බයිඩ්න්ගේ දිවු­රුම් දීමේ උලෙළෙන් මතුවූ බර්නි සෑන්ඩර්ස් උන්මා­දය | සිළුමිණ

බයිඩ්න්ගේ දිවු­රුම් දීමේ උලෙළෙන් මතුවූ බර්නි සෑන්ඩර්ස් උන්මා­දය

මේ වන විට ලොව පුරා ජනමාධ්‍යවලට වඩා සමාජ මාධ්‍ය ව්‍යප්ත වෙමින් පවතින බව සැබෑවකි. සමාජ මාධ්‍ය තුළ එය භාවිත කරන සියලු දෙනාට තම අදහස් පළකිරීමට හැකිවීම තුළින් ලැබෙන නිදහස පුද්ගලයින් වැඩි වැඩියෙන් සාමාජ මාධ්‍ය භාවිතයට පොලඹවන බව පෙනේ. එමෙන්ම මිනිසුන් අතර ජනප්‍රිය වේ යැයි අනුමාන කළ නොහැකි බොහෝ දේ උන්මාදයක් තරමට ජනප්‍රිය වීමත් සමාජ මාධ්‍ය හේතුවෙන් වන තවත් එක් අතුරු ප්‍රතිඵලයකි. මේ හදිසි ජනප්‍රියත්වය මේ දිනවල ඉතා ප්‍රභලව අත් විඳින පුද්ගලයකු ලෙස ඇමරිකාවේ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් දැක්විය හැකිය.

බර්නි සැන්ඩර්ස් යනු ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයෙකි. සෙනෙට් සභිකයකුද වන ඔහු අවස්ථා කිහිපයකදීම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ද තරඟ වැදුනේය.

බර්නි සැන්ඩර්ස් ගැන ඒ තොරුතුරු එතරම් ප්‍රසිද්ධ නොමැති වුවද උණුසුම් අත්වැසුම් පැලඳි බර්නි සැන්ඩර්ස්ව නම් මේ වන විට මුළු ලොවම හොඳින් හඳුනන්නේය.

පසුගියදා පැවති ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට බර්නි සැන්ඩර්ස්ද සහභාගී වූයේය. ඒ ඉතා සරල ඇඳුමකින්, උණුසුම් කබායකින් මෙන්ම උණුසුම් අත්ආවරණ යුගලක්ද සමඟිනි. දුඹුරු පැහැ සපත්තු දෙකක් සමඟ නිල් පැහැ මුව ආවරණයක්ද ඔහු පැලඳ සිටියේය.

මෙතරම් උණුසුම් ඇඳුම් ඇඳ සිටියද උත්සවය අවස්ථාවේදී අත්වැසුම් පැලඳි තම අත් වඩාත් ආවරණය කරගනිමින් ගුළි ගැසී මෙන් සිටි අතර එය අහඹු ලෙස කැමරාවල සටහන්ව තිබිණි.

නොසිතූ ලෙස බර්නි සැන්ඩර්ස්ගෙ මේ ඡායාරූප ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යප්ත වන්නට වූ අතර, ඔහුගේ රුව විවිධ අවස්ථා අතරට යොදා නොයෙක් හාස්‍යජනක පොස්ටුද නිර්මාණය වන්නට විය. මෙය ලොව පුරා රැල්ලක් බවට පත් වන්නට දින දෙක තුනකට වඩා කාලයක් ගතවූයේ නැත.

ප්‍රථමයෙන්ම මේ හදිසි ජනප්‍රියත්වය සම්බන්ධව බර්නි සැන්ඩර්ස් වැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නට විය. ඔහු පවසා සිටියේ ‘වර්මොන්ට් ප්‍රාන්තයේ වෙසෙන පුද්ගලයන්ට නම් සීතල අමුතු දෙයක් නොවන’ බවයි. එමෙන්ම තමා උණුසුම් අත්වැසුම් ලබා ගත්තේ වර්මොන්ට්හි ගුරුවරියකගෙන් බවද ඔහු සඳහන් කර තිබිණි.

ඒ සමඟින් එකී අත්වැසුම් සාදන ගුරුවරියට වත් අත්වැසුම් ඉල්ලා ඊ මේල් පණිවිඩ දහස් ගණනින් ලැබෙන්නට පටන් ගෙන ඇති බවද වාර්තා වේ. ඒ සම්බන්ධව ජෙන් එලීස් නම් වූ එම ගුරුවරිය පවසා ඇත්තේ තමන් මීට වසර කිහිපයකට පෙර බර්නි සැන්ඩර්ස්ට් එම අත්වැසුම් ලබා දුන් බවත්, තමන්ට එතරම් වේගයකින් අත්වැසුම් නිර්මාණය කළ නොහැකි බැවින් අත්වැසුම් ඉල්ලා සිත් නොරිදා ගන්නා ලෙසත්ය.

කෙසේ වුවද මේ වන විට බර්නි සැන්ඩර්ස්ගේ ඡායාරූපය තවත් විශේෂ අවස්ථාවලට යොදමින් සරල විනෝදයක් ලැබීම ලොව පුරා උන්මාදයක් ලෙස පැතිර යමින් තිබේ.

බර්නි සැන්ඩර්ස් ලෝක ප්‍රකට ගේම් ඔෆ් ත්රෝන්සහි යකඩ සිංහාසනය මත හිඳ සිටින අන්දම මෙන්ම ඔහු සුපර් මෑන් සමග, ස්ටාර් වොස් චිත්‍රපට මාලාවේ ජවනිකාවල පමණක් නොව පෞද්ගලික සාදවල ඡායාරූප අතරද පෙනී සිටින ලෙස සකස් කළ ඡායාරූප මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

පළමුව මේ ඡායාරූප සංසරණය වීම තරමක් කනගාටුවෙන් යුතුව සැලකුවද බර්නි සැන්ඩර්ස්ද තමා වෙත ලැබෙමින් පවතින ජනප්‍රියත්වය දෙස ධනාත්මකව බැලීම ආරම්භ කර සිටියේ තම රුව සහිත උණුසුම් ඇඳුම් නිෂ්පාදනය කිරීම ක්ෂණිකව ආරම්භ කරමිනි.

තමා දැඩි ශීතලෙන් සිටින අන්දම දැක්වෙන රුව සහිත ස්වේටර් කඩිනමින් නිදපවා එකක් ඩොලර් 45කට මිල නියම කරමින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට බර්නි සෑන්ඩර්ස්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේ කටයුතු ආරම්භ කර තිබෙනු දැකගත හැකිය. එමගින් ලැබෙන ලාභය සමාජ සේවා කටයුතු සඳහා යොදවන බවද ඔහු පවසා තිබේ.

කැමරාවක් සහිත ජංගම දුරකතනය තම අතේ තිබෙන තෙක් කාට කිනම් අන්දමේ ප්‍රසිද්ධියක් කොයි ස්ථානයකදී, කිනම් මොහොතකදී හිමිවේදැයි පැවසීමට හෝ අනුමාන කිරීමට නොහැකි බවට හොඳම උදාහරණය ඇමරිකානු සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ය. එමෙන්ම ලැබෙන ප්‍රසිද්ධිය කිනම් අන්දමේ වුවද එය තමන්ට වාසිදායක ලෙස හරවා ගැනීමටද බර්නි සෑන්ඩර්ස් මෙන් දක්ෂ විය යුතු බවද ලියා තැබිය යුතුය.
 

• ටිරෝනි වෑවලගේ

 

Comments