ට්‍රම්ප් යුගයේ පැවති ඇමරිකා - චීන සීතල යුද්ධයට දැන් නැවතීමේ තිත තැබිය යුතු යැයි චීන ජනාධිපති පවසා තිබේ. ඔහු මේ අදහස් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වෙත යොමු කර ඇත්තේ ඩාවොස්හි පැවති ආර්ථික සමුළුවක් අතරතුරදීය.
පසුගියදා ජෝ බයිඩ්න් ඇමරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමත් සමග ලොව පුරා නායකයන්ගෙන් ඔහුවෙත සුභපැතුම් ගලා එන්නට වූ අතර, චීන ජනාධිපති ක්ෂි ජින්ග්පින්ග්ද එළෙස සුභපැතුම් එක්කර තිබේ.
කෙසේ වුවද සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා පසුගිය ට්‍රම්ප් පාලන සමයේදී චීනය සහ ඇමරිකාව අතර පැවති වෙළෙඳ යුද්ධය සිහිපත් කර සිටි අතර එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ එය නව සීතල යුද සමයක් ලෙස හැඳින්විය හැකි බවයි.
එමෙන්ම තවදුරටත් එවැනි යුද්ධයක් පවත්වාගෙන යෑම අනව්‍ය බව පෙන්වා දී ඇති චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ වොෂිංටනය සහ බෙයිජිං අතර මනා සබඳතාවක් ඇති කර ගත යුතු බවයි.
මෙසේ පැවසීමේදී ට්‍රම්ප් පාලනය හෝ බයිඩ්න් පාලනය යනුවෙන් නම් කර නොදැක්වීමට චීන ජනාධිපතිවරයා ප්‍රවේසම් සහගත වූ බව විචාරකයන්ගේ මතය විය.
පසුගිය ට්‍රම්ප් පාලන සමයේදී චීනයට ඇමරිකාවෙන් නොයෙක් තර්ජන එල්ල වූ අතර ඔත්තු බැලීම සම්බන්ධව චෝදනාද එල්ල විය.
එපමණක් ද නොව ඇමරිකාවට චීනයෙන් ආනයනය කළ නොයෙක් භාණ්ඩ සම්බන්ධවද තහනම් පැනවීමට ට්‍රම්ප් පාලනය කටයුතු කර තිබිණි. චීනය ඇමරිකාවේ මේ තර්ජනාත්මක හැසිරීම් සම්බන්ධව ඉතා ඉවසීමෙන් කටයුතු කළ අතර මේ අනුව යළිත් චීන යඇමරිකාව වෙත මිත්‍රත්වයේ දෑත දිගු කර ඇතැයි අනුමාන කළ හැකිය.