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

ඔවුන් පවසන්නේ ඉදිරියේදී ඇමරිකාව කොවිඩ් සුළි කුණාටුවකට මුහුණ දීමට නියමිත බැවින් හැකි ඉක්මනින් ජනතාව හැකි උපරිම ප්‍රමාණයක් එන්නත් කළ යුතු බවයි. ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ හැකිනම් එන්නත් එක් මාත්‍රාවක් හෝ හැකි උපරිම ජනතාවකට ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධව වසංගත රෝග විශේෂඥ මයිකල් ඔස්ටර්හෝම් විසින් ජෝ බයිඩ්න් ජනාධිපතිවරයාද දැනුම්වත් කර තිබේ.

ඔහු 2020 මැතිවරණයේදී කොවිඩ් වසංගතය සම්බන්ධව ජෝ බයිඩ්න්ගේ උපදේශකවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

මේ වන විටත් දැඩි ලෙස ඇමරිකාව පුරා වයිරසය පැතිර යමින් පැවතෙන අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ පැතිර යමින් පවතින නව වයිරස ප්‍රබේදයද ඇමරිකාවේ පැතිරීම ආරම්භ වී ඇතැයි පැවසේ.

ඉදිරි සති හයක සහ සති දා හතරක කාලයක් තුළදී මේ වයිරස් ප්‍රබේදය ඇමරිකාව තුළ සුළි කුණාටුවක් මෙන් පැතිර යනු ඇති බවට විශේෂයන් අනතුරු අඟවා තිබේ.

මේ වයිරස ප්‍රබේදය පෙර වයිරසයට වඩා සියයට 70ක පැතිරීමේ වේගවත් බවක් සහිත අතර පෙර වයිරසයට වඩා සියයට 30කින් මරණ අනුපාතයද ඉහළ දමා තිබේ.

මෙයට එකම පිළියම ලෙස වසංගත විශේෂඥයන් දක්වන්නේ ජනතාව හැකිතරම් වේගයෙන් එන්නත් කිරීමයි. මේ වන විටත් ඇමරිකානු ජනතාව මිලියන 50කට එන්නත් ලබා දී අවසන් කර තිබේ.

ඉදිරියේදී වයස 65ක වැඩි පුද්ගලයන්ට පමණක් හෝ උපරිම එන්නත් මාත්‍රාවන් ලබා දීමට ඇමරිකානු වසංගත විශේෂඥයන් උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට වයිරසය හේතුවෙන් ඇමරිකානුවන් ලක්ෂ හතරහමාරකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර දිනපතා දහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක්ද වාර්තා වෙමින් තිබේ.

කෙසේ වුවද වසංගත විශේෂඥයන් බිය පළ කරන්නේ නව වයිරස ප්‍රබේදය වඩා වැඩි හානිදායක වන බව තහවුරු කරමිනි.

බ්‍රිතාන්‍යයේ පැතිර යන වයිරස ප්‍රබේදය පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකාවෙන් සොයා ගත් නමුත්, එය පසුගිය ඔක්තෝබර් මාසයේ සිට එරට පවතින්නට ඇතැයි අනුමාන කෙරේ.

“දැනට අප දකිමින් තිබෙන දේ අනුව මට පැවසිය හැකි වන්නේ ඉදිරියේදී මේ රටේ කිසිදා අත් නොවිඳි දෙයක් අප අත්විඳීමට යන බවයි. මේ කොවිඩ් සුළිකුණාටුව ඇමරිකාවට ප්‍රභලත්වය ඒකක 5 ඉක්මවූ සුළි කුණාටුවකටත් වඩා වේගයෙන් පහර දෙනු ඇති” වසංගත විද්‍යාඥ ඔස්ටර්හෝම් එන්බීසී මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්මින් එසේ පවසා තිබේ.

Comments