
ජෙසී ඔවෙන්ස්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මිතය
මිනිසකුගේ හමේ පාට අනුව වෙන් කිරීම කෙතරම් ප්‍රජාතාන්ත්‍රිකද? ලෝකයේ හොඳම ප්රජාතන්ත්රවාදය පවතිනවා යැයි පුරසාරම් දොඩන ඇමෙරිකාවේ පවා හමේ පාට අනුව මිනිසුන් වෙන් කිරීම තවමත් සිදු වේ. පොදු වැසිකිළි තුළ, විශ්වවිද්‍යාලයන් හි නේවාසිකාගාරයන්හි මෙය දරුණුවටම පවතී. මෙවැනි සමාජ ක්‍රමයක් තුළ ඉපිද ඒ සමාජ ක්‍රමයෙන් ගැරහුම් ලැබ පසුව ඒ සමාජ ක්රමයේම වීරයකු වූ පුද්ගලයකු පිළිබඳ කතාවයි RACE කියන්නේ. එනම්, ඔලිම්පික් පදක්කම්ලාභී ජෙසී ඔවෙන්ස්ගේ කතාව යි.
ඇමෙරිකාවේ ඔක්විල් හි ළමයින් නව දෙනකුගෙන් යුත් කළු ජාතික පවුලක 10 වැනි පිරිමි දරුවා ලෙස ජෙසී ඔවෙන්ස්, 1913 සැප්තැම්බර් 12 දින උපත ලැබීය. ධනවත් ඉඩම් හිමියකු යටතේ ගොවියකු ලෙස කටයුතු කළ ජෙසීගේ පියා (හෙන්රි ඔවෙන්ස්) එම මුදල් ප්‍රමාණවත් නොවූ තැන සිය පවුලේ සාමාජිකයන් ද සමඟ ක්ලිව්ලන්ඩ් කාර්මික ජනපදයට සංක්‍රමණය විය. ඒ අපේ කතානායක ජෙසී ඔවෙන්ස්ට අවුරුදු 9 දී ය. එහි දී පාසල් වේලාවෙන් පසු තාවකාලික රැකියා කිහිපයක ජෙසීට යෙදෙන්නට විය.
නමුත් උපතින්ම ලැබූ ත්‍යාගයක් ලෙස මලල ක්‍රීඩාව ඔහු සතු විය. පාසල් මලල ක්‍රීඩා උළෙලවල් හී දී වාර්තා පිට වාර්තා තැබූ ජෙසී උසස් අධ්‍යාපනය සඳහා ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ. එහි දී ලැරී ස්නයිඩර් නම් පුහුණුකරුගේ උපදෙස් මත කෙටිදුර ධාවනය සහ දුර පැනීම යන ඉසව් ඔස්සේ පුහුණු වීම් සිදු කළේය. නමුත් එවක ඇමෙරිකාව තුළ දරුණු ලෙස පැවැති වර්ණ භේද වාදයෙන් ජෙසීට පීඩා විඳීමට සිදුවිණි. නමුත් ලැරී ස්නයිඩර්ගේ එක් වචනයක් මොහුගේ ජීවිතය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කළේය.
“ධාවන පථයේ ඉන්න ඒ තත්පර දහය තුළ, කලු ද සුදු ද කියා භේදයක් නැහැ. තියෙන්නේ එක දෙයයි. ඒ වේගය නැතිනම් මන්දගාමීත්වය.”
ඔව්. ඔහු ඒ වේගය ලබා ගන්නවා. ප්‍රේක්ෂකාගාරයේ සිටින සුදු ජාතිකයන්ගේ ගැරහුම් නොතකා ඔහු ඉදිරියටම ඇදෙන්නේය. ජෙසී ඔවෙන්ස් මිචිගන් නුවර පැවැති අන්තර් පාසල් ජාතික ක්‍රීඩා උළෙලේ දී යාර 100 ඉසව්ව තත්පර 9.4කින් සහ දුර පැනීමේ ඉසව්වෙන් ලෝක වාර්තා තැබීමට සමත්වන්නේ ඒ අනුවය. එම රන් පදක්කම්, සුදු ජාතිකයන් තුළ පවා ඔහුව වීරයකු බවට පත් කරනු ලැබීය. ඔහුගේ මේ දක්ෂතාව ඔහු 1936 වසරේ ජර්මනියේ පැවැති ඔලිම්පික් උළෙල නියෝජනය කරවීමට සමත් විය.
ආරම්භයේ සිට ම ඔලිම්පික් උළෙල හිට්ලර්ගේ දේශපාලනික මතවාද බෙදා හැරීමේ වේදිකාවක් බවට පත් විය. ඔවුන් ක්‍රීඩාව හරහා ආර්යයන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්වීය. තම කණ්ඩායම එම තරගාවලියේ වඩාත් සාර්ථක කණ්ඩායම බවට පත් වීමට විවිධ උපක්‍රම යෙදවීය. නමුත් ජෙසී ඔවෙන්ස් හිට්ලර්ගේ ඒ සිහිනය බොඳ කර දැමුවේ, ලෝක වාර්තා 4ක් ද සමඟින් මීටර් 100, 200, දුර පැනීම සහ සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම් ලබා ගනිමිනි. හිට්ලර්ගේ සන්නිවේදන අමාත්‍යවරයා වූ ගොබෙල්ස් විසින් ජෙසී ඔවෙන්ස් තරග කළ මීටර් 200 ඉසව්ව පටිගත කිරීමට වාරණයක් නිකුත් කළත් මෙම අසමසම මිනිසාගේ ඒ දක්ෂතාව කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොදී ලිනී රීෆෙන්ස්ටාල් නම් මාධ්‍යවේදිනිය ඒ සෑම මොහොතක්ම පටිගත කළාය.
එසේම නාසි තරුණ ලීගය නියෝජනය කළ ක්‍රීඩකයකු වූ ලුස් ලෝන්ග් පවා ඔහු ගේ මේ සැබෑ දක්ෂතාවය වෙනුවෙන් හදවතින්ම සතුටු විය. යුදෙව් වර්ගභේදවාදය දැඩි ලෙස පිළිගත් ආර්යයන්ගේ සහාය ජෙසී ඔවෙන්ස්ට ලැබුණි.
“නාසි දුෂ්ඨයින් සොයා මා 1936 දී ජර්මනියට ගියත්, එහි දී මට හමු වුණේ ලුස් ලෝන්ග් වැනි මානව දයාවෙන් පිරි මිනිසුන් ය.”
ජර්මානුවන් ඔහුව එසේ උත්කර්ෂයට නැංවුව ද, වර්ණ භේද වාදී ඇමෙරිකානුවන් ජෙසී දෙස බැලුවේ අවඥාවෙනි. වර්ණ භේද වාදී කෝණයෙනි. ඔහු වෙනුවෙන් සංවිධානය කළ සාදය පිහිටි හෝටලයට පවා යෑමට සිදු වූයේ පිටු පස දොරටුවෙනි. ඒ එවක කලු ජාතිකයන්ට හෝටල්වල ඉදිරිපස දොරටු විවෘත නොවූ බැවිනි.
2016 වසරේ තිරගත වූ මෙම සිනමා පටයේ ජෙසී ඔවෙන්ස් ලෙස සම්මානනීය නලු Stephan James ද පුහුණුකරු වූ ලැරී ස්නයිඩර් ලෙස සම්මානනීය නලු Jason Sudeikis ද රංගනයෙන් දායක වී තිබේ. Stephen Hopkins නම් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම සිනමා පටය IMDb වර්ගීකරණයෙන් 7.1/10 ලබා ගැනීමට සමත් වී තිබේ.
අවසාන වශයෙන් වර්ණ භේද වාදය තවමත් අවසන් නැත. ජෙසී ඔවෙන්ස්ලා මේ සමාජයේ තවත් සැඟවී ඇත. ඉතිහාසය හැම විටම අනාගතය වෙනුවෙන් ආදර්ශයක් වනු ඇත. එබැවින් ඔබ ඉතිහාස ගත වන්න.










