
හිසරදයට කොට්ටය මාරු කිරීමෙන් සුවයක් සලසා ගැනීමට නොහැකිය. එහෙත් ඇතැමුන් හිසරදයට කොට්ටය මාරු කරන්නට දක්වන්නේ දැඩි අභිරුචියකි. එවැනි පුද්ගල ඒකකයන් අතර ප්‍රචලිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් දැක්විය හැකිය. දිර්ඝ කාලයක් තිස්සේ හිසරදයට ප්‍රතිකාර නොකොට කොට්ට මාරු කරන ඔවුහු සුපුරුදු පරිදි පසුගියදා එකී ක්‍රියාවලියේම නිමග්න වූහ.
ඒ අඛණ්ඩව අත්දකිමින් සිටින අසාර්ථකත්වයේ ලජ්ජාව තේරීම් කමිටු සභාපති හා ක්‍රිකට් කළමනාකරුගේ ඉල්ලා අස්වීමෙන් පිරිමසා ගැනීමය.එය ඉතිහාසයේද එලෙසින්ම සිදුවූ හා සිදුකළ පිළිතුරු ගොනු කිරීමකැයි සඳහන් කළ යුතුමය.
‘මම වසරක කාලසීමාවකට තේරීම් කමිටු සභාපති. දැන්ම එතැනින් යන්න උවමනාවක් නෑ. ඒත් ක්‍රීඩා ඇමැතිවරයාට අවශ්‍යනම් ඒ තනතුරිනුත් යන්න සූදානම්.’ යැයි පැවසූ හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ඊට දින කිපයකට පසු තමන් දැරූ සියලු තනතුරුවලින් සමුගත්තේය. ‘ඒක පෞද්ගලික හේතුවක්.’ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරතිබිණි. එහෙත් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව විසින් ලබාදෙන ලද නිර්දේශයන්ට අනුව තේරීම් කමිටුව වෙනස් කළ යුතු බවට යෝජනාවක් පැවැති බව පසුව පැහැදිලි කෙරුණේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත්කරන ලද නිල නිවේදනයකට අනුවය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින්ද ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ ඉවත්වීමට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘ඔබ ලබාදුන් සේවයට ස්තුතියි.’ යැයි පවසමිනි.
එසේනම් දැන් අසුරු සැණින් ක්‍රිකට් අර්බුද සියල්ල නිවාරණය වනු ඇත. හිටපු තේරීම් කමිටු සභාපති සමඟ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට රිංගා තිබූ සියලු අයහපත් බලපෑම් දැන් දූරිංභූත වන්නේ යැයි ප්‍රාර්ථනා තැබිය යුතුය. ඒ බව සනාථ කරමින් දැන් අලුත් ක්‍රිකට් කළමනාකරුවකු ගේ හා තේරීම් කමිටු සභාපතිවරයකු ගේ සේවය සපයා ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් වටින් ගොඩින් තේරීම් කමිටු සභාපතිත්වය සඳහා විවිධ නම් යෝජනා කරමින් සිටී. එය මුට්ටිය දමා බැලීමකි. ඒ අනුව හිටපු ක්‍රිකට් නායක හා වත්මන් ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනගේ නම ද සාකච්ඡා වෙමින් ඇත. මේ අතර පුරප්පාඩු වූ කණ්ඩායම් කළමනාකාර ධූරය සඳහා දැනටමත් තාවකාලික පත්වීමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජෙරම් ජයරත්න පත්කර අවසන්ය.
මෙම යෝජනා හා පත්වීම් අනුව දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් අතපිසදාගෙන තිබේ. පසුගිය කාලයේ ලැබූ පරාජ වැල අමතක කර අනාගතය පිළිබඳ නැවුම් අපේක්ෂා ගොනුකරගන්නට, නව හුස්මක් ලබාගැනීමට මෙම නව පත්කිරීම් හේතු පාදක කරගන්නට දැන් ඔවුන් සූදානම්ය. මීළඟ ක්‍රිකට් නිලවරණය නම් වූ සංක්‍රාන්ති සමය පසුකර යාමට මෙකී පත්වීම් ද්විත්වය පිටිවහලක් කරගන්නට ද දැන් ඔවුනට හැකිය.
මේ වෙනුවෙන් ක්‍රීඩා සභාව, ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කරමින් ඔවුන් බෙල්ලටම හිරවීමෙන් ගලවා ගන්නට ඉදිරිපත්ව ඇත. ඒ ක්‍රිකට් ව්‍යූහය තුළ යම් යම් වෙනස් කිරීම් කීපයක් සිදුකිරීමටද යෝජනා කරමිනි. ඔවුන් එසේ ඉදිරිපත් නොවුණේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ආරූඪවී බිලි පූජාවක් ආරම්භ කරන්නට නියමිතව තිබුණේය. ඒ බිලි පූජාව වෙනුවෙන් ‘පුහුණුකරු,අභ්‍යාසක, පිතිකරණ පුහුණුකරු, පන්දුරැකීමේ පුහුණුකරු ආදී විවිධ තනතුරු දරන පුහුණුකාර මණ්ඩලයේ සාමාජිකයන් දණ්ගෙඩියට යැවීම ඉක්මන් වීමට ඉඩ තිබිණි.
එවැනි බිලි පූජාවන් ක්‍රිකට් පරාජය වෙනුවෙන් යුක්තිය ඉටුකළේ යැයි පවසන්නට ගනු ලබන තීරණ මාලාවක් වීමට නියමිත වූයේය. ක්‍රීඩා සභාව හා ක්‍රීඩා ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එය මෙම මට්ටමින් අවසන් කරගත්තේය.
කෙසේ නමුත් වරින් වර තාවකාලික‘බිලි’ සම්පාදනයෙන් වැටුණු ක්‍රිකට් ක්‍රීඩාව යළි ජාත්‍යන්තර ඉදිරියේ තරගකාරී ස්ථාවරයකට ගෙන ආ හැකිද යන්න සිතා බැලිය යුතුය. අපට වැටහෙන ආකාරයට නම් තාවකාලික ‘බිලි පූජාවන්’ මගින් කිසිසේත්ම එය ලබාගත නොහැකිය. අපට වැටහෙන්නේ සබන් බුබුළු පුම්බා කුඩා දරුවන් සතුටු කරන්නාක් මෙන් තනතුරු කීපයක් වෙනස් කිරීමෙන් ක්‍රිකට් ලෝලියා සතුටු කරන්නට නොහැකිය.
එහෙත් සැබෑ විසඳුම් සොයාගැනීමට හැකිවන්නේ ක්‍රිකට් තරග ව්‍යූහය, ඡන්ද ක්‍රමය, ක්‍රීඩක ගිවිසුම් ආදී සියලු දේ පියවරෙන් පියවර වෙනසකට භාජනය කිරීමෙනි. ආඬි හත්දෙනාගේ කැඳ හැළිය සාදනාකාරයේ ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ ක්‍රියාවලිය පූර්ණ වෙනසකට භාජනය කිරීමෙනි.
කෙසේ නමුත් එය සිදුකළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයකින් තේරී පත්වන නිලධාරී මණ්ඩලයකටය. ක්‍රීඩා ඇමැතිවරයා හා ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් එය පැහැදිලිව තේරුම් ගෙන ඇතැයි අප විශ්වාස කරන අතර මල නොතලා පැණි උරන්නා සේ එය සිදුකළ යුතු බව උදක්ම සඳහන් කළ යුතුය.
සංස්කාරක










