ගල්ලෑල්ලේ ලියූ බර ඉසිලුමේ නව ශ්‍රී ලංකා වාර්තා සන්නසෙන් පොදු රද මඬුලු අපේක්ෂා දැල්වේ | සිළුමිණ

ගල්ලෑල්ලේ ලියූ බර ඉසිලුමේ නව ශ්‍රී ලංකා වාර්තා සන්නසෙන් පොදු රද මඬුලු අපේක්ෂා දැල්වේ

 

පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩාගාරයේ දී බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා16 ක් බිහි කිරීමට ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙක් පසුගියදා සමත් වූහ.

2021 අප්‍රේල් මස උස්බෙකිස්තානයේදී ක්‍රියාත්මක කෙරෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාව සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණයට සහභාගි වෙමිනි.

එහිදී කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය නියෝජනය කළ දිලංක ඉසුරු කුමාර සහ කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කළ තිලංක විරාජ් පළඟසිංහ නව ශ්‍රී ලංකා වාර්තා 03 බැගින් බිහි කළ අතර කිලෝග්‍රෑම් 87 ට වැඩි බර පන්තිය නියෝජනය කළ පොළොන්නරුව සමාජයේ තිමාලි නෙත්මිණි භාග්‍යා ජනනි හපුතැන්න සහ කිලෝග්‍රෑම් 87 ට අඩු බර පන්තිය නියෝජනය කළ නාවික හමුදාවේ බී. චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා 03 බැගින් බිහි කළහ.

කිලෝ ග්‍රෑම් 102 ට අඩු බර පන්තිය යටතේ චානක පීටර්ස් නව ශ්‍රී ලංකා වාර්තා 02 ක් ද, කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ චින්තන ගීතාල් විදානගේ සහ කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය යටතේ ඉන්දික චතුරංග දිසානායක නව ශ්‍රී ලංකා වාර්තාව බැගින් පිහිටවූහ.

2010 සහ 2014 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආශ්‍රිතව පදක්කම් ලාභී ඇන්ටන් සුදේශ් පීරිස් හට සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම මෙහිදී කැපී පෙණිනි. කොළඹ සිට පුහුණු අභ්‍යාස වල නිරත වන ඇන්ටන් සුදේෂ් පීරිස් මෙවර කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් එස වූ බර එකතුව කිලෝ ග්‍රෑම් 270 කි. ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 120 ක් සහ clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 150 ක් ලෙසිනි.

හංසනී පොදු රද මඬුලු ලෝකඩ පදක්කම ආසන්නයේ

හංසනී ගෝමස් කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර පන්තිය යටතේ ඔසවන්නට සමත්වූ බර එකතුව කිලෝ ග්‍රෑම් 160කි. එම දක්ෂතාව මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමකට ආසන්න දක්ෂතාවකි.

මෙම ඇගයීම් පරීක්ෂණයේදී දිලංක ඉසුරු කුමාර snatch ක්‍රමයට කිලෝ ග්‍රෑම් 111 ක් ද clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 140 ක් ද ඔසවමින් නව වාර්තා 03 ක් බිහිකිරීමට සමත් විය .

තිලංක විරාජ් පළඟසිංහ ට snatch ක්‍රමයට කිලෝ ග්‍රෑම් 119 ක් ද clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 146 ක් ද ලෙස සටහන් කරමින් තවත් නව වාර්තා 03 ක් පිහිටුවීමට හැකි විය. ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 118 clean and jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමින් චතුරංග ලක්මාල් විසින් පිහිටුවා තිබුණු වාර්තා ත්‍රිත්වයක් බිඳ හෙළීමට හැකිවිය.

නව ශ්‍රී ලංකා වාර්තා 02 කට හිමිකම් කියූ ශානක පීටර්ස් clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 170 ක් ද ඔසවන්නට සමත් විය.

කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර පන්තිය යටතේ snatch ක්‍රමයට කිලෝ ග්‍රෑම් 137 ක් ඔසවමින් ඉන්දික චතුරංග දිසානායක සහ clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 171 ක් ඔසවමින් චින්තන ගීතාල් විදානගේ ශ්‍රී ලංකා වාර්තා බිහි කළේය.

බී. චතුරිකා ප්‍රියන්ති ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 85 ක් ද clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 110 ක් ද තිමාලි නෙත්මිණි භාග්‍යය ජනනි හපුතැන්න ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 88 ක්ද clean and jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 112 ක් ද සමඟින් නව ශ්‍රී ලංකා වාර්තා 03 බැගින් බිහි කරලීමට සමත් වූහ.

කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ චතුරංග ලක්මාල් කිලෝ ග්‍රෑම් 252 ක්ද, කිලෝ 109 ට අඩු බර පන්තිය යටතේ සමන් අබේවික්‍රම කිලෝ ග්‍රෑම් 295 ක් ද, කිලෝ ග්‍රෑම් 109 ට වැඩි බර පන්තිය යටතේ චාරුක උෂාන් විදානපතිරණ කිලෝ ග්‍රෑම් 320 ක්ද එසවූවෝය. එමෙන්ම තවත් අනාගත බර ඉසිලීමේ බලාපොරොත්තුවක් ලෙස දැක්විය හැකි චමරි වර්ණකුලසූරිය ඔසවන්නට සමත් වූ බර එකතුව කිලෝ ග්‍රෑම් 166 කි.

 

Comments