මට වුවමනා නීතිවේදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න | සිළුමිණ

මට වුවමනා නීතිවේදී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න

 

ANUDA jayaweera

ඔබ්සවර්-මොබිටෙල්  ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා

හතළිස් දෙවැනි වතාවට පැවැත්වෙන ඔබ්සර්වර් - මොබිටෙල් ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් මෙවර පිදුම් ලැබීමට නියමිතව ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අනුද ජයවීරය. ඉතා උණුසුම් තරගයකට මුහුණදීමෙන් අනතුරුව ඔහු වසරේ ජනප්‍රියම ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ විණි. මේ ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධවය.

‘මම ක්‍රිකට් පටන් ගත්තේ සචින් ටෙන්ඩුල්කාර් ක්‍රිකට් ගහනවා දැකලා ඇතිවුණු ආස්වාදයට. ඔහු තමයි මගේ වීරයා වුණේ. මගේ තිබුණු මේ උනන්දුව මගේ පියා දැකලා මාව පුංචිම පුංචි කාලෙදිම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකළා. ඒ නිසයි මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ.’ අනුද ජයවීර පැවසූයේ තමන්ගේ ක්‍රිකට් ආරම්භය ගැනය.

ඔහු පවසන ආකාරයට මුලින්ම ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අනුද පෙළඹී ඇත්තේ වයස අවුරුදු හතක් වද්දීය. ‘ පියා මාව එන්.සී.සී. ක්‍රිකට් සමාජයට රැගෙන ගියා. ගිහින් එතැන තිබුණු ඇකඩමියකට ඇතුළත් කළා. එතැන පුංචි ළමයි එක්ක මම සතුටින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඒක තමයි ආරම්භය. ඊට පස්සේ පාසලට ඇතුළු වුණාට පසුව පාසලේ ක්‍රිකට් ඇකඩමියට එකතු වුණා. ඒ නිසා තමයි මම පාසල තුළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් කැපී පෙනෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ මම අවුරුදු 13න්, 15න් වගේම 17න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළා. දැන් මම ඉන්නේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සාමාජිකයෙක් වශයෙනුයි.’ අනුද පවසන්නේය.

‘ක්‍රිකට් වලට ඉස්සර මම තවත් ක්‍රීඩා කළා. ඒ අතර බැඩ්මින්ටන් හා පිහිනුම් ක්‍රීඩා තිබුණා. නමුත් ක්‍රිකට් වගේම අධ්‍යාපනය වෙනුවෙනුත් කාලය බෙදා ගනිද්දී සෙසු ක්‍රීඩා කරන්න කාලය සොයාගන්න අසීරු වෙන්න ගත්තා. ඒ නිසා අනික් ක්‍රීඩා නැවැත්තුවා.’ ඔහු රහසක් හෙළිදරව් කළේ එලෙසිනි.

අධ්‍යාපන කටයුතුවලදී ද ඉදිරියට පැමිණ සිටින ඔහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණේ විශිෂ්ට සම්මාන හතක් සමඟය. ‘දැන් මම උසස් පෙළට ආර්ථික විද්‍යාව, ප්‍රංශ භාෂාව වගේම පරිගණක තාක්ෂණය හදාරනවා. දවසක නීතිවේදියකු වෙන්න මට අවශ්‍යයයි. ඒ වගේම හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නත් මට තිබෙන්නේ පුදුම අවශ්‍යතාවයක්.’ අනුද කීවේය.

ප්‍රංශ භාෂාව තෝරාගැනීමේදී විශේෂයෙන් හේතුවූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ සලකා බැලෙන ඉසෙඩ් අගය බව ඔහු ප්‍රකාශ කළේය. ‘ඒක මට උසස් අධ්‍යාපනයට යන්න පහසුවක් වෙන විෂයක්. එතකොට මට නිති පීඨයටම ඇතුළත් වෙන්න උත්සාහ ගන්න පුළුවන්. කොහොමත් මගේ සිහින අතර නීතිවේදියකු වීම ඉදිරියෙන්ම තිබෙනවා.’ ඔහු පවසන්නේ අපේක්ෂා සහගතවය.

ක්‍රිකට් ක්‍රීඩාව අතහැර දමා වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාම එමගින් අපේක්ෂා කරන්නේදැයි අප විමසූ විට ඔවුහු ‘ක්‍රීඩා’ වෙත පැවසූයේ, ‘නෑ. මට උවමනායි අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒ අතරින් මම කැමති ටෙස්ට් ක්‍රිකට් වලට. මේ වෙනුවෙන් යන්න මාර්ගයක් මම සකස් කරගෙන තිබෙනවා. උදේ පාන්දර 12.30ට නැගිටලා පාඩම් කරන මම පැය එකහමාරක් අධ්‍යයනය කරලා ආපහු නිදාගන්නවා. මම උදේට අවදිවෙන්නේ පාන්දර 5.30ට යි. විනාඩි 30කින් සූදානම් වෙලා පාසලට යනවා. එහෙම තමයි මම පාඩම් වැඩ කරන්නෙ. හවසත් පුහුණුවෙන් පස්සේ අධ්‍යාපන කටයුතු කරනවා.’ අනුද ජයවීර පැවසුවේය.

අපි ඔහුගේ විෂය බාහිර ක්‍රියාකාරම් සම්බන්ධයෙන් විමසූ විට අනූද කීවේ තමන් සංගම් කීපයක සාමාජිකයකු බවය. ‘පාසල් සන්නිවේදන කවයේ ලේකම් මම. තවත් සංගම් කීපයකම සාමාජිකයෙක්. එවැනි සංගම් මට මගේ දක්ෂතා හා හැකියාවන් වැඩිදියුණු කරගන්න ඉවහල් වෙනවා. කොහොමත් අධ්‍යාපනයට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වල නියැලෙන්න අවශ්‍යයි.’ ඔහු කියන්නේ දැනමුතුකමක් වශයෙනි.

වර්තමානයේ ඔහුගේ ක්‍රිකට් වීරයා සචින් ටෙන්ඩුල්කාර්ම දැයි අප විමසූ විට ඔහු කීවේ මෙවැන්නකි. ‘නෑ. දැන් මම විරාත් කෝලිට කැමතියි. ඔහු මගේ ආදර්ශය. ක්‍රීඩාවේදී ඒ වගේ දැඩි ආකර්ශනීය හැසිරීමක් තිබීම වැදගත් කියලයි මම හිතන්නෙ.' ඔහු කීය.

' මට මෙතැනට එන්න උපකාර කළ පිරිස අතර මගේ පාසලේ ගුරුවරුන්, පුහුණුකරුවන්, මගේ මව්පියන් ඉන්නවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් මම යම් සාර්ථකත්වයක් ලබා තිබෙනවා නම් එයට දායක වී ඇති බව කිවයුතුයි. මම ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් ගහනවා, ගෙදර ඉන්නකොට මව්පියන් එක්ක ඉන්නවා. පාඩම් කරනකොට එය තමයි අවංකව කරන්නෙ. යාලුවෝ එක්ක ගනුදෙනු කරන්නත් මට කාලයක් තිබෙනවා. හැමදෙයක්ම තුලනය කරගනිද්දී ජීවත් වෙන්න පහසුයි.’ ඒ අනුද ජීවිතය දකින හැටිය.

‘ඔබ්සර්වර් - මොබිටෙල් සම්මානය කියන්නේ මගේ ජීවිතයේ ලබපු සුවිශාල ජයග්‍රහණයක්. එය මගේ ක්‍රිකට් ජීවිතය තවත් ශක්තිමත් කරනවා.’ ඔහු අවසන් වශයෙන් පැවසීය.

සටහන හා ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments