රන් රස සේ පෑහී ක්‍රීඩාව හා හැට අට වසරක් දීග කන සචීගේ පවුල | සිළුමිණ

රන් රස සේ පෑහී ක්‍රීඩාව හා හැට අට වසරක් දීග කන සචීගේ පවුල

දියණිය කැනඩාවේ මිණිබිරිය වෛද්‍යවරියක් දෙවැනි මිණිබිරිය වෛද්‍ය ශිෂ්‍යාවක්

උක් ගස මෝරන්නට මෝරන්නට ප්‍රණීතය. ඔවුන්ගේ ජීවිතයද එසේමැයි කිවහැක්කේ දශක ගණනාවක් ඔවුන් දෙදෙනා සතුටින් ජීවත්වන හෙයිනි. එලෙස ජීවත්වීම සුවිශේෂී වන්නේ ක්‍රීඩාව අනුපානයට ගෙන පවුල් කන විටය. මේ මෙරට ප්‍රවීණ මලල ක්‍රීඩා සංගමයේ අප්‍රමාණ නියෝජනය සේ සැලකිය හැකි සචිත්‍රාන්නද පවුල හා දීර්ඝ කාලයක් ක්‍රීඩාව අනුපාන කරගනිමින් පවුල් කන ආකාරය පිළිබඳය.

‘මට මගේ බිරිය හමුවුණේ ක්‍රීඩා පිටියෙන්මයි.ඇය දක්ෂ මලල ක්‍රීඩිකාවක්.නමුත් ඇයව පුහුණු කළේ මම.’ කේ. සචිත්‍රානන්ද මහතා ‘ක්‍රීඩා’ හා සංවාදයකට එළෙඹෙමින් පැවසුවේය.

මේ දිනවල කොරෝනා වසංගතය හේතුවෙන් නිවාස අඩස්සියේ පසුවන ඔවුන් දෙදෙනා මෙරට සිටින ප්‍රවීණතම මලල ක්‍රීඩා පවුලයැයි අවිවාදයෙන් හැඳින්විය හැකිය. එම ක්‍රීඩා ක්ෂේත්‍රයේ අඛණ්ඩව වසර 68 ක් තිස්සේ නියැලෙමින් සිටින සචිත්‍රානන්ද මහතා වර්තමාන ශ්‍රී ලංකා වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ අනුශාසකවරයාද වෙයි.

‘මම මුලින්ම මලල ක්‍රීඩාවට අවතීර්ණ වුණේ 1953 වසරේදී. එතැනදී මීටර 400, මීටර 800 හා මීටර 1500 වෙනුවෙන් තමයි පුහුණුවීම් කළේ. කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වෙලා මම ලංකා බැංකුවට ඇතුළත් වුණා. ඒ කාලයේ මගේ බිරිද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙයි සේවය කළේ.

1957 ACE මලල ක්‍රීඩා ක්ලබ් එකේ වසර 17ක් ලේකම් වුණා..ජනසතු සේවා මලල ක්‍රීඩා සංගමයේ වසර 27ක් ලේකම් වුණෙත් මමයි.

එදා අපි සතියකට දින 03ක් පුහුණුවීම් කරනවා. රැකියාවට පිටත්වෙන්න ඉස්සෙල්ලා උදේ පාන්දර 04ට පමණ පුහුණුවීම් ආරම්භ කරනවා. මගේ ගම කොටහේන.කොටහේනේ සිට රත්මලානට දුවනවා.නැවත රත්මලාන සිට කොටහේනට දුවගෙන එනවා.ඉන්පසු තමා කාර්යාලයට යන්නේ.’ ඔහු සිය පුහුණුවීම් කාලසටහන සම්බන්ධයෙන් හෙළි කළේය.

බිරිය මුලින්ම තෝරා ගෙන තිබුණේ මීටර 100 හා මීටර 200 කෙටි දුර දිවීමි.පසුව ඇයත් දුර දිවීම් වෙනුවෙනුත් පුහුණු වුණා. 1953-සිට 2018 වෙනතුරු ක්‍රීඩාවේ නියැලුණා. ඒ කාලය තුළ රටවල් විසිහතකට පමණ ගිහින් තරග වැදිලා තිබෙනවා. ඒ හැම විදෙස් සංචාරයක් සදහාම මගේ බිරිඳත් මා සමග එක්වුණා.’ ඔහු කියන්නේ රන් රස සේ පෑහෙන සචිත්‍රානන්ද යුවළගේ විවාහය සම්බන්ධයෙනි.

ක්‍රීඩාවේදී ජය හා පරාජය දෙකම ලැබුණා.ඒවා එකසේ විඳ දරා ගත්තා.ක්‍රීඩාවට තියෙන කැමැත්ත ආශාව නිසාම අඛණ්ඩව වසර 65ක් මා මේ ක්ෂේත්‍රයේ නියැළී සිටියා. කොපමණ පුහුණුවීම් කර තිබුණද ක්‍රීඩා පිටිය තුළ ධාවන පථය මත තරඟය ආරම්භ කරන මොහොතේ හිතට බයක් තැති ගැනීමක් දැනෙනවා.ඒක සෑම ක්‍රීඩකයෙකුට ම පොදුයි.

ක්‍රීඩාව අතරතුර ජීවිතයේ විවිධ හැලහැප්පීම් ආවාත් ඒවා අත්දැකීමක් කරගත්තා. අපේ විවාහයෙන් වසර කීපයකට පසුවයි පුතුණුවන් හා දියණිය අපට ලැබුණේ. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේය කරනවා. ඇය අද කැනඩාවේ ඉන්නේ. මගේ එක මිණිබිරියක් විශේෂඥ වෛද්‍යවරියක්.අනෙක් මිණිබිරිය වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක්.’ ඔහු තමන්ගේ පීතෘත්වය සම්බන්ධයෙන් සාඩම්බර හැඟීමෙන් පවසයි.

අද මගේ වයස අවුරුදු අසූ පහක්. මේ ජිවිත ගමනේ ක්‍රීඩාව තුළින් නායකත්වය,හික්මීම,ඉවසීම,සාමූහිකව කටයුතු කිරීම වැනි ගුණාංග රැසක් ඉගෙන ගත්තා.ජීවත්වීම කියන්න දුෂ්කර කාර්යයක්. එතැන.දුක සැප දෙකම තියෙනවා.ඒවාට අපි මුහුණ දුන්නා.’

‘ක්‍රීඩා’ හා සංවාදයට එක්වූ මල්ලිකා සචිත්‍රානන්ද මහත්මිය පැවසූයේ ඇය වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ බවය. ‘මගේ මහත්තය, සචීයි මායිඑකටමයි පුහුණුවීම් කළේ.ඔහු මට ක්‍රීඩාවේ ඉරිදයට යන්න අතහිත දුන්නා. ඒක සුවිශාල සහයෝගයක්. 1972 වසරේ සිට මා ජාතික තලයේ ක්‍රීඩිකාවක්.

ටික කලකට පෙර තරුණ ක්‍රීඩිකාවෝ එක්ක විවෘත ඇවිදිමේ තරගයක ඇවිදලා මීටර් 1500 ඇවිදීමේ තරගයෙන් මම තුන්වැනියා වුණා. එතකොට මගේ වයස අවුරුදු 75යි.එම තරගය විවෘත එකක් නිසා තරගයට සහභාගීවී සිටියේ තරුණියොයි. ඒක මට අමතක නොවන සිදුවීමක්.’ ඇය පවසන්නීය.

ප්‍රවීණයන්ගෙන් මලල ක්‍රීඩා තරගවලින්ද වාර්තා ගණනාවක් තිබෙනවා. 1994 ඉන්දුනීසියාවේ ජකර්තා හිදී පැවති ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 අවුරුදු 55 වයස් කාණ්ඩයේ මා තැබූ විනාඩි 1.07.57 වාර්තාව වසර 25 ක් පුරා නොබිඳුණු එකක්. ඒ දස්කම ගන්න ඩර්වින් පෙරේරා මහතාගෙන් තමයි පුහුණුවීම් කළේ. නමුත් මෙරට දක්ෂතම වයස්ගත ක්‍රීඩිකාවට සම්මාන දීමේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට මාව අමතක වෙලා තිබීම කනගාටුවක්. .අද මගේ වයස අවුරුදු 84 ක්.’ ඇය ක්‍රීඩාවෙත පැවසූවාය.

මම නිර්මාංශ යි. එය මගේ ශාරීරික යෝග්‍යතාවයට කිසිදු බලපෑමක් කරලා නෑ. ජාත්‍යන්තර තරග වලට ගියාම නම් ඒක ගැටලුවක්. නිර්මාංශ නිසා ගොඩක් දාට බඩගින්නෙ ඉන්න වෙනවා. සමහර වෙලාවට යාලුවෝ අල,කැරට් වැනි දේවල් තම්බා දුන්නා. අපිට අපේ ජීවිත ගැන සතුටුයි.’ ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

ඡායාරූප - දෙමටගොඩ සමූහ

සිතුම් පීරිස්

Comments