කොලනියෙන් රජ මැඳුරට ගිය ගමනේ කතාව | සිළුමිණ

කොලනියෙන් රජ මැඳුරට ගිය ගමනේ කතාව

 

චිරාත් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නම කියැවෙන චරිතයක් විරාත් කෝලි. අසල්වැසි ඉන්දියාවේ ඉන්න කෝලි දුෂ්කර දිවියක් පසුපස දස ප්‍රයාමයක් වැනි වෙහෙසක් විඳලා ක්‍රිකට් ලෝකයේ මතුමහලට නැඟි ජීවන චරිතයක්. ඔහුගේ ජීවිතය ඇසුරේ ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ‘ක්‍රීඩා’ ඔහුගේ ජීවිතය ගැන ඔබට කියන්න හිතුවේ ඒ නිසයි. මේ කෝලිගේ කතාවයි. ඔහුගේ කතාව කියවිය යුත්තේ කුමක් නිසා ද යන්න පළමුවෙන්ම අපි ඔබව දැනුවත් කරනවා. මේ ඒ ඇරඹුමයි.

පසුගියදා ඔස්ට්‍රේලියානු බිමේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති ටෙස්ට් තරගමාලාව සංචාරක ඉන්දීය කණ්ඩායම විශිෂ්ට ලෙස ජය ගැනීමට සමත් වූයේය. එම ජයග්‍රහණයේ අගය තවත් වැඩි කිරීමට ප්‍රමුඛ හේතුවක් තිබිණි. ඒ ඉන්දීය නායක චිරාත් කෝලි නොමැතිව මෙම ජයග්‍රහණය අත්කර ගැනීමය. පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව කෝලි ඉන්දියාවට ගියේය.

ඊට හේතුව වූයේ ඔහුගේ බිරිය වන ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සිය කුළුදුල් දරු උපතට සූදානම්ව සිටි නිසා ය. කෝලි - අනුෂ්කා යුවළගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් මීට දින කිහිපයකට පෙර දියණියක මෙලොව එළිය දුටුවා ය.

එම සතුටුදායක පුවත ඔහු ලොවට හෙළි කළේ ටිව්ටර් පණිවුඩයක් මඟිනි. එමඟින් ඔහු හිතවතුන්ට මෙන්ම ලක්ෂ සංඛ්‍යාත වූ සිය රසික රසිකාවියන්ටත් ස්තුති කළේ ය. ඒ තම පවුල වෙනුවෙන් ඔවුන් යාඥා කරමින් සහ විවිධ අයුරින් දැක්වූ ආදරය වෙනුවෙනි.

ඒ සමඟම ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ වත්මන් වීරයාගේ ජීවිතය සම්පූර්ණ වී ඇත. විවිධ යුගවල දී ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට වීරයෝ සිටියහ. ඊට විජේ හසාරේ, විනෝ මන්කාඩ්, සුනිල් ගවස්කාර්, කපිල් දේව්, සචින් තෙන්දුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි අයත් වෙති. එම පිරිසට මේ යුගයෙන් එක් වන්නේ කෝලිය.

වත්මන් අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩා ලොව විශිෂ්ටතම පිතිකරුවන් සිව් දෙනා අතර කෝලි ප්‍රමුඛය, ප්‍රබලය. ඔහුට අමතරව ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්, එංගලන්තයේ ජෝ රූට් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් ඊට ඇතුළත්ය. ඔවුන් සතර දෙනාම තමන්ගේ රටේ තම කණ්ඩායමේ නායකත්වය දැරුවන් ය. මින් ස්මිත් හැර සෙසු තිදෙනාම වත්මනේත් තම කණ්ඩායමේ නායකයන් ය. ඔවුන්ගෙන් ද තරමක් හෝ ඉදිරියෙන් සිටින්නේ කෝලිය. ඒ ඔහු එක්දින සහ විස්සයි විස්ස තරගවලදී එක මට්ටමින්ම දස්කම් දක්වන බැවිනි.

“හොඳ ක්‍රීඩකයෙක් වීමට ඔබට අවශ්‍ය වන්නේ දක්ෂතාවයයි. නමුත් විශිෂ්ටයෙක් වීමට නම් ඔබට කෝලිගේ ආකල්පය අවශ්‍ය වෙනවා.” මෙසේ පැවසූවේ සුනිල් ගවස්කාර්ය.

තවත් විශිෂ්ට පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක බ්‍රයන් ලාරාත් කෝලිව අගය කර ඇත්තේ, ‘ඔහු විශ්වාස කළ නොහැකි පිතිකරුවෙක්. ඊට වඩා තවත් කිසිවක් ඔහු ගැන පවසන්න අවශ්‍ය නැහැ.

ඕස්ට්‍රේලියානු හිටපු නායකයකු මෙන්ම ජනප්‍රිය රූපවාහිනී ක්‍රිකට් විචාරකයෙකු වන ඉයන් චැපල් විසින් කෝලිව මෙසේ හඳුන්වයි.’ ‘ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා තමයි විරාත්.’

2018 වසරේ ලෝ ප්‍රකට ටයිම් සඟරාව වාර්ෂිකව තෝරා ගනු ලබන ලොව වඩාත්ම බලපෑමක් කළ හැකි පුද්ගලයින් 100 අතර කෝලිත් සිටියේ ය. මීට පෙර එවැනි මට්ටමක ගත් වූ ක්‍රිකට් ක්‍රීඩකයකු වුයේ නම් ඒ තෙන්දුල්කාර් විය යුතු ය.

ගිය වසරේ ෆෝබ්ස් සඟරාව විසින් ලොව ධනවත්ම ක්‍රීඩකයන් 100 තෝරා ගත් විටදී කෝලිට 06 වැනි ස්ථානය හිමි විය. එම පිරිසට අයත් වූ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වූයේත් කෝලි ය. එහිදී ඔහුගේ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 26 ක් විය. ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ලොව ධනවත් ම ක්‍රීඩකයා වශයෙනුත් කෝලිව හැඳින්විය හැකි ය. කෝලි ක්‍රිකට් පිටිය තුළ දී දැඩිව තරග කරයි. එමෙන්ම පුණ්‍යාධාර කටයුතුවලත් නිරත වෙයි. එමෙන්ම ඔහුගේ බිරියත් ජනප්‍රිය තරුවක් නිසා ඔවුහු නිතරම මාධ්‍යයන් තුළ පුවත් මවති.

අද ඔහු ධනවතෙකි. ජනප්‍රිය චරිතයකි. ඇතැමුන්ට වීරයෙකි. එසේ වුවත් ඔහුත් සෑම දෙනා මෙන්ම සිය ජීවිතය ඇරඹුවේ සාමාන්‍ය ආකාරයටය. නමුත් සිය හැකියාවත් කැපවීමත් තුළින් හෙතෙම සිය ජීවිතය ජය ගැනීමට සමත් වූයේ ය.

ක්‍රීඩාවෙන් ජීවිතය ජය ගැනීම කළ යුතු වන්නේ කුමන ආකාරයකින් දැයි දැන ගැනීමටත් කෝලි ගේ ජීවිතය ඇසුරෙන් නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි ය.

එහිදී අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩා තරුවක් බවට පත් වීම කෙතරම් අසීරු දැයි දැන ගැනීම ද පුළුවන. එපමණක් නොව ජයග්‍රහණයන් උදෙසා කුමන ආකාරයේ කැප කිරීම් කළ යුතුදැයි කෝලිගේ ජීවිතය තුළින් මනාව අවබෝධ කර ගත හැකි ය. එහෙයින් කෝලිව කියවන්න එන්නැයි ක්‍රීඩා ඔබට ඇරැයුම් කරන්නේ විවෘත ආරාධනාවක් ආකාරයටය.

ලබන සතිය -කෝලිගේ ළමා විය.

Comments