ශ්‍රී ලංකා පිතිකරුවෝ සිංහ කොඩිය බිම දමා එංගලන්ත කොඩිය ඔසවති | සිළුමිණ

ශ්‍රී ලංකා පිතිකරුවෝ සිංහ කොඩිය බිම දමා එංගලන්ත කොඩිය ඔසවති

 

තෙවැනි ජෝර්ජ් රජුගෙන් වසර 206කට පසු ජෝ රූට් රජ වෙයි

‘සුද්දා උඩරට ගිවිසුම අත්සන් කරන තුරු රටක් වශයෙන් මහා බිත්‍රාන්‍ය කිරීටයට තමන් යටත් නැතැයි පැවසූ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ එම ගිවිසුම අත්සන් කිරීමට මොහොතකට පෙර ඉංගිරිසි ධජය බිම දමා සිංහ ධජය ඉහළ එසවූහ. ඒ 1815 මාර්තු 02දා ය. පසුගිය සතියේ එනම් 2021 ජනවාරි මාසයේ 24 වැනිදා පන්දුවාර 36ක් අවසන් වීමටත් පෙර තෙවැනි දිනය වනතුරුත් ඉහළ අහසේ අභිමානයෙන් ළෙල දෙමින් තිබූ සිංහ ධජය බිම හෙළා ඉංගිරිසි ධජය ඉහළ නංවන්නට ශ්‍රී ලංකා පිතිකරුවෝ ම ඉදිරිපත් වූහ. (විනිසුරු තීරණ සම්බන්ධයෙන් ද මතභේද පවතී.) ඒ අනුව ශ්‍රී ලංකා බිමේ ටෙස්ට් ජයග්‍රහණයේ රාජකීයත්වය එංගලන්ත නායක ජෝ රූට් සතු විණි. එය සමාන වන්නේ 1815 එනම් මීට වසර 206කට පෙර තෙවැනි ජෝර්ජ් රජු මෙරට සිය කිරීටය යටතට පත්කරගැනීමෙන් අනතුරුව යළිත් වරක් දේශීය ක්‍රිකට් අභිමානය ජෝ රූට් විසින් දිග්විජය කිරීමටය. එය සමකළ හැක්කේ රූට්ගේ රජවීමටය.’

මෙරට පැවැති ටෙස්ට් තරග තුනෙන්ම ජයගත් එංගලන්ත නායක ජෝ රූට් පසු ගිය දා අවසන් වූ තරග දෙකකින් සමන්විත තරගමාලාවේ තරග දෙකම ජයගත්තේ තම නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේදී ලද වාර්තාගත අඛණ්ඩ පස් වන ටෙස්ට් තරග ජයග්‍රහණය ද සනිටුහන් කරමිනි.

නායකත්වයෙන් පමණක් නොව පිතිකරුවෙකු වශයෙන් ද ටෙස්ට් තරගයක ක්‍රීඩා කළ යුතු ආකාරය ඔහු මෙම තරග දෙක තුළ මැනවින් ප්‍රදර්ශනය කළේය.

පසුගිය දකුණු අප්‍රිකාව සමග වූ ටෙස්ට් තරගමාලාවේදී මෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගමාලාවෙන් ද පරාජය වුවේ 0-2 වශයෙනි. ටෙස්ට් තරගයක ඉනිම් දෙකෙන් එක් ඉනිමක මෙරට පිතිකරුවන් වැඩි දෙනෙකු අසාර්ථක වීම පසුගිය තරගවලදී මෙන් ම මෙවර දෙවන හා අවසන් තරගයේදී ද මැනවින් ප්‍රකට වීම පරාජයට ප්‍රධාන හේතුව ය.

එය සමාන කළ හැක්කේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමි වූ අසුව දශකයෙහි තත්ත්වයට ය.

දෙවන ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ ශ්‍රී ලංකා පිතිකරුවෝ වැඩි දෙනෙකු ටෙස්ට් තරගයකට යෝග්‍ය අයුරින් පිත්ත හැසිරවීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයෙන් ලකුණු 381 ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සත්කාරකයෝ සමත් වූහ. ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් ලබද්දී නායක චන්දිමාල්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල මෙන්ම දිල්රුවන් පෙරේරාගෙන් ද සාර්ථක පිතිහරඹයක් දැක ගැනීම යම් අස්වැසිල්ලක් විය.මන්දගාමි එමෙන්ම දඟ පන්දු යවන්නන්ට වාසිදායක කඩුල්ලක 40/06 ලෙස කඩුලු දවාලමින් වේගපන්දු යවන ජේම්ස් ඇන්ඩර්සන් පෙන්නුම් කළේ නිසි එල්ලයකට පන්දු යවන්නේ නම් තණතීරුව ප්‍රශ්නයක් නොවන බව ය. එමෙන්ම මුල් ඉනිමේ දැවී ගිය කඩුලු 10 ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් විසින් දවාලීම තවත් කැපී පෙනුණු කරුණකි.

පළමු තරගයේ මෙන්ම මෙම තරගයේදී ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට තර්ජනයක් වුයේ නායක ජෝ රුට් ය. ලකුණු 186 කින් වාර්තාවූ ඔහුගේ මෙම ඉනිම ද පළමු තරගයේ මෙන්ම ඉතාමත් අගනා ඉනිමකි. නිවැරැදි පන්දුව පමණක් තෝරා බේරාගෙන කිසිදු චකිතයකින් තොරව ඔහු මෙම ඉනිම දියත් කළේ සීරුවෙනි.

ශ්‍රී ලංකාව පැත්තෙන් බැලු කල රූට් ට පිටිය තුළ මුල් ඇදීමට නොදුන්නේ නම් මෙම තරගය ශ්‍රී ලංකාවට වාසිදායක වනු නොඅනුමානය.

එංගලන්ත පළමු ඉනිමේ කඩුලු හතක් දවාගත් ලසිත් ඇඹුල්දෙනිය තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමතක නොවන පන්දු යැවීමක නිරත වූයේ ය. මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ රමේෂ් මෙන්ඩිස් තම මුල්ම ටෙස්ට් ඉනිමේ රෝයි ඩයස්ගේ පරපුරට එක් වුයේ එකම ලකුණක් හෝ ලබා නොගෙන දැවී ගියද පන්දු යැවීම දෙස බලන විට පිට දඟ පන්දු යවන්නෙකු ලෙස හොඳ දඟ කැවීමක් ලබා ගැනීමට සමත්වීම ය. දෙවන ඉනිමේ දවාලීමට අපහසු, ජෝ රූට් ගේ කඩුල්ල බිඳ දැමීමට ඔහු සමත්වීම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමතක නොවන දවාලීමකි.

සිව්වන දින ආරම්භයේදීම එංගලන්ත මුල් ඉනිම අවසන් කළ ශ්‍රී ලංකාව තම දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 37 ක් ඉදිරියෙන් සිටිමින් වාසිදායක තත්ත්වයක් මතය.

මේ අනුව තරගය ජයගෙන තරගමාලාව සමව අවසන් කර ගැනීමේ මහඟු අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට උදාවී තිබිණි. අවශ්‍යව තිබුණේ දෙවැනි ඉනිමේ එංගලන්තයට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමය. නමුත් සිදු නොවූයේද එය ය.

එංගලන්ත දඟ පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යන්නට වූයේ පෙරහරක් ලෙසට ය. එංගලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ මෙරට පිතිකරුවන් විකට්ටුවේ රැඳී සිටිමින් පන්දුවට පහර දෙනු වෙනුවට දඟ කැවීම ඉදිරියේ ඊට එරෙහිව වේගවත් පහරවල් කරා යාමට උත්සාහ ගනු දක්නට ලැබිණි. පළපුරුදු ක්‍රීඩකයන් ද අපරික්ෂාකාරී පහරවල් කරා යොමුවනු දක්නට ලැබුණි.

මෙම පිති හරඹය ගැන එක් විස්තර විචාරකයෙකු ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙන ආකාරය දෙස බලන විට පෙනී යන්නේ තරගය පස්වන දිනය තෙක් ඇදගෙන යනු වෙනුවට සිව්වන දිනයේ ඉක්මනින් තරගය අවසන් කර ගැනීමේ උවමනාවකින් මෙන් තරග වදින බවය. ලසිත් ඇඹුල්දෙනිය හා සුරංග ලක්මාල් නවවැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 48 සම්බන්ධතාවය නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 කට අඩුවෙන් දැවී යන්නට ඉඩ තිබිණි.

ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ සුපුරුදු ඉවසීම රැකගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම විසිකර දැමූ ජයග්‍රහණය අහුලාගනු ලැබූහ.

මේ ජයග්‍රහණය ඉන්දියාව සමඟ තරගාවලිට පෙරහුරුවක්

- ජෝ රූට්

එංගලන්තය විශ්වාසයකින් ඉන්දියාවට ගොඩ බසියි

ශ්‍රී ලංකාවේදී පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින් ලැබූ පන්නරය ලෝක අංක එකේ ඉන්දියාවට අභියෝග කිරීමට විශ්වාසය වැඩිදියුණු කළ බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි.

‘අපට ඉන්දියාවේදි තරග ජය ගැනීමට නම් අපගේ ක්‍රීඩාව ඉහළින්ම කිරීමට සිදුවනවා.

අපට ක්‍රිකට් නොමැතිව දින හතක් හෝ අටක් ගත කළ යුතු වෙනවා. නිරෝධායනය සඳහා දින හයක් සහ තරගාවලියට පෙර ඉතා වැදගත් දින තුනක් තියෙනවා.’ යැයි ද පැවැසීය. බෙන් ස්ටොක්ස් සහ ජොෆ්රා ආචර් නැවත කණ්ඩායමට පැමිණීම තුළින් තවත් ශක්තියක් ලැබී ඇති බව ඔහු පවසයි.

බන්ධුල

රූට්ගෙන් අපි ඉගෙන ගන්න ඕනෑ

– දිනේෂ් චන්දිමාල්

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන ආකාරය ජෝ රූට්ගෙන් ඉගෙනගත යුතු බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කියයි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පූර්ණ පරාජයක් ලැබීමෙන් අනතුරුව ඔහු මේ බව පැවැසීය. රූට් එක් දිවිත්ව ශතකයක් හා ශතකයක් සමගින් ලකුණු 426ක් රැස්කිරීමට සමත් විය.

‘ අපි පසුගිය දින තුනේදී මහන්සි වී වැඩ කළා. නමුත් පිතිකරුවෝ පළමු තරගයේ පළමු දිනයේ සිදුකළ වැරැද්දම දෙවැනි තරගයේදීත් කළා. මෙතැනදී පිතිකරුවන්ට කිසිදු සමාවක් නෑ. රූට් වගේ ඉවසීමෙන් පන්දුවට පහර දෙන්න අපි ඉගෙන ගත යුතුයි. පිතිකරණයේ මූලිකාංගය එයයි. අපි හොඳින් පුහුණුවීම් කටයුතු සිදු කළා. නමුත් එංගලන්තය වැනි හොඳ කණ්ඩායමක් සමගින් ක්‍රීඩා කිරීමට තරම් එය ප්‍රමාණවත් වුණේ නෑ.

 

 

Comments