
අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියකදී ශතක දෙකක් රැස්කළ ප්‍රථම ක්‍රීඩකයා වන්නේ ද බෝයගොඩ ය.
වර්ෂ 2018 සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත මොබිටෙල් ආයතනය සමග එක්ව සංවිධානය කළ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබුවේ මහනුවර ත්‍රිත්ව විදුහලේ හසිත රජින්ද්‍ර බෝයගොඩයි.
ඔහුට පෙර එම සම්මානයෙන් පිදුම් ලත් ත්‍රිත්ව විදුහලේ සෙසු ක්‍රීඩකයින් වන්නේ කෞෂලය වීරරත්න සහ නිරෝෂන් දික්වැල්ල ය. 2018 වසරේ ත්‍රිත්ව විදුහල විසින් දක්ෂතම ශිෂ්‍යයාට ප්‍රදානය කරන ලද රයිඩ් රන් කුසලාන හිමි කරගත්තේ ද බෝයගොඩ විසිනි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 9න් විශිෂ්ට සම්මාන සහිතව සමත් වීමත්, අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් විෂයන් 03 ක් සාමාර්ථ ලබා ගැනීමට සමත් වීම මෙන්ම ක්‍රීඩාවෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතා ද ඔහුට මේ සම්මාන ප්‍රදානයට හේතුවිය.
හසිත බෝයගොඩ ත්‍රිත්ව විදුහලේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්හි නායකයා ලෙස ද කටයුතු කර තිබේ. 2013 වසරේ ඔහු මධ්‍යම පළාත් අවුරුදු 15 න් පහළ කණ්ඩායම මෙහෙයවා ඇති අතර 2016 වර්ෂයේ අවුරුදු 19න් පහළ මධ්‍යම පළාත් කණ්ඩායමේ උපනායකයා ලෙසින් ඔස්ට්‍රේලියාවේ සංචාරයකද නිරතවිණි. ඊට අමතරව අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාව,
ඔස්ට්‍රේලියාව, මැලේසියාව, හා නවසීලන්ත තරග සංචාර සඳහා ද එක්විය.
වයස 17 න් පහළ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩක අනු ශූරතාව 2014 වසරේ දී හිමිකර ගැනීම ඔහු විසින් දිනූ ප්‍රථම ජාතික මට්ටමේ කුසලාන ලෙස සැකේ. ඔහු ත්‍රිත්ව අන්තෝනි තිස්හය වැනි සීමිත පන්දු වාර තරග ඉතිහාසයේ ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ප්‍රථම ක්‍රීඩකයා බවට ද පත්විය. ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ප්‍රථම වතාවට තේරුණු අවස්ථාවේ දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 79ක් ලබා ගැනීමට ද 2016 වර්ෂයේදී නේපාලයට එරෙහිව ලකුණු 82 ක් ලබා ගැනීමට හැකිවීම හසිත බෝයගොඩගේ දක්ෂතා අතර කැපී පෙනුණි.
2018 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 191 ක් ලබා ලෝක වාර්තාවක් පිහිටුවීම ඔහුගේ උපරිම දක්ෂතාවය ලෙස සැලකේ. අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියකදී ශතක දෙකක් රැස්කළ ප්‍රථම ක්‍රීඩකයා වන්නේ ද බෝයගොඩ ය. ඔහු නේපාලයට හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට එරෙහිව එම ශතක දෙක වාර්තා කර ඇත.
හසිත බෝයගොඩගේ මව සහ පියා වන සංජය බෝයගොඩ සහ සුපිපි බෝයගොඩ යන දෙදෙනාම විශේෂඥ වෛද්‍යවරු වෙති. ඔහුගේ පුහුණුකරුවන් අතර හැරල්ඩ් රණසිංහ, ඉන්දික ප්‍රනාන්දු සහ සම්පත් ප්‍රනාන්දු යන මහත්වරු ද වෙති.
දැනට ශ්‍රි ලංකා ක්‍රිකට් මගින් තෝරා ඇති සංවර්ධන සංචිතයට ද තේරි ඇති ඔහු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට යෝග්‍ය ක්‍රීඩකයෙකි. ආර්ථික විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ඔහු මේ වනවිට සිය උපාධියේ අවසන් කාර්තුවේ අධ්‍යයන කටයුතුවල නිරතව සිටී. ඔහුට 'ක්‍රීඩා' සුබ පැතුම්.
මහනුවර ක්‍රීඩා විශේෂ වාර්තාකරු- උපනන්ද ජයසුන්දර










