මෝදි පාල­නය හොල්ලන මඩ සෝදා නොගත් රජ­වරු | සිළුමිණ

මෝදි පාල­නය හොල්ලන මඩ සෝදා නොගත් රජ­වරු

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මේ වන විට තවත් අභියෝගයකට මුහුණ දෙමින් සිටී. ඒ ඉන්දියාවේ ග්‍රාමීය පළාත්වල සිට අගනුවර දක්වා විහිදෙමින්, පැතිරෙමින් පවතින ගොවි විරෝධතා රැලි මාලාවයි. ඉන්දීය ගොවි ජනතාව දහස් ගණනින් මහාමාර්ගවලට පිවිස ආණ්ඩුව කෙරෙහි තම විරෝධය දක්වමින් සිටින්නේ පැතිර යන කොවිඩ් වසංගතය සම්බන්ධව තුට්ටුවකට මායිම් නොකරමිනි. ඔවුන් පවසා සිටින්නේ කෘෂි නිෂ්පාදන අලෙවිය සම්බන්ධව රජය ගෙන ඇති තීරණ තමන්ට අවාසිදායක බැවින්, එම ප්‍රතිසංස්කරණ වහාම ඉවත් කර ගන්නා ලෙසයි.

ඉන්දියාවේ කෘෂි ආර්ථික භෝග නිෂ්පාදනය සාපේක්ෂව පවතින්නේ අවම ප්‍රමාණයකය. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මයෙන් ලැබෙන දායකත්වය අවමය.

එහෙත් කෘෂි නිෂ්පාදන සම්බන්ධව මෙතෙක් පැවති නීති යල් පැනගොස් ඇති බවත්, ඒවා සංශෝධනය කළ යුතු බවත් විද්වතුන්ගේ මතය විය. එය ගොවි ජනතාවගේද මතය වුවද ඔවුන් පවසන්නේ තමන් බලාපොරොත්තු වූ සංශෝධන සිදු වී නොමැති බවයි.

මීට සතියකට පමණ පෙර ඇරඹි මේ විරෝධතා බදාදා වන විට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් දක්වා පරිවර්තනය වී තිබෙණු දැක ගත හැකි විය.

ප්‍රථමයෙන්ම සාමකාමී විරෝධතා පවත්වමින් නගර කරා ඇදී ආ ගොවි ජනතාව පසුව පොලිස් බාධක යෙදීමෙන් පසු තම ට්‍රැක්ටර් සමඟ පැමිණ එම බාධක මැඩලමින් අගනුවර වෙත ගමන් කරන්නට වූහ.

පසුව මේ විරෝධතා පොලීසිය සමග ගැටුම් දක්වා වර්ධනය වූ බවද වාර්තා විය. මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව එක් විරෝධතාකරුවකු මියගොස් පොලිස් නිලධාරීන් 80ක් පමණ තුවාල ලබා තිබේ.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පනවා ඇති නව නීති අනුව තම නිෂ්පාදන අලෙවි කිරීමේදී තමන්ට හෙට්ටු කිරීමේ අවස්ථාව අහිමි වන බව ගොවීන්ගේ චෝදනාව වී තිබේ.

ඉන්දීය ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන රජය මගින් සහතික මිලක් යටතේ මිලදී ගත්තද එය සමස්ත නිෂ්පාදනයෙන් සුළු ප්‍රතිශතයක් පමණක් වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මේ සිදුවෙමින් පවතින්නේ ඉන්දීය ඉතිහාසයේ සිදුවූ අති විශාලතම ගොවි උද්ඝෝෂණය බවයි.

පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ ජනරජ දිනය වූ අතර, එම දිනයේදී ගොවීන් වඩාත් ප්‍රචණ්ඩකාරී වෙමින් පොලීසියට පහර එල්ල කළ බවත්, මාර්ග හරහා දමා තිබූ පොලිස් බාධක මැඬලමින් පොලිස් නිලධාරීන් ට්‍රැක්ටර් මගින් යට කරමින් ගොවීන් ඉදිරියට ගමන් කළ බවත් සඳහන්ය.

ජනරජ දිනයේදී විශේෂ උත්සව සංවිධානය කර පැවති බැවින්, නගරයට නොඑන මෙන් විරෝධතාකරුවන්ගෙන් රජය ඉල්ලා තිබිණි. එහෙත් එම ඉල්ලීම් නොසැලකූ විරෝධතාකරුවෝ පොලිස් මාර්ග බාධක දමා ඇති ප්‍රධාන මාර්ග මගහරිමින්, අතුරු මාර්ග ඔස්සේ නගර කරා ගමන් කර තිබේ. මෙලෙස පැමිණි ගොවීන් අතරින් බහුතරයක් හර්යානා ප්‍රාන්තයෙන් පැමිණි බව සඳහන්ය.

තම නිෂ්පාදන අතරින් අවමයක් සඳහා ලැබෙන සහතික මිල ද නව කෘෂි ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හේතුවෙන් නොලැබී යා හැකි වේ යැයි බියක්ද ගොවීන් තුළ පවතින බවට සාධක ලැබී තිබේ.

කෙසේ වුවද විරෝධතාවන්ට සහභාගී වෙමින් සිටින ගොවීන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් මෙලෙස නගරයට පැමිණෙන්නේ මෝදි පාලනය වෙත ගොවි ශක්තිය පිළිබඳව පණිවිඩයක් ලබා දීමට බවයි.

තවදුරටත් තමන්ට කළහකාරී ලෙස හැසිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, පොලීසිය තමන්ට බාධා නොකළේ නම් කිසිසේත් තමන් ප්‍රචණ්ඩකාරීව නොහැසිරෙන බවත් ගොවීන් වැඩිදුරටත් පවසා තිබේ.

තමන් නරගයට පැමිණීමෙන් මෝදි ආණ්ඩුවට ලබා දීමට බලාපොරොත්තු වූ පණිවිඩය එලෙසින්ම ලබා දුන් බවත්, තමන් යළිත් තම ගොවිබිම් කරා යන බවත් තවත් ගොවීන් මාධ්‍ය වෙත පවසා තිබේ.

 

• ටිරෝනි වෑවලගේ

Comments