
ඉන්දියාව - චීනය
යළිත් මායිමට රණ්ඩු
පසුගිය සතියේදී ඉන්දීය සහ චීන හමුදා සිකිම් ප්‍රදේශයේදී යළිත් ගැටුම් ඇති කර ගත් බව වාර්තා වේ. ඉන්දියානු මාධ්‍ය වර්තා කර සිටියේ දෙපාර්ශ්වයේම සෙබළුන් තුවාල ලැබූ බවයි. ගැටුම් ඇති වී ඇත්තේ උතුරු සිකීම් ප්‍රදේශයේදීය.
පසුගිය වසරේ ජූනි මාසයේදී ද මේ ප්‍රදේශයේ දී මායිම් අර්බූදය මත දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වූ අතර ජීවිත හානිද වාර්තා විය. ඉන්දියා - චීන දෙපාර්ශ්වය ගැටුම් ඇති කර ගන්නා මේ දේශසීමාව කිලෝමීටර් 2500ක දිගින් යුක්තය.
ඇපල් ෆේස්බුක්
ක්ෂණිකව බිඳ වැටිලා
ඇපල් ජංගම දුරකථන ඔස්සේ ෆේස්බුක් භාවිත කරමින් සිටි පාරිභෝගිකයන් රැසකට පසුගිය සතියේදී කිසියම් ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දීමට සිදුවූ බව වාර්තා වේ. ලොව පුරා ඇපල් ජංගම දුරකථන ඔස්සේ ෆේස්බුක් භාවිත කරමින් සිටි පාරිභෝගිකයන්ගේ සබඳතා ක්ෂණිකව බිඳවැටී ඇති අතර ඔවුන්ට යළි සම්බන්ධ වීම සඳහා ස්වකීය තොරතුරු යාවත්කාලීන කිරීමටද සිදුවී තිබේ.
ලෝකයේ රටවල් ගණනාවකින් මෙසේ වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර මේ සඳහා නිෂ්චිත හේතුවක් තවමත් ඔවුන්වෙත ලබා දී නැත.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ලොවපුරා ෆේස්බුක් භාවිත කරන්නන්ගේ සබඳතා බිඳ වැටී ඇති බවට වාර්තා ලැබෙන බවත්, හැකි ඉක්මනින් එම සබඳතා යළි ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. ඒ හැර එසේ වීමට හේතුව කුමක්දැයි නිශ්චිතව පැවසීමට ෆේස්බුක් සමාගමද සමත්වී තිබුණේ නැත.
කොවිඩ් ආසාදිතයන්
මිලියන 100යි
පසුගියදා ලෝකයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ගියේය. ඇමරිකාව වැනි රටවල දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා වාර්තා වන අතර ලොව සමස්ත දෛනික ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා වාර්තා වෙමින් තිබේ. මේ වන විට ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ලක්ෂ 21ක් වශයෙනි.
මේ වන විට ඇමරිකාවේ දෛනික මරණ 2000ක් පමණ වාර්තා වන අතර බ්‍රසීලයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් දෛනික මරණ දහසකට ආසන්නව වාර්තා වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් කල් කොවිඩ් සටහනේ රටවල් රැසකට පහළින් සිටි බ්‍රිතාන්‍ය වේගයෙන් ආසාදිතයන් වාර්තා කරමින් ඉදිරියට පැමිණෙමින් තිබීමයි. මේ වන විට බ්‍රිතාන්‍ය කොවිඩ් සටහනේ පස්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඊට ඉහළින් ඇත්තේ රුසියාව, බ්‍රසීලය, ඉන්දියාව සහ ඇමරිකාව පමණි.
බත් තියන තැනටම කොස්
වසංගතය හේතුවෙන් ලෝකයේ රටවල මිලියන 225ක ජනතාවකට රැකියා අහිමි වන විට ලෝකයේ අති සුළුතරයක් වන බිලියනපතියන්ගේ ධනස්කන්ධය අහස උසට ඉහළ යමින් පවතින බව වාර්තා වේ. වසංගතය හේතුවෙන් ලොව දරිද්‍රතාව දෙගුණයක් බවට පත්වී ඇති අතර නවතම සංඛ්‍යා ලේඛන අනුව තවත් මිලියන 500ක ජනතාවක් දරිද්‍රතා මායිමෙන් පහළට වැටී ඇති බව ද සඳහන්ය. කෙසේ වුවද ලොව බිලියනපතියන් වැඩිවශයෙන්ම අන්තර්ජාල ව්‍යපාරවල නිතර පුද්ගලයන් බැවින් වසංගතයත් සමඟ ඔවුන්ගේ ලාභාංශ ඉතා වේගයෙන් ඉහළ යමින් තිබේ. වසංගතය හේතුවෙන් නිවෙස්වලට සීමා වූ ජනතාව තම දෛනික කටයුතු කර ගැනීමට පවා අන්තර්ජාලය භාවිත කිරීම එයට හේතුව විය.
තානාපති පනී
ක්වේට්හි උතුරු කොරියානු තානාපතිවරයා දකුණු කොරියාවට පළාගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. ඔහු මෙලෙස පලාගොස් ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ වුවද ඒ බව නිශ්චිතව තහවුරු කර ඇත්තේ පසුගියදාය.
තම පවුලේ සාමාජිකයන්ද සමඟ දකුණු කොරියාවට පලාගොස් ඇති මේ තානාපතිවරයා පවසා ඇත්තේ තම දරුවන්ට යහපත් අනාගතයක් උදාකරදීම අරමුණු කර ගනිමින් එසේ කළ බවයි. මීට පෙර 2018 වසරේදී උතුරු කොරියාව නියෝජනය කරමින් ඉතාලියට පත්ව ආ තානාපතිවරයාද දකුණු කොරියාවට පලාගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රථමයෙන් ඔහු අතුරුදන් වූ බවට වාර්තා වුවද පසුව තහවුරු වූයේ ඔහු රහසිගතව දකුණු කොරියාවට පලාගොස් ඇති බවය. තමන් පලා ආ බව පිළිගනිමින් ප්‍රකාශයක් කළ ක්වේට්හි තානාපති ලෙස කටයුතු කළ රියූ හන් වූ වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියානුවන් තම නිදහස පතමින් දකුණු කොරියාවට පලා ඒම කිම් ජොන් අන්ට වැළැක්විය නොහැකි වනු ඇති බවයි.