
DAN lawrence
ඩෑන්ට දැන් අභියෝගයක් තිබේ. එනම් ඔහු ලැබූ සාර්ථක ආරම්භය දිගටම පවත්වාගෙන යෑමයි.
ඩෑන් සිය පළමු පෙළ තරග වරම් ලබන්නේ 2015 වසරේදී ය. එහිදී ඔහු නියෝජනය කරන්නේ එසෙක්ස් ප්‍රාන්තයයි. සිය දෙවැනි පළමු පෙළ තරගයේදී ම හෙතෙම විශිෂ්ට ශතකයක් (161) රැස් කිරීමට සමත් වූයේ ය. ඒ සරේ ප්‍රාන්තයට එරෙහිව ය. එක්තරා ආකාරයකට එය වාර්තාගත හාස්කමකි.
ග්‍රවුන්ඩ්ස්මන් නැතහොත් පිටිය සකසන්නා යනු ක්‍රිකට් ක්‍රීඩාවේ එක්තරා වෘත්තිකයෙකි. විනිසුරුවා, තීරකයා, පුහුණුකරුවා වැනි විවිධ චරිත හා සසඳන කල්හි පිටි සකසන්නෝ සම්බන්ධයෙන් තැබෙන්නේ අඩු තක්සේරුවකි. ඒ බව වඩාත් තහවුරු කරන්නේ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ගාල්ලේ දී ටෙස්ට් වරම් දිනාගත් ඩෑන් ලෝරන්ස් යනු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් පිටි සකසන්නකුගේ පුත්‍රයකු බව මාධ්‍යයේ සඳහන් වීමත් සමඟය. මේ ඩෑන්ගේ ටෙස්ට් වර්ණ දිනාගැනීම දක්වා පැමිණි ගමනේ වර්ණවත් පරිච්ඡේදයක් ය.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය ටෙස්ට් තරගමාලාව මේ වන විට ඇරඹී අවසන්ය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව එම සාර්ථකත්වය තව දුරටත් ඉදිරියට ගෙන යෑම සංචාරකයන්ගේ බලාපොරොත්තුව වී තිබේ.ඒ වෙනුවෙන් ඔවුන් දැඩි සහයක් පතන පිතිකරුවකු වශයෙන් ඩෑන් ලෝරන්ස් දැක්විය හැකිය.
ඩෑන් යනු 23 හැවිරිදි දකුණත් පිතිකරුවෙකි. ඔහු සිය ටෙස්ට් වරම් ලැබුවේ මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී ය.
සිය පළමු ඉනිම ඔහු සැමරුවේ අර්ධ ශතකයකිනි. ඒ ශතකයකට ලකුණු කීපයක් අඩුවෙනි. හරියටම කියන්නේ නම් ලකුණු 73 ක් රැස් කරමිනි. එම ඉනිමේදීම නායක ජෝ රූට් සමඟ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඩෑන් ලකුණු 173 ක සබඳතාවයක් පිහිටු වූයේ ය.එය එංගලන්ත ඉනිම සවිමත් කළ සම්බන්ධතාවක් යැයි කිවහැකිය. දෙවැනි ඉනිමේදී හෙතෙම නොදැවී ලකුණු 21ක් රැස් කළේ එංගලන්ත ජයග්‍රහණය තහවුරු කරමිනි.
එම තරගයේ දී ඔහු වඩාත් කැපී පෙනුණේ දඟ පන්දු යවන්නන්ට සාර්ථකව ක්‍රීඩා කළ පිතිකරුවකු ලෙසය. දෙවැනි තරගයේ දී නම් හෙතෙම අසාර්ථක විය.
ඩෑන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමුකරන්නේ නම් ඔහු සැලකිය හැක්කේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයන් අතර 697 වැනියා වශයෙනි. ඔහුගේ සම්පූර්ණ නම ඩැනියෙල් විලියම් ලෝරන්ස් ය. ඩෑන් උපන්නේ 1997 වසරේ ජූලි 12 වැනිදා ය. දකුණත් පිතිහරඹයට අමතරව දකුණතින් සිට දඟ පන්දු යැවීමටත් ඔහු සමත් වීමද ඩෑන් සතු සුවිශේෂත්වයකි.
කුඩා කල සිටම ඔහුට ක්‍රිකට් පිටිය යනු ආගන්තුක තැනක් වූයේ නැත. ඒ ඔහුගේ පියා වන මාර්ක් ‘චින්ගිෆර්ඩ් ක්‍රිකට් සමාජයේ’ පිටි සකසන්නා වීම නිසාය. එසෙක්ස් ප්‍රාන්තයේ ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් සමාජය ලෙස සැලකෙන්නේ චින්ග්ෆර්ඩ් ය.
“මට ඩෑන් ගැන අපූරු සිදුවීමක් මතක් වෙනවා. එතකොට ඔහුට වයස අවුරුදු 06 ක් හෝ 07 ක් විතර ඇති. දවසක් ඔහු එක්වරම ක්‍රිකට් පිත්තක් අතට ගත්තා.ඒ වෙලාවේදී ඔහුට නියම ආකාරයට පිත්ත අල්ලන ආකාරය ගැන කියලා දෙන්න මම හිතුවා. ඒ වුණත් මාව පුදුමයට පත් කරමින් ඔහු එය හරියටම කළා. ඩෑන් නිදා ගැනීමට ගියේත් අත් ආවරණ සමඟයි. ඒ වගේම සෑම විටම ක්‍රිකට් පිත්ත ඔහු ළඟම තබාගත්තා මට අමතක නෑ.’ යැයි පවසන්නේ ඩෑන්ගේ පියාවන මාර්ක් ය.
එසේ ක්‍රිකට් ආරම්භ කළ ඩෑන් සිය පළමු පෙළ තරග වරම් ලබන්නේ 2015 වසරේදී ය. එහිදී ඔහු නියෝජනය කරන්නේ එසෙක්ස් ප්‍රාන්තය යි. සිය දෙවැනි පළමු පෙළ තරගයේදීම හෙතෙම විශිෂ්ට ශතකයක් (161) රැස් කිරීමට සමත් වූයේ මේ අතරේය.ඒ සරේ ප්‍රාන්තයට එරෙහිව ය. එක්තරා ආකාරයකට එය වාර්තාගත හාස්කමකි. එනම් එංගලන්ත ප්‍රාන්ත ශුරතා තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ළාබාලතමයා බවට පත්වෙමෙනි. එවිට ඔහු පසුවූයේ 17 හැවිරිදි වියේ ය.
එම පිතිහරඹය දුටු ප්‍රතිවාදී කණ්ඩායමට ක්‍රීඩාකළ සුපිරි පිතිකරුවකු ඩෑන්ට අතට අත දෙමින් සුබ පැතීමට අමතක නොකළේ එහි වූ සුවිශේෂත්වය දන්නා හෙයිනි. ඒ අන්කවරකුවත් නොව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ කෙවින් පීටර්සන්ය. ඩෑන්ගේ ක්‍රිකට් ජීවිතයේ ක්‍රිකට් වීරයෙක් වූයේ ද පීටර්සන්ය. අනෙක් වීරයා දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් ය.
මේ අතර 2016 වසරේදී වයස අවුරුදු වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය බංගලාදේශයේ පැවැත්විණි.ඊට සහභාගි වූ එංගලන්ත කණ්ඩායමේ උපනායකත්වය හිමි වූයේ ද ඩෑන්ට ය. එම කණ්ඩායමට ක්‍රීඩාකළ ක්‍රීඩකයන් අතර සෑම් කරන් සහ ටොම් මුවර්ස් ද සිටියහ.
එම තරගාවලියේ ප්‍රථම තරඟයේදීම ඩෑන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූයේ ලකුණු 174ක් රැස් කරමිනි. ප්‍රතිවාදීන් වූයේ ෆීජීය. එය යොවුන් එක්දින ජගත් තරගයකදී එංගලන්ත පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු ගණන ද විණි.
ඩෑන්ගේ හැකියාව තවත් වතාවක් දක්නට ලැබුණු අවස්ථාවක් වූයේ එංගලන්ත ‘ඒ’ කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ය. එහි දී ලෝ ප්‍රචලිත මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔහු විශිෂ්ට ශතකයක් රැස් කළේය. මෙවැනි දස්කම් නිසාම ගිය වසරේ එංගලන්ත ටෙස්ට් සංචිතයට ඔහුව තෝරා ගනු ලැබිණි. එසේ වුවත් නොබෝ දිනකින්ම ඔහුට කනගාටුදායක අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. ඒ ඔහුගේ ආදරණීය මව මිය යැමයි. ‘අම්මා වසර දෙකක පමණ කාලයක් අසනීපයෙන් තමයි හිටියේ. මගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇයත් විශාල සහයෝගයක් ලබාදුන්නා. මේ වන විට ඇය සිටියානම් සෑහෙන සතුට පත් වෙනවා.’ ඩෑන් පවසා තිබුණේ එහෙයිනි.
ඩෑන්ගේ මල්ලී ටොම් ඔහුට වඩා තෙවසරකින් ළාබාලය. ඔහු වෘත්තීය මල්ලව පොර ක්‍රීඩකයෙක්වීම ද ඩෑන්ගේ පවුලේ විශේෂත්වයකි.
එංගලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් හෝ අර්ධ ශතකයක් රැස්කළ පිතිකරුවන් 103ක් සිටිති. ඊට ඩෑන් ලෝරන්ස් ද අයත්ය. එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ සුපිරිතම තරු රැසක් වෙති. ඒ අතරට ඩබ්.ජී.ග්‍රේස්, ජැක් හොබ්ස්, හර්බට් සට්ක්ලිෆ්, වොලී හැමන්ඩ්, ඩෙනිස් කොම්ප්ටන්, පීටර් මේ, ටෝනි ග්‍රේග්, ඩේවිඩ් ගවර්, කෙවින් පීටර්සන්, ඇලස්ටෙයාර් කුක්, ජොෂ් බට්ලර් සහ වත්මන් නායක ජෝ රූට් ද අයත්ය.
මේ අනුව ඩෑන්ටන් දැන් අභියෝගයක් තිබේ. එනම් ඔහු ලැබූ සාර්ථක ආරම්භය දිගටම පවත්වාගෙන යෑමයි. එය එසේ වුවහොත් එහි වාසිය එංගලන්තයට.හිමිවන බව නිසැකය.










