ඉතිහාසය යළි රඟ දක්වන මියන්මාර් නාටකය | සිළුමිණ

ඉතිහාසය යළි රඟ දක්වන මියන්මාර් නාටකය

මියන්මාරයේ අගනුවර වන රැන්ගුන්හි නවතම තත්ත්වය
මැති­ව­ර­ණය දූෂිත බවට චෝදනා
 
හැත්තෑ­පස් වියැති සුකී යළිත් අත්අ­ඩං­ගුවේ
 
මැති­ව­රණ කොමි­සම චෝදනා ප්‍රති­ක්ෂේප කරයි
 
විදෙස් නාය­කයෝ රැ­සක් සිද්ධිය හෙළා දකිති

 

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය එසේ අවසන් විය. දැන් යළිත් එරට තුළ පවතින්නේ හමුදා පාලනයකි. රට වෙනුවෙන් තම සමස්ත ජීවිතයම කැප කළ අවුන් සාන් සු කී නැමති ඒ අභීත කාන්තාව යළිත් නිවාස අඩස්සියට පත්ව සිටින්නීය. මේ සිදුවීම් සමුදාය සරලව අර්ථකථනය කළ හැකි වන්නේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසිනි. එසේත් නැතිනම් හෝද හෝදා මඩේ දැමීමක් ලෙසිනි. කෙසේ වුවද පසුගිය සඳුදා එනම් පෙබරවාරි පළමුවැනිදා නවතම හමුදා කුමන්ත්‍රණය මියන්මාරය තුළ සිදුවුවද එහි මුලගිය තැන් හමුවන්නේ එයින් වසර ගණනාවකට පෙර සිට බව පැවසිය යුතුය. ඒ අතරින් ආසන්නතම සිදුවීම් සම්බන්ධව පමණක් හෝ අවධානය යොමු කරන්නේ නම් 2011 වසර දක්වා හෝ අතීතයට යා යුතුය.

ඊට පෙර මෙතරම් පහසුවෙන් හමුදා කුමන්ත්‍රණ සිදුවීමට මියන්මාරය තුළ පසුබිම සකස් වූයේ කෙසේද යන්න මඳක් විමසා බැලීම වටින්නේය. මියන්මාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන්නේ ශ්‍රී ලංකාවට මාසයකට පෙරදීය. එනම් 1948 ජනවාරි 4වැනිදාය. ඒ වන විටත් මියන්මාරය හෙවත් එකල බුරුමය ගිනිකොණ ආසියාවට හුරුපුරුදු වාම මාවතේ මඳක් දුර ගමන් කර අවසන්ය. එරට දේශපාලනයට ප්‍රවිෂ්ට වූවන් අතරින් ඉදිරියෙන්ම සිටි ‘අවුන් සාන්’ 1946 වන විට බුරුම විධායක කවුන්සිලයේ සභාපතී ලෙස පත්වීම් ලැබ සිටියේය. එහෙත් රට තුළින්ම අවුන් සාන්ගේ බලවත් වීමට කුමන්ත්‍රණ සිදුවූ අතර 1947දී ඔහු ඝාතනය වන්නේ ඔහුගේ ම දේශපාලන විරුද්ධවාදීන් අතිනි.

 

 මියන්මාර හමුදා ප්‍ර්‍රධානී මින්ග් අවුන්ග් ලායින්ග් 
 

නිදහස ලැබීමෙන් පසු වෙනත් යටත් විජිත මෙන් මියන්මාරය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් වූයේ නැත. මියන්මාරයට එරටටම අනන්‍ය වූ දේශපාලන ගමනක් තිබූ අතර නිදහසින් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය එරට ජනතාව ඉස් මුඳුුණින් පිළිගෙන තිබිණි. කෙසේ වුවද ලෝකයේ සෙසු රටවල් සමඟ කටයුතු කිරීමේදී මියන්මාර අනන්‍යතාව ඉහළින්ම ආරක්ෂා වූ අතර සෙසු රටවල් අතර මියන්මාරයට කිසියම් ගරුත්වයක්ද විය. යුරෝපා ජාතිකයකු නොවන ප්‍රථම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ‘යූ තාන්ට්’ බිහිවූයේද මියන්මාරයෙනි. එදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ ‘යූ තාන්ට්’ ස්වකීය කාර්ය මණ්ඩලයට මියන්මාරයෙන් බඳවාගෙන තිබූ සේවක පිරිස අතර ‘අවුන් සාන් සු කී’ ද වූවාය. ඒ 1961 වසරේදීය.

මියන්මාර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කණකොකා හඬන්නේ 1962 දීය. ඒ එම වසරේදී මියන්මාර හමුදාවේ ජෙනරාල් ‘නේ වින්’ සිදු කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟිනි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ රට ධනවාදය කරා ගමන් කරමින් තිබෙන බව හමුදා කුමන්ත්‍රණයේ නිදහසට කරුණ වූ අතර රාජ්‍ය බලය නේ වින් අතට පත් වීමෙන් පසු ‘සමාජවාදය කරා වන බුරුම මාවත‘ ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය. බෞද්ධාගම වෙනුවෙන් මුල්තැන ලැබුණු අතර පෞද්ගලික ව්‍යාපාර සියල්ල හමුදා පාලනයට යටතට ගනු ලැබීය.

මේ හමුදා පාලනය මියන්මාර ජනතාව ප්‍රතික්ෂේප කර සිටියේ වරක් හෝ දෙවරක් නොවේය. 1962 වසරේ හමුදා කුමන්ත්‍රණය සිදුවී දින කිහිපයකින් එනම් ජූලි 7වැනිදා සිට ආරම්භ වූ විරෝධතා අවසන් වූයේ රැන්ගුන් සරසවියේ සිසුන් 15 දෙනෙකු මරණයට පත්වීමත් සමඟිනි. යළිත් වරක් මේ විරෝධතා 1974, 1975, 1976, 1977 වසරවල අඛණ්ඩව ක්‍රියාත්මක විය. විශේෂයෙන්ම 1974 වසරේදී යු තාන්ට්ගේ අවමංගල්‍ය උත්සවයේදී මියන්මාර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා විරෝධතා පැවැත්වූහ. මේ සියල්ල ජනතාව වෙත පරාජය උරුම කරමින් නවතා දැමීමට හමුදා පාලනය සමත් විය. අවි බලය මෙන්ම දේශපාලන බලයද, තීන්දු ගැනීමේ හැකියාවද එක් පාර්ශ්වයක් සතු වීමේ ආදීනව මියන්මාරයෙන් මුළු ලොවටම දිස් විය.

තරුණ සුකී සිය සැමියා සහ පුතු සමඟ

 

මේ වන විට මියන්මාරයේ යකඩ ගැහැණිය අවුන් සාන් සුකී දේශපාලනයට ප්‍රවිෂ්ට වී අවසන්ය. තමා උපත ලබා යන්තම් වසර දෙකක් පිරෙන විට තම පියා තමාට අහිමි වූයේ දේශපාලනය නිසාම බව ඇය හොඳින් දැන සිටියද තම සිරුරේ දුවන දේශපාලන රුධිරයෙන් වෙන්වී සිටීමට ඇයට හැකියාව ලැබුණේ නැත. ඇය සියලු බාධක මැද මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියාය. ඇයගෙ දේශපාලන පක්ෂය ‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික ලීගය’ නම් විය. 1988දී ඇය එම පක්ෂය පිහිටුවන විට ඇයට සහය ලබා දීමට මියන්මාරයේ හමුදා පාලනය ගැන කලකිරීමෙන් සිටි හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙක්ද සහය දුන් බව මෙහි සඳහන් කළ යුතුමය.

1990දී එරට පැවති මහ මැතිවරණයෙන් සුකී ගේ දේශපාලන පක්ෂයට සියයට 81ක ජනතා බලයක් හිමිවූ නමුදු මැතිවරණ ප්‍රතිඵලය අවංලගු කර දිගටම පාලනය ගෙන යාමට මියන්මාර හමුදා ප්‍රධානීන් කටයුතු කළහ. ජනතා කැමැත්ත ඔවුන්ට වැදගත් වූයේ නැත. ඒ වෙනුවට සුකී ට හිමිවූයේ නිවාස අඩස්සියයි. ඇය 1989 සිට 2010 දක්වා නිවාස අඩස්සියේ පසුවූවාය. එය වසර විසි එකක දීර්ඝ කාලයක් විය. ඇයගේ සැමියා වූ භූතානය සහ හිමාල සංස්කෘතිය පිළිබඳ ඉතිහාසඥ මයිකල් ඒරිස් සහ දරු දෙදෙනා ඇයගෙන් වෙන් කෙරුණු අතර ඇය රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල දරා සටනේම රැඳී සිටියයා. ඒ වෙනුවෙන් 1999දී ඇයට නොබෙල් සාම ත්‍යාගයද හිමි වූ බව සඳහන් කළ යුතුය.

අවසානයේ 2010 වසරේදී ඇයගේ ඉවසීම, දරා ගැනීම සහ සටන්කාමීත්වයද, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මියන්මාර් ජනතාව තුළ පවතින් දැඩි බලාපොරොත්තුවද හමුවේ ඇය නිදහස් කිරීමට මිලිටරි ජුන්ටාවට සිදුවිය. අප පෙර සඳහන් කළ පරිදි පසුගියාදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ මුල් විහිදෙන්නේ එදා 2010 ඇය නිවාස අඩස්සියෙන් මිදුණු දිනයේ සිට යැයි පැවසිය හැකි වන්නේය.

නිවාස අඩස්සියෙන් මිදුණු සුකී යළි තම දේශපාලන ජීවිතය අරඹන අතර විදෙස් බලපෑම හමුවේ ඇයට ඒ සඳහා ඉඩ සැලසීමට ද හමුදා පාලකයන්ට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 2011 වසරේදී මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කෙරෙන්නේය. ඒ වසර 46කට පසුවය. ජනාධිපති ලෙස තියෙන් සෙයින් පත්වීම් ලැබූ අතර සුකී ගේ ප්‍රජාත්න්‍රවාදය සඳහා වන ජාතික ලීගය මෙන්ම හමුදා පාලනයෙන්ද ජනතා නියෝජිතයන් තෝරා ගැනීමට කටයුතු යෙදිණි.

2015 වසරේදී මහමැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණු අතර එම මහ මැතිවරණයෙන් සුකීගෙ පක්ෂය අති විශාල බහුතරයක් සහිත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. තමන් හුදකලාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටනේ නිරත වූයේ යැයි සුකී සිතා සිටියාට තමාව තම රටේ ජනතාව කිසිදා තනි නොකළ බව ඇය එදින වටහා ගන්නට ඇත. නව රජයේ ඇය වෙනුවෙන්ම නව ධූරයක් ස්ථාපිත කෙරුණු අතර එය ‘රාජ්‍ය උපදේශක’ යනුවෙන් විය.

මෙලෙස යළිත් දේශපාලනයට පිවිසීමට සුකීට නිදහස ලැබුණද 2008 වසරේ හමුදා ජුන්ටාව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පදානය කර තිබූ අතර එය තනිකරම හමුදා පාලනයට හිතකර ලෙස සකස් කර තිබිණි. එම ව්‍යවස්ථාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම යනු හරකෙක් කඹයකින් බැඳ දිගේලි කිරීමකට සමාන කළ හැකිය. එනම් ඔනෑම අවස්ථාවක හරකාගේ කඹයේ දිග වෙනස් කිරීමට, හරකා ගේ කඹයේ දිග තීරණය කිරීමට හෝ හරකා ලෙහා දැමීමට හැකියාව හරකා බැඳි පුද්ගලයාට ඇතිවාක් මෙන් විය.

සුකී කුඩා කල මව, පියා සහ සහෝදර සහෝදරියන් සමඟ. 
ඇය ඒ වන විට මාස කිහිපයක් වයසැති කුඩා දැරියකි. 
 

සුකී අති විශාල ජනතා බලයක් ලැබුවද ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව තුළ සුකීගේ පාක්ෂිකයන්ට හිමිවූ නියෝජනය සියයට 75ක් පමණක් විය. පාර්ලිමේන්තු අසුන්වලින් සියයට 25ක් සහ ප්‍රධාන අමාත්‍ය ාංශ තුනක බලය හමුදාව සතු විය.

කෙසේ වුවද ලැබුණු අවස්ථාවෙන් සතුටට පත්වූ මියන්මාර ජනතාව සහ සුකී ඇතුළු පිරිස හැකිතරම් ජනතාවාදී පාලනයක් ගෙන ගිය බව සඳහන් කළ යුතුය. මේ සඳහා සුකීට විදේශ රටවල සහයද නොඅඩුව හිමි විය. එහෙත් 2017 වසරේදී එරට රකිනේ ප්‍රාන්තයේ සිදුවූ රොහින්ග්යා අර්බුදය හේතුවෙන් සුකී විදේශයන්හි දැඩි දෝෂදර්ශනයට ලක් වුවද බහුතර මියන්මාර ජනතාව තුළ නම් ඇයගේ ජනප්‍රියත්වය තවතවත් ඉහළ දැමීමට එය හේතුවිය.

මේ වන විට මියන්මාර හමුදාවට සුකී පාලනය ඇතිවෙමින් යන බවක් පෙනෙන්නට විය. සුකී පාලනය සමඟ හමුදා පාලනය සමපාත නොවූ අතර 2020 වසරේදී ඒ වන විට එරට හමුදා නායක ජෙනරාල් මින්ග් අවුන්ග ලායින්ග් පවසා සිටියේ ‘සිවිල් පාලනය මගින් සමාව දිය නොහැකි වැරදීම් සිදුවෙමින් පවතින බවයි’.

2020 නොවැම්බර් 3 වැනිදා හමුදා නායකයා මෙසේ පවසා සිටියේ නොවැම්බර් 8වැනිදා එරට මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. එසේ වුවද රොහින්ග්යා සිදුවීමේදී නම් සුකී සහ හමුදාව අතර මනා අවබෝධයක් වූ බව සඳහන් කළ යුතුය.

තත්ත්වය එසේ තිබියදී නොවැම්බර් මස 8වැනිදා මියන්මාරය යළිත් මහ මැතිවරණයක් පැවැත්වූ අතර එහිදීද අති විශාල ජනතා බලයක් සුකීට හිමි විය. එහෙත් එවර මැතිවරණ වංචා සිදුවූ බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වන්නට විය. මේ වන විට හමුදා මැදිහත්වීම මත විපක්ෂයක් ගොඩ නැගී තිබුණු අතර එහි ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුදාවම විය. ඔවුන් නොවැම්බර් 11 වැනිදා සුකීගේ ආණ්ඩුවට චෝදනා එල්ල කර සිටියේ ඇය මැතිවරණ වංචා සිදු කළ බවයි. කෙසේ වුවද මේ චෝදනාවලට පිළිතුරු දීමට සුකී කලබල නොවූ අතර ඇය තම හිතවත් පුද්ගලයන් අතරින් ජනාධිපති,අගමැති සහ කැබිනට් මණ්ඩලයට පත් කිරීම්වල යෙදුණාය. එහෙත් පාලනය යළි තමා අතට ගැනීමේ හමුදා උත්සාහය වැළැක්වීමට ඇයට හැකියාව ලැබුණේ නැත.

හමුදාව මෙවර තම මාවත ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මාවතම තෝරාගෙන තිබූ අතර 2021 ජනවාරි 26වැනි දින හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් සවු මින් ටුන් පවසා සිටියේ ආණ්ඩුව සිදු කළ මැතිවරණ වංචා නිවැරදි කිරීමට කටයුතු නොකරන්නේ නම් ‘ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇති ‘බවයි. විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර සිටියේ ඒ වන විටත් රැන්ගුන් නුවර මහා මාර්ගවල හමුදා රථ ගමන් කරමින් තිබූ බවයි.

මේ සම්බන්ධව මියන්මාර මැතිවරණ කොමිසමේ අදහස් ජනවාරි 28වැනි දින එළි දැක්වුණු අතර එහිදී කොමිසම පවසා සිටියේ මැතිවරණ වංචා මගින් ආණ්ඩුව බලයට පැමිණි බව පිළිගත නොහැකි බවයි.

මේ වන විට ප්‍රජාත්නත්‍රවාදයේ බැටළු හම් පොරවාගෙන සිටි මියන්මාර හමුදාව ජනතාවට සාධාරණය ඉටු කිරීමටත්, මැතිවරණ ප්‍රතිඵලය මගින් උල්ලංඝනය වූ මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ස්ථාපිත කිරීමටත් කටයුතු කරන බවට නිවේදනයක් ජනවාරි 30 වැනිදා නිකුත් කර සිටියේය. ඒ වන විටත් මියන්මාරයේ ප්‍රධාන නගරවල හමුදාවට සහය දෙන පිරිස් යොදවා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීමටත් හමුදාව කටයුතු යොදා තිබිණි.

පෙබරවාරි පළමුවැනිදා රාජ්‍ය බලය හමුදාව විසින් අත්පත් කර ගන්නේ එහි ආසන්නතම ප්‍රතිඵලය ලෙසිනි.

සුකී ගේ නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ කටයුතු යෙදී තිබුණේ පෙබරවාරි පළමුවැනිදාටය. එහෙත් එදින උදාසන වන විට සුකීට සහ ඇයගේ පක්ෂයේ ප්‍රධානීන්ට නිවෙස්වලින් පිටතට පැමිණීම හමුදාව මගින් තහනම් කර තිබිණි. දුරකථන සමග අන්තර්ජාල සේවද අවහිර කර තිබූ අතර ජනතාව කඩ සාප්පුවලට පිරී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස් කර ගන්නා අන්දම දැක ගත හැකි විය.

සුකී සමඟ සුකී ගේ රජයේ ජනාධිපති ධූරය හෙබවූ වින්ග් මින්ට්ද නිවාස අඩස්සියට පත් වූ අතර, හමුදා ප්‍රධානී ජෙනරාල් මින්ග් අවුන්ග් ලායින්ග් රටේ පාලනය තමා අතට ගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මෙය මැතිවරණ වංචා සිදුකිරිමට අදාළ ප්‍රතික්‍රියාව බවයි. කෙසේ වුවද හමුදාව පවසන තරමට ජනතාවාදීද යන්න තීරණය කළ යුත්තේ එරට ජනතාවම බවත්, එය එසේ වී නම් හමුදාවට පක්ෂ විරුද්ධ පක්ෂය මැතිවරණයෙන් පරාජය ලැබුවේ මන්ද යන්නත් විමසිය යුතු ගැටලුය.

මේ වන විටත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුයිටරේස් මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ ‘ජනතා මතයට හිස නමන මෙන් තමා හමුදා ප්‍රධානීන් ගෙන් ඉල්ලා සිටින බවයි.’

රටවල් රැසක රාජ්‍ය නායකයන්ද මියන්මාර හමුදා කුමන්ත්‍රණය හෙළා දැකීමට කටයුතු කර ඇති අතර අබිනවයෙන් පත්වූ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුදා පාලනයට තර්ජනය කරමින් පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය හැකි තරම් ඉක්මනින් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළ හොත් ඇමරිකාව මියන්මාරයට සම්බාධක පැනවීමට කටයුතු කරන බවද බයිඩ්න් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වුවද වසර එකොළහකට පසු යළිත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත් වී තිබේ. ඇය මේ වන විට 75වැනි වියේ පසුවන අතර පෙර තිබූ සටන්කාමීත්වය ඇයගෙන් බැහැර නොවූවද සොබා දහම එයට ඉඩ ලබා දේ යැයි කාට නම් කිව හැකි වේද? කෙසේ වුවද පැවසිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන අයිතිය යනු පහසුවෙන් අත් හැර දැමිය නොහැකි, අත් හැර දැමිය යුතු නොවන සටනක් බවයි.

ඒ සඳහා මෙලොව හොඳම උදාහරණය දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා නම් ඔහු සමඟ කරට කර සිටීමට අවුන් සාන් සුකී ටද හැකියාව ලැබෙනු ඇත.

 

Comments