බලවත් පුටින්ට බය නැති නවල්නි | සිළුමිණ

බලවත් පුටින්ට බය නැති නවල්නි

ඇලෙක්සි නවල්නි , චෝදනා ප්‍රතික්ෂේප කරන පුටින්

රුසියාව යනු පුටින්ය. එහි දෙකක් නැත. දේශපාලන ප්‍රතිසංස්කරණවලින් බින්දුවට ඇද වැටුණු රුසියාව යළිත් ලෝක බලවතකු වන තෙක් ‘ඔසවාගෙන’ ආවේ පුටින්ය. එහෙත් එසේ වූ පමණට ඔහු රුසියාවේ අයිතිකාරයා වන්නේ නැත. රුසියානු විරුද්ධ පක්ෂයේ ඇලෙක්සි නවල්නි එසේ සිතන්නේය. ඔහු පමණක් නොව රුසියාවේ තවත් දහස් ගණන් ජනතාව ද එසේ සිතන්නේය. එසේ සිතන ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් කරන්නේය. මේ වන විට රුසියාවේ සිදුවෙමින් පවතින දේ සරලව පවසන්නේ නම් පැවසිය යුත්තේ එසේය.

ඇලක්සි නවල්නි රුසියාවේ දේශපාලනයේ සක්‍රිය චරිතයක් වුවද ඔහු කරළියට පැමිණෙන්නේ ඔහුට වස දීමේ සිදුවීමත් සමඟය. ඒ පසුගිය වසරේ අගොස්තු මාසයේදීය.

එම සිදුවීමෙන් ජිවිතය බේරා ගැනීමට සමත් වූ නවල්නි එවකට එතරම් ප්‍රසිද්ධ චරිතයක් නොවීය. එහෙත් එතැන් සිට සිදුවෙමින් යන සිදුවීම් ඔස්සේ මේ වන විට නවල්නි කැරිස්මා ආධිපත්‍යයෙන් යුතු චරිතයක් ලෙස රුසියාවේ පමණක් නොව ලෝකයේ සෙසු රටවලද ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ. එසේ වීමට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ ඔහු ඉතා බලවත් නායකයකු වන පුටින්ට නිර්භයව එල්ල කරන අභියෝගයයි.

ඇලෙක්සි නවල්නි මේ වන විට 44 හැවිරිදිය. දේශපාලනයට පිවිසෙන්නේ 2013 තරම් මෑතකදීය. ආරම්භයේ සිටම වංචා, දූෂණ පිටුදැකීමේ වුවමනාවක් නවල්නි තුළ විය. ඔහු එරට වංචා දූෂණ පිටුදැකීමේ සමූහයේ ආරම්භකයා බවද සටහන් කළ යුතුය.

රට තුළ සිදුවන වංචා දූෂණ පිටු දැකීම අරමුණු කර ගනිමින් ජනතාව සංවිධානය කිරීම දේශපාලනයක් දක්වා විතැන් වූ විට මේ දක්ෂ තරුණයා ‘ රුසියාවේ අනාගතය’ නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නේය. ඒ 2018 තරම් මෑතකදීය. එහෙත් මේ වන විට අති බලසම්පන්න රුසියානු නායක විලැඩිමීර් පූටින්ට මෙලොව මුහුණ දීමට සිටින බලවත්ම සතුරා ඇලෙක්සි නවල්නිය.

මේ වන විට නවල්නි හේතුවෙන් රුසියාවේ මෙතෙක් පැවති සුවදායී නින්ද අවසන් වන බවක් පෙනෙන්නට තිබේ.

නවල්නිට වස දීමේ සිදුවීම වාර්තා වීමෙන් පසුව ඔහු ජර්මනියට රැගෙන යෑමේ අවස්ථාව මේ සියලු සිදුවීම්වල හැරවුම් ලක්ෂ්‍ය ලෙස සටහන් කළ හැකිය.

ජර්මනියේදී ඔහුට වස ලබාදී ඇති බව තහවුරු වූ අතර, එහි චෝදනා ඍජුවම පුටින් පාලනය මත පැටවිණ. එතැන් සිට නවල්නිට විවිධාකාර චෝදනා එල්ල වන්නට වූ අතර අවසන මොස්කව් නුවරින් ඔහුට වරෙන්තුද නිකුත් කෙරිණි.

ආරක්ෂා සහිතව ජර්මනියේ රැඳී සිටියද තම ජීවිත අරමුණ වෙනුවෙන් යළිත් රුසියාවට පැමිණී නවල්නි වහාම අත්අඩංගුවට ගැනීමට මොස්කව් බලධාරින් කටයුතු කළහ. ඒ ඔහුට සහ ඔහුගේ සහෝදරයාට එල්ල වී තිබුණු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි. මේ නඩුව වරක් සමතයකට පත්ව තිබූ නමුත් රුසියානු පාලනය යළිත් එම නඩුව හේතුවක් කර ගනිමින් නවල්නිට සිර දඬුවම් නියම කිරීමට කටයුතු කර තිබේ.

ජර්මනියේ සිට සිය රට බලා පැමිණි වහාම නවල්නි අත්අඩංගුවට ගනු ලැබූ අතර විරෝධතා ආරම්භ වූයේ එතැන් සිටය. නවල්නිගෙ අත්අඩංගුවට ගැනීමත් සමඟ පුටින් විරෝධී රැළි රුසියාව පුරා පැතිර යන්නට වූ අතර, එයට ප්‍රතිචාර ලෙස පොලීසිය මගින් දහස් ගණන් විරෝධතාකරුවෝ අත්අඩංගුවට ගැනීම්ද වාර්තා විය.

මේ වන විට 3500කට අධික විරෝධතාකරුවන් පිරිසක් රුසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුසියාව පුරා නගර 100ක දී පමණ පැවැත්වුණු විරෝධතා අතරිනි. ඒ අතර සිටි නවල්නිගේ බිරිය යුලියා නවල්නියාද අත්අඩංගුවට පත්වූ අතර පසුව ඇය නිදහස් කිරීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබිණි.

කෙසේ වුවද රුසියාවේ පුටින් පාලනය ආරම්භ වූ දා සිට පුටින් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය නවල්නි බව පිළිගැනීමට දැන් සිදු වී තිබේ. මේ සම්බන්ධව මැදිහත් වන බයිඩ්න් පාලනය මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නවල්නි වහා මුදා හැරීමට රුසියාව කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන්ම ඔහු වස දී මරා දැමීමේ ප්‍රයත්නයකින් පසුව ඔහු අත්අඩංගුවේ තබාගැනීම කිසිසේත් නොකළ යුතු බව බයිඩ්න් පාලනයේ නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර ප්‍රකාශිකා ජැන් පැස්කි පවසා තිබේ.

මේ අතර පුටින්ගේ රහසිගත වත්කම් පිළිබඳව නවල්නි සහ ඔහුගේ පාක්ෂිකයෝ හෙළිදරව්වක් කර ඇති අතර එමගින් කළු මුහුද අසල පුටින් සතුව ඇති දැවැන්ත මාලිගාවක් පිළිබඳව තොරතුරු හෙළි කිරීමටද ඔවුහු කටයුතු කර තිබේ.

රාජ්‍ය පාලනයේ අති දක්ෂයකු වන, කිනම් තත්ත්වයක් යටතේ වුව කලබල නොවන පුටින් මේ චෝදනාවට පිළිතුරු ලබා දුන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එරට සිසුන් සමඟ පැවැත්වූ අදහස් හුවමාරුවකදීය.

එහිදී ඔහු පවසා සිටියේ කළු මුහුදු ඉවුරේ පවතින මාලිගය කිසිසේත්ම තමාගේ හෝ තම ඥාතියකුගේ නොවන බවයි. එහෙත් නවල්නි සහ පාක්ෂිකයෝ ඒ සම්බන්ධව චෝදනා එල්ල කරන්නේ සාක්ෂි සහිතව බව පවසති.

කෙසේ වුවද මේ වන විට රුසියානු ජනතාවගේ සහය සිතුවාටත් වඩා නවල්නි දෙසට හැරෙමින් පවතින බව පෙනේ. එමෙන්ම සෙසු ලෝකයේද නවල්නි පිළිබඳ සාකච්ඡාවක් මතුවීම සුළු කොට තැකිය නොහැකිය.

රාජ්‍ය බුද්ධි සේවයේ මෙන්ම, රාජ්‍ය පාලනයේද පුටින් සතු අත්දැකීම් අනුව බැලූ විට නවල්නි ‘ඩේවිඩ්’ කෙනෙකු වුවද ගොලායාත් බිම හෙළුවේ ද එම ‘ඩේවිඩ්ම’ බව වටහා ගැනීමට පුටින් පාලනයට දැන් කාලය එළඹ තිබේ.

Comments