පිංපොං බෝලයෙන් සත්සමුදුරෙන් එපිට ට පියාඹන්නිය ඉෂාරා | Page 2 | සිළුමිණ

පිංපොං බෝලයෙන් සත්සමුදුරෙන් එපිට ට පියාඹන්නිය ඉෂාරා

ISHARA madurangi

මම කවදාවත් ප්‍රශ්න ඔළුවෙ තියාගෙන ක්‍රීඩා කරලා නෑ.

ඈ දසකයක පමණ කාලයක් අංක 1 ස්ථානය රැකගනිමින් සිටින අතර පළමු වරට ජාතික ශූරතාව හිමිකර ගැනීමට සමත්වූයේ දහ හතර හැවිරිදි වියේ දීය.

‘අම්බලන්ගොඩ මේසපන්දු ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලයි. එම පුරවරයේ පිහිටි ධර්මාශෝක - දේවානන්ද පාසල් ද්විත්වය මෙරට පාසල් අතුරින් මේසපන්දු ක්‍රීඩාවේ අද්විතීය නාමයකි. මේ එම පුරවරයෙන් බිහිවූ විශිෂ්ට මේස පන්දු ක්‍රීඩිකාවක ගැනය.’

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම්.බී. ළහිරු දර්ශික වසර 9ක පමණ කාලයක් පාසල් මේසපන්දු පිටියේ රැඳී සිටියේය. ඔහුගේ වැඩිමහල් නැගණිය මනික්කු බදු ඉෂාරා මධුරංගි ද එම විදුහලේම ශිෂ්‍යයාවක් වූ අතර ළහිරුට වඩා වසර 2කින් ළාබාල දැරිවියක් විය.

එහෙත් කුඩා වියේ සිටම තම වැඩිමල් සොයුරු ළහිරුගේ මේසපන්දු පිත්තට ඈ ඇළුම් කරන්නට විය. ඒ ආදරය කිසිවකුත් නොසිතූ ආකාරයට මෙරට අංක එකේ මේස පන්දු ක්‍රීඩිකාව බවට පත්කරනු ලැබිණි.

ඉෂාරා ගේ ජීවිතය පිළිබඳ කතා කිරීමේ දී ඈ මෙලොව එළිය දකින්නේ 1990 මැයි 27 දා ය. තම සොහොයුරාගේ අඩිපාරේ ගිය ඇයට මේස පන්දු පිටියේ දස්කම් පාන්නට මුල් අඩිතාලම දැමුවේ ප්‍රවීන මේසපන්දු පුහුණුකරුවකු වන ඒ..ඩබ්ලිව්. අනුරලාල් මහතාය. ඔහු මනික්කු බදු පවුලේ ද සාඩම්බර නිල මේස පන්දු පුහුණුකරුවා යනුවෙන්ද හැඳින්වුවහොත් එය වරදක් නොවේ.

මේ අනුව ඇය පළමු විදෙස් තරග සංචාරයට ගියේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්ව සිටියදී ය. ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ආසියානු කණිෂ්ඨ මේසපන්දු ශූරතාව වෙනුවෙනි. එහිදී ශිෂ්‍යභට කේවල කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම ආසියානු පදක්කම තම මව්බිමට දිනා දීමට ඇයට හැකි විණි.

ඉෂාරා දසකයක පමණ කාලයක් තිස්සේ අංක 1 ස්ථානය රැකගනිමින් සිටින අතර පළමු වරට ජාතික ශූරතාව හිමිකර ගැනීමට සමත්වූයේ දහ හතර හැවිරිදි වියේ රැඳෙද්දීය. එය සත්වරක් ජාතික ශූරිය ලෙස අභිෂේක වීමට ඇයට මං පෙත් ගොඩනැංවූයේය.

ඒ අනුව 2004, 2008, 2009, 2010, 2011, 2012 හා 2013 වසරවලදී සත් වරක් ජාතික ශූරතාව හිමිකරගත් ඉෂාරා 2004, 2006, 2009, 2010, 2011 හා 2017 වසරවලදී ජාතික යුගල ශූරතාව ට ද හිමිකම් කීවාය.

2010, 2011, 2012, 2013, 2014, 2016 හා 2017 වසරවලදී ජාතික මිශ්‍ර යුගල ශූරතාව දිනාගත් ඉෂාරා, 2005, 2006, 2007 වසරවලදී ජාතික කණිෂ්ඨ ශූරියද විණි.

2009 වසරේදී පාසලෙන් සමුගත් ඉෂාරාගේ ඊළඟ නවාතැන වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. 2009 අග භාගයේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික සහ අන්තර් ජාතික ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඇයට හැකිවිණි.

2017 වසරේදී වරාය අධිකාරියට එක්වූ ඇගේ ක්‍රීඩා දිවියට වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ලේකම් එස්.ඩී වීරසිංහ මහතාගෙන් ලද සහාය බොහෝ විය.

පාසල් සමයේදී 2006, 2007, 2008 වසර වලදී ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ මේසපන්දු කණ්ඩායමේ නායිකාව ලෙසත්, පාසලෙන් ඉවත්වීමෙන් පසුව රොහාන් සිරිසේන යටතේ පුහුණුව ලද ඉෂාරා මධුරංගි 2009 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික මේසපන්දු කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළාය. ඈ 2015 වසරේදී ජනාධිපති සම්මාන ද දිනා ගත්තාය.

ඉෂාරා මේ වන විට චීනය, ඉන්දියාව, මාලදිවයින, මලයාසියාව, පෘතුගාලය, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, ජපානය, පාකිස්ථානය, බංග්ලාදේශය, රුසියාව, ජර්මනිය, කොරියාව, ප්‍රංශය, ස්කොට්ලන්තය, තායිලන්තය, ඉන්දුනීසියාව,නේපාලය යන රටවල තරග සඳහා සංචාර විශාල සංඛ්‍යාවකට සහභාගිවී ඇත.

ඇය 2019 වසරේ නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක්, මිශ්‍ර යුගල, කාන්තා යුගල සහ කාන්තා කේවල ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට ද සමත්වීම කැපී පෙනෙයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමටත් එහිදී මව්රටට පදක්කමක් දිනාදීමටත් විශාල බලාපොරොත්තුවක් තිබෙන බවත් ඉෂාරා මධුරංගී පවසන්නීය. තමන් පශ්චාත් උපාධියක් හැදෑරිමට අපේක්ෂා කරන බව පවසන ඇය ඉදිරි කාලයේදී හැකිතාක් තම රට වෙනුවෙන් සේවය කිරීම මූලික අභිමතාර්ථය බව පවසන්නේ සතුටිනි.

‘සාමාන්‍ය පෙළ සමත්වෙලා, උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබලා 2009 උසස් පෙළ විභාගයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයට තේරුණත් මම ක්‍රීඩාව නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ගියේ නෑ. එන්.අයි.බී.එම්. හි ව්‍යාපාර කළමණාකරණ උපාධිය සමත් වෙන්න මට හැකිවුණා.

ඇත්තටම රටට ක්‍රීඩා කරලා ලබාගත් ජයග්‍රහණ පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා. මම කැමතියි කණිෂ්ඨ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට උදව් කරන්න. මම කවදාවත් ප්‍රශ්න ඔළුවෙ තියාගෙන ක්‍රීඩා කරලා නෑ.’ ඈ ‘ක්‍රීඩා’ හා සංවාදයේදී වැඩිදුරටත් පැවසූවා ය.

ඉෂානි යද්දෙහි

 

Comments