වොලිබෝල් තේරීම් කමිටුවේ නායක එල්.සී. ඒකනායක ඇගයීමේ උළෙලෙන් | සිළුමිණ

වොලිබෝල් තේරීම් කමිටුවේ නායක එල්.සී. ඒකනායක ඇගයීමේ උළෙලෙන්

 

අන්තර්ජාතික ජයග්‍රහණ රැසක් ලබාගත් නාඋල එල්.සි. ඒකනායක පසුගියදා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙස පත්කරනු ලැබුවේය.

ඒ වසර තිහකට අධික කාල සීමාවක් වොලිබෝල් ක්‍රිඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂකම් වෙනුවෙන් ලබාදුන් ඇගයීමක් වශයෙනි.

එල්. සී. ඒකනායක නිකුල- බිබිල මහ විද්‍යාලය සහ ශ්‍රී නාග ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා 1989 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූවෙකි.

1999 සිට 2002 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන එල්.සි. 2000 – 2001 – 2002 වසරවල පැවැති ජාතික වොලිබෝල් තරගාවලි වල දී දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය ද හිමිකර ගත්තේය.

1998 වසරේ දී ලෙබනන් හි පැවැති ආසියානු සමාජ වොලිබෝල් තරගාවලියේ දී ආසියාවේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි සම්මානය දිනාගනු ලැබීමට ද ඔහු සමත්ව ඇත.

2006 වසරේ දී ශ්‍රි ලංකාවේ පැවැති සාක් ක්‍රිඩා තරගාවලියේ දී රිදී පදක්කම ශ්‍රී ලංකාවට ලබාදුන් කණ්ඩායම නියෝජනය කළ ඔහු වසර 15 ක් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.

ඔහු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල පුහුණුකරුවකු වශයෙන් ද කටයුතු කරන අතර, දැනට මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේ සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවා ද වෙයි.

මෙම අවස්ථාව සඳහා නාඋල නාතිස්ස රජමහා විහාරාධිපති පූජ්‍ය බිබිලේ වජිරඥාන ස්වාමීන් වහන්සේ, නාතිස්ස රජමහා විහාර වාසි හා ප්‍රාදේශිය සභා මන්ත්‍රි පුජ්‍ය නාඋල ඉන්දසාර ස්වාමීන් වහන්සේලා,මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රි හා ලග්ගල ආසනයේ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු හි උප සභාපති තිලක් බණ්ඩාර, නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක (ශ්‍රි ලං පො පෙ) නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.ජි.පි.කේ. රත්නායක, නාඋල ප්‍රාදේශීය සභා මන්ත්‍රි නිමලසිරි බණ්ඩාර (ශ්‍රී ලං නි ප) ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක ප්‍රාදේශිය සභා මන්ත්‍රි ප්‍රියන්ත හේරත්, නාඋල ෆෙන්ස් ක්ලබ් ආයතනයේ සභාපති ආනන්ද බණ්ඩාර හේරත් ඇතුළු සෙසු නිළධාරින්, නාඋල අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක විදුහල්පතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම නාඋල හා මාතලේ ක්‍රීඩා නිලධාරින් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ද එක් ව සිටිය හ.

ඉන්දික අරුණ කුමාර

ඡායාරූප - නාඋල සමූහ

Comments