දුක්-සතුටු කඳුළු මැද අවසන් වූ චීනයේ පත­ල් මෙ­හෙ­යුම | සිළුමිණ

දුක්-සතුටු කඳුළු මැද අවසන් වූ චීනයේ පත­ල් මෙ­හෙ­යුම

පතල් කර්මාන්තය යනු ජීවිත හා කෙරෙන සූදුවක් වැනිය. ජීවිතය පරදුවට තබා නිරතවන මේ රැකියාවේදී කොයි මොහොතේ පරාද වේ දැයි දන්නේ නැත. එහෙත් ඇතැම් අවස්ථාවලදී ජීවිතයෙන් පරාද වීමට පැය කිහිපයක් තබා යළිත් සූදුවෙන් දිනන පතල් කර්මාන්ත ශිල්පියෝ සිටින්නෝය. එවැනි කර්මාන්තකරුවන්ගේ අවසන් තත්පරයේ අත්දැකීම් අති බිහිසුණුය. පසුගියදා චීනයේ ශැන්ඩොන්ග් පළාතේ සිදුවූ ඛේදවාචකයද එවැනිය. එහෙත් එහි විශේෂත්වය වන්නේ දුක් කඳුළු මෙන්ම සතුටු කඳුළුද එක්ව පැවතීමය.

චීනය යනු භූමි ප්‍රමාණය අතින් අති විශාල රටකි. එහි නොයෙක් ප්‍රදේශවල පවතින ස්වභාවික සම්පත් භාවිත කරමින් නොකරන නිෂ්පාදනයක් නැති තරම්ය. රත්රන් පතල් කැණීම්ද ඒ අතරට අයත්ය. ශැන්ඩොන්ග් ප්‍රාන්තයේ ක්සිආ පතල යනු චීනයේ රන් නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයකට උර දෙන පතලකි.

පසුගිය ජනවාරි 10වැනිදා මීටර් හයසියයකට අධික ගැඹුරේදී පතල්කරුවන් විසිදෙදෙනකු පණපිටින් වැළලී ගියේ එම පතලේය. එම හදිසි අනතුරට හේතුව වූයේ පොළොව මට්ටමේ සිට අඩි 245ක් ගැඹුරේ පිහිටි පතල් දෝනාවේ සිදුවූ පිපිරුමක් හේතුවෙනි. එම පිපිරීමට හේතුව ලෙස පසුව ප්‍රකාශ වූයේ ඇමෝනියම් වායුව එකතුවීමයි. කෙසේ වුවද මේ පිපිරීම හේතුවෙන් පතල් මුවවිට දක්වා යන මාර්ගය අවහිර විය. එහි ප්‍රතිඵලය වූයේ පතල්කරුවන් 22 දෙනෙකු පිළිබඳ කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි ලෙස සියල්ල අවහිර වීමයි.

පසුගිය ජනවාරි 10වැනිදා සිදුවූ මේ සිදුවීමෙන් පසුව පතලේ සිරවුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා වහාම මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට චීන බලධාරින් කටයුතු කළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිරවුණු කම්කරුවන් හඳුනා ගැනීමට කටයුතු කළ අතර ඉන්පසු ඔවුන් සිරවී සිටින දුර ප්‍රමාණයන් හඳුනා ගැනීමට කටයුතු යෙදීය.

ඒ අනුව කම්කරුවන් 10දෙනෙකු අඩි 600ක් ගැඹුරේත් තවත් එකොළහක් අඩි 720ක් ගැඹුරේත් සිරවී සිටින බව තහවුරු කර ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබිණි. එසේ වුවද මේ කම්කරුවන් තවමත් ජීවත්ව සිටින බවට තහවුරු කර ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබුණේ තවත් දින හතක් ගතවූ පසු එනම් ජනතවාරි 17වැනිදාය. සිරවී සිටින පුද්ගලයන් වෙනුවෙන් වහාම ආහාර, ඖෂධ සහ ඇතිරිලි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා සෙන්ටිමීටර් 71ක පළලින් යුත් සිදුරක් කැණීමට මුදාගැනීමේ කණ්ඩායම් කටයුතු කළ අතර, ඒ සමඟ සිරවී සිටින පුද්ගලයන් සමඟ දුරකථන සබඳතා ඇති කිරීම සඳහා ද කටයුතු යෙදිණි. ඒ විදින ලද සිදුර ඔස්සේ භූගත කරන ලද සන්නිවේදන කේබලයක් ආධාරයෙනි.

කෙසේ වුවද දින කිහිපයක් පුරා දිවා රාත්‍රී නොමැතිව වෙහෙසුණු මුදාගැනීමේ කණ්ඩායම්වලට සතුටුදායක පුවතක් අසන්නට ලැබුණේ පසුගිය 21වැනිදාය. ඒ එතෙක් සිරවී සිටින පුද්ගලයන් අතර සිටින්නේ යැයි මින් පෙර හඳුනා ගැනීමට ලක්ව නොසිටි පුද්ගලයකු අහඹු ලෙස මුදාගැනීමට හැකියාව ලැබීමත් සමඟිනි. මේ පුද්ගලයාගේ තත්ත්වය අතිශයින් අවදානම් මට්ටමක පැවති අතර ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු යොදන ලදී. පසුගිය ඉරිදා දහවල් වන විට තවත් පුද්ගලයන් 10 දෙනෙකු එකවර මුදාගැනීමට මෙහෙයුම් කණ්ඩායම්වලට හැකියාව ලැබුණේ බලාපොරොත්තු මල්ඵල ගන්වමිනි.

එහෙත් තවත් දස දෙනෙකු පතල තුළ සිරව සිටියහ. ඒ නව දෙනෙකු එක් ස්ථානයක සහ එක් අයෙකු තනිවම වශයෙනි. ඔවුන්වද මුදාගැනීමේ කටයුතු ආරම්භ කළද දින දෙකක් ඉක්ම යන විට මුදාගැනීමේ කණ්ඩායම්වලට තහවුරු වූයේ ඔවුන් තවදුරටත් ජීවතුන් අතර නොසිටින බවයි.

කෙසේ වුවද සිරවූ විසිදෙදෙනාගෙන් එකොළොස් දෙනෙකු මුදාගැනීමෙන් සෑහිමකට පත්වීමට මෙවර චීන මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදුවිය. මෙවර එකොළොස් දෙනෙකු වාසනාවන්ත වුවද බොහෝවිට චීනයේ මෙවැනි අනතුරුවලට මුහුණපාන පතල් කම්කරුවන් කිසිවකුත් එසේ වාසනාවන්ත නොවන බව සඳහන් කළ යුතුය. ඒ චීනයේ පතල් අනතුරු යනු අමුතු දෙයක් නොවන බැවිනි.

ආසන්නයේම සිදුවූ අනතුරු සම්බන්ධව සිහිපත් කරන්නේ නම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීද චීනයෙන් මෙවැනි පතල් අනතුරක් වාර්තා වූ අතර එහිදී 16 දෙනෙකු මියගියහ. 2016 වසරේදී චීනයේ පතලක් තුළ ගෑස් කාන්දුවක් සිදුවීමෙන් දුසිම් ගණන් කම්කරුවෝ පතල් තුළ ජීවිතක්ෂයට පත් වූහ. එහෙත් මෙවර ඔවුහු අවම 11 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වූහ.

 

• ටිරෝනි වෑවලගේ

 

 

Comments