සමාජය දැක්වූ ප්‍රතිචාර | සිළුමිණ

සමාජය දැක්වූ ප්‍රතිචාර

ගෙවීම් අඩු කිරීමෙන් ක්‍රිකට් නැඟිටුවීමේ යෝජනා

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කැපීමේ තීන්දුව සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ දැඩි කැමැත්තක් බව පෙණේ. එහෙත් ඇතැමුන් ප්‍රකාශ කරන්නේ එවැනි ආකාරයේ වැටුප් කප්පාදුවක් ප්‍රමාණවත් නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇත්තේ කුමක් ද? එය කිසිදා නැගිටුවාලිය නොහැකි ආකාරයට බිම ඇද වැටී තිබෙන්නේ ද? එය යළි නැගිටිනු ඇත්ද? ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙන් පමණක් ද? රට සම්බන්ධයෙන් ඔවුනට කිසිදු හැඟීමක් නොපවතින්නේ ද? වැනි අනේක විධ ප්‍රශ්න ක්‍රිකට් ක්ෂේත්‍රය ඇසුරින් සමාජය තුළ මතුව හා මතුවෙමින් තිබේ. මේ ඒ ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් සංවාදයන්හි උපුටනයක් ය.

ක්‍රිකට් ගොඩගැනීම ගැන සමාජය තුළ මතුව එන ප්‍රශ්න මාලාවන්ට පිළිතුරු ගොනු කිරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දක්වා සමාජ වගකීමක් බවට පත්ව ඇති මොහොතක් අපි ගෙවා දමමින් සිටිමු. මේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන්නට පත්කර ඇති ජාතික ක්‍රීඩා සභාව, ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර හදිසි රැස්වීමක් ගෙවුණු ජනවාරි මාසයේ අවසන් සතියේ පවත්වන්නට යෙදුණේය. එහිදී විවිධ තීන්දු තීරණ ලබාගත යුතු බවට යෝජනා විණි. ඒ අතර නව තේරීම් කමිටුවක් පත් කිරීම, පළමුපෙළ ක්‍රිකට් තරගාවලි ව්‍යූහය නැවත සකස් කිරීම, ක්‍රිඩකයන්ගේ යෝග්‍යතාව ගැන විශේෂ අධීක්ෂණයක් පැවැත්වීම, ක්‍රීඩක දක්ෂතා මත පදනම් වූ ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම, කණ්ඩායම් අධ්‍යක්ෂවරයෙක්, උපදේශකයෙක් සහ පූර්ණ කාලීන කළමනාකරුවෙක් පත් කිරීම ද එම යෝජනා අතර විණි.

මේ අනුව දැනට සිදුකරනු ලබන ක්‍රීඩක ගෙවීම් සියයට හතළිහකින් පහළ දැමීමට ද යෝජනා වූයේය.

අදාළ වෙනස්කම් හා විවිධ ආකාරයේ ක්‍රිකට් කලබගෑනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ගොඩනැඟී ඇත. මෙම ලිපිය සකස් වන්නේ එකී සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම් පිළිබඳ සිදුකරන සමාලෝචනයක් අනුසාරයෙනි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කැපීමේ තීන්දුව සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ දැඩි කැමැත්තකි. තවත් කණ්ඩායමක් දරන්නේ සියයට හතළිහක වැටුප් කැපීමක් යනු වඩා මිල අධික දඬුවමක් බවය.

හේලිත නානායක්කාර විසින් ආරම්භ කර පවත්වාගෙන යන වඩාත් ජනප්‍රිය සමාජ ජාලා ක්‍රිකට් පිටුවක් වන 'ග්ලැමර් ඔෆ් ක්‍රිකට්' සමාජ ජාල පිටුව විසින් සිදුකර තිබූ මත විමසුමක් මේ අතරින් වඩාත් කැපීපෙනෙයි. එහි දක්වා ඇති අදහස් සමාජය ක්‍රිකට් වේතන කප්පාදුව පිළිබඳ දරණ මතය තේරුම් ගැනීමට පහසුවෙන් ඉවහල් කරගත හැකිය.

එම සමාජ ජාලා පිටුවට අදහස් දක්වා තිබූ 'කල්හාර ආනන්ද' නමැත්තා කියා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් 'දැවැන්ත කප්පාදුවක් අවශ්‍යයි' කියාය. ඊට සමගාමීව නදීශ විතානගේ කියා තිබුණේ 'හතළිහක් නෙවෙයි අනූ නවයක්ම කපන්න ඕනෑ' යනුවෙනි.

'චූටි මල්ලී' යන අනවර්ථ නාමයෙන් සමාජ ජාලා පරිශීලනය කරන්නකු වෙතන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවනු ලබන සියලු මුදල් කපා හැරිය යුතු බවය. එහෙත් 'යසිරු පතිරණ' පවසා තිබුණේ සියයට හතළිහක් කැපීම වැඩි බවය.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදුවූ පසු සිදුවිය හැක්කේ කුමක්දැයි යන්න පිළිබඳව ද මතවාද පළව තිබුණේය. ඒ අනුව 'සම්පත් ප්‍රියංක' පවසා තිබුණේ එම නිසා බැංකු ණය (ලෝන්) ගෙවාගන්න බැරිව ගෙවල් දොරවල් සින්න වෙද්දී ක්‍රීඩකයන්ට එහි රඟ තේරෙනු ඇතැයි කියායි. 'අකිල සිරිවර්ධන' සාධනීය ප්‍රශ්නයක් වශයෙන් යොමුකර තිබුණේ මෙසේ කප්පාදු කරන වැටුප්වලට සිදුවනු ඇත්තේ කුමක්ද? යන්නය. 'පඩි කප්පාදුවෙන් ලැබෙන සල්ලි හොරුන්ගේ සාක්කුවට යයි ද?' යන්න ඔහුට මතුව ඇති ප්‍රබලම ගැටලුව වී තිබිණි. එමගින් ප්‍රකාශ කෙරෙන්නේ වැටුප් කප්පාදුව ඉතා හොඳ තීරණයක් බව පිළිගන්නා විශාල පිරිසක් ඇති බවත් ඒ අතරින් ඇතැමෙක් එසේ වැටුප් කප්පාදුවෙන් ඉතිරිවන මුදල් ඇතැම් දූෂිත පරිපාලකයන්ගේ සාක්කුවට යනු ඇතැයි සැක පහළ කරන බවත්ය. එය එසේ නොවන බව තහවුරු කිරීමේ වගකීම ඇත්තේ බලධාරීන් අතය..

මෙම සමාජ ජාල සංවාදයට එක්වන 'අයේෂ් ගුණසේකර' පවසන්නේ මුදල් කපනවා හෝ වැඩි වැටුප් ලබාදීමට වඩා ක්‍රීඩක ආකල්ප සංවර්ධනය කිරීම ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනගාගැනීමට හා එය තිරසර බවට පත්කිරීමට ඉවහල් වනු ඇතය යන්නය. 'සචින්ත දිල්රුක්ෂ' පෙන්වා දී ඇත්තේ ක්‍රිකට් කියන්නේ හම්බ කරන්න තැනක් නොවෙන බව දැන්වත් තේරුම් ගැනීම වැදගත් කියාය. එහෙත් එය කොතෙක් දුරට ප්‍රායෝගික වන්නේද යන්න අවබෝධ කරගැනීමට සිදුවේ. ඒ මන්දයත් වර්තමානයේ වාණිජ්‍යමය පදනමකින් තොරව කිසිදු ක්‍රීඩාවක් නොපවතින තත්ත්වයක් නිර්මාණයවී ඇති හෙයිනි.

කොදෙව් දූපත් හා සමපාත කිරීම

මේ අතර මෙකී මත විමසුම සමඟ එක්තවන තවත් කණ්ඩායමක් වැටුප් කප්පාදුව ඇතුළු අර්බුද දැක තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇද වැටීමට සමාන සිදුවීමක් ලෙසය. ඒ අනුව 'සංජන රවිඳු' එය සනාථ කරමින් 'බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ දේ තමයි මේ' යනුවෙන් තම අදහස් පළකර තිබිණි. එහෙත් සමිත් මධුසංඛ පෙන්වා දෙන්නේ 'බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වැටුණේ ක්‍රීඩකයන්ට නොසලකා හැරීමෙන්' නොවන්නේ ද යන්නයි. එම සංවාදයට එක්වන මොහොමඩ් මුබාරක් පවසා ඇත්තේ 'කොදෙව්වෝ රටක් නොවෙයි' යනුවෙනි.

පහත දැක්වෙන්නේ එලෙස ප්‍රකාශ කෙරුණු සමාජ ජාලා අදහස් කීපයක ඡායාරූප වශයෙන් උකහා ගත් සටහන් කීපයකි. ඒ අතර 'අනාගතේ දවසක' යන 'පෝස්ට්' එක මෙන්ම 'දවස් පහක් සෙල්ලං කරන්න පුලුවන් 11ක් මේ පුන්‍ය භූමියේ පහළ වේවා' යන අධිෂ්ඨානය ඇතුළත් ත්‍රීරෝද රියක පිටුපස තැබූ සටහනින් ප්‍රකාශිත උත්ප්‍රාසය ඉතා ගැඹුරු බව පෙන්වා දිය යුතුය. ඒ සියල්ලෙන් ප්‍රකාශ වන්නේ සමාජය තුළ පවතින ක්‍රිකට් ආදරය තවමත් පූර්ණ අවිශ්වාසී කලකිරීමක් බවට පත්ව නොමැති බවයි.

(සමාජ ජාලා ඇසුරෙන් සිදුකරන විශ්ලේෂණයකි)

 

Comments