කඩුගන්නාවේ වෙල් එළියේ සිදුකළ ගොන් පොර | Page 2 | සිළුමිණ

කඩුගන්නාවේ වෙල් එළියේ සිදුකළ ගොන් පොර

 

මී ගොනා සටනට පුරුදු කරන්නේ උගේ වයස අවුරුදු තුන පමණ කාලයේ ඉඳලයි. මේ කාලෙදි පොරයට යන මිගොනා හුදකලාවේ තබනවා. ඒ කාලේ උගේ බෙල්ල ක්‍රමයෙන් මහත්වෙන්න ඉඩ දෙනවා.

සාමාන්‍යය ගොන්නු වගේම, මීගොන්නු පුහුණු කරන කාලයේදී කරේ ලොකු කොටයක් බඳිනවා. 'පුරු' කියලා කියද්දී පුහුණු කරන පොර ගොනා පස් කණ්ඩියකට තම අණින් ඇන සටන් කරන්නට පුහුණු වෙනවා. පොර හරක් ගොනකු කොතරම් නපුරුදැයි පවසනවා නම් උන් දෙන්නෙක් එකිනෙකාට දකින්න පුළුවන් ආකාරයට බැඳ තියන්නෙවත් නෑ. එහෙම බැඳලා තිබ්බොත් එකිනෙකා පොර වදිනවා. එහෙමත් නැත්නම් කෑම නොකා ඉඳලා කෙසඟව ශක්තියෙන් පිරිහෙනවා. ඒක වෙන්නේ උන්දෙන්නා තුළ හටගන්නා නොසන්සුන් බව හේතුවෙනුයි.

මෙහෙම පුහුණු කරන පොර ගොනුන්ගේ අං තුඩු මෙලෙක් කරන්න තෙත රෙදිකඩකින් වසා බැඳ තබනවා. පස්සේ වීදුරු කැබැල්ලකින් සූරලා උල් කරනවා. ගොනා පොරට යවන්න ඉස්සෙල්ලා බෙල්ල යට පැඟිරි තෙල් හරි වදමල් යුෂ හරි පිරිමදින්නේ ඌ අවුස්සන්නයි.

තණකොළ කටගාමින් එකිනෙකාට ළංවෙන පොර මීගොං හොස්ස අහසට යොමුකරලා එක් අඟක් අනිකට පහත්වන සේ පිට දිහාට නමාගෙන ප්‍රතිවාදී ගොනා දිහා සටනට ආරාධනා කරමින් බලනවා. ඊට පස්සේ උන් එකිනෙකාට රෞද්‍ර ආකාරයට ගොරවා ගන්නවා. ඊට පස්සේ එකිනෙකා දෙසට වේගයෙන් පනින්නේ අනෙකාගේ පපුවට ඇණ තුවාල කරන්න තරම් දැඩි ආවේගයෙනුයි. සටන අවසන් කෙරෙන්නේ ඒ ආකාරයටයි.

මෙහෙම පොර වදින මී ගොනුන්ගේ අං ගැටෙන හඬ යාර සිය ගණනක් උඩට ඇසෙනවා. මේ විධිහට සටන දිග්ගැසෙද්දී උන්ගේ කන් පිටිපස්සේ එහෙමත් නැත්නම් බෙල්ලේ පැලුණු සලකුණු මතු වෙනවා. උන් එකිනෙකාට මුළු වැරයොදා පහර දෙන නිසා ඇතැම් වෙලාවට හිස් කබල මුල පිපුරුම් ඇතිවෙන අවස්ථා වැඩිපුර දකින්න පිළිවන්. ඇත්තටම කියනවා නම් මේ සටන් තුළින් මතුවන්නේ තරමක් ම්ලේච්ඡ ස්වභාවයක්. නමුත් ඉපැරණි සටන් ක්‍රීඩා සම්බන්ධයෙන් මානව සමාජය තුළ තිබුණු කියැවීම තමයි ඒවිධිහට දිස්වෙන්නේ.

එක් මී ගොනකු එල්ල කරන පහර හරවලා තමා ළඟ තියෙන ගසකට ඒ වේග ප්‍රහාරය හරවලා යවන අවස්ථාත් දැකිය හැකියි. මේ ගොන් පොර අවසන් වෙන්නේ බෙල්ල බිඳීමෙන් හෝ අං කැඩීයාමෙනුයි. උන් අතර ඇතිවන සටනක් පැයක් එහෙමත් නැත්නම් පැය හතරක කාලයක් පවතිනවා. එවැනි පොර ගොන් සටනක් ඇරඹුණාට පසුව ඒක නවත්වන්න නම් කිසිම ජගතකුට ලෙහෙසි නෑ. ගිනි තැබූවත් උන් සටන අවසන් කරන්නේ නෑ. එහෙත් ඒවගේ සටන් අවසන් කරන්න යොදාගන්නේ සියුම් කෙඳි හෝ සියුම් ලී කැබැල්ලකින් නාසය හරි කන් සිදුරුවලට හරි දමා කරැකැවීමයි. එතකොට ඔවුන් සටන නවතා එතැනින් පළායනවා.

ඒ වගේම යම් සටනක් තුළ පොරවැදී ඉන්න ගොනෙක් වලිගය කෙළවර කරකවනවානම් ඒකෙන් කියැවෙන්නේ ඒ පොර මීගොනා පරාජය වුණා කියන එකයි. පරාජිත මීගොනා ජයග්‍රාහී මීගොනාට පහරක් එල්ල කරලා පළායනවා. ජයගත් මීගොනා කරන්නේ පරාජිතයා පසුපස ලුහුබැඳ ගිහින් පිටුපස ගාත් මැද්දට පහරදීලා යටි බඩ පලා දාන්න උත්සහ කරන එකයි. ඒත් පරාජිත මීගොනා කරන්නේ මිනිස්සු ඉන්න ප්‍රදේශයකට දිවැවිත් ඉන් බේරීමට උත්සහ ගන්නවා.

අඩසියවසකට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ප්‍රදේශයේ කුඹුරුවල අස්වැන්න නෙලා අහවර වෙද්දී මීගොන් පොර පවත්වා තිබුණා. ඒ මාර්තු හා අප්‍රේල් මාසවලදීයි. ඒ බව පණ්ඩිත මොරගොල්ලේ ජිනරතන නාහිමියන් පවසනවා. ඒ වගේම මීගොන් පොරවලටත් අශ්ව රේස් වගේ ලොකු ලොකු මුදල් ඔට්ටු තබා තිබෙනවා.

මේ විධිහේ මීගොන් පොරවලින් පසුව තුවාල ලබන ගොනාට ඇතිවන තුවාලවලට ලබාදෙන පිළියම් විවිධාකාරයි. පොදුවේ කරන්නේ තුවාල සෝදලා තෙත මාත්තු කර ඌරු තෙල් ආලේප කරන එකයි. ඊට පස්සේ කහ අවුන්ස 12ක් ගොරක ගෙඩිවල වියලි පොතු 12ක් වියලි මිරිස් අවුන්ස 2ක් ඒ හා සමානව ගම්මිරිස් අරගෙන කුඩුකරලා තුවාලයට දානවා.

තුවාල පැසවලා ඉහඳ ගසා තිබෙනවා නම් ඒ කියන්නේ පණුවෝ ගහලා තිබෙනවා නම් හුඹස් මැටි දෙහි ඇඹුලෙන් අඹරලා තුවාලයේ මැටි ගසනවා. පහුවදාට ඒ මැටි අයින් කරලා ඌරු තෙල් ගාලා පළමුවැනි බේත්කුඩ ආලේප කරනවා. මේ වගේ තුවාලවලට දුම්මල කුඩු ඉහින එක, මඩේ ලගින්න සලස්වන එක, කොහොඹ තෙල් ගාන එක තමයි ප්‍රතිකර්ම හැටියට සිදුකරන්නේ.

 

 

Comments