රජුන් තනන පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ ඉතිහාසයට එබී බලමු | Page 2 | සිළුමිණ

රජුන් තනන පාසල් ක්‍රිකට් සම්මාන උළෙලේ ඉතිහාසයට එබී බලමු

 

මෙවර ඔබ්සවර් මොබිටෙල් සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැති නමුත් එමගින් විශිෂ්ට ක්‍රීඩකයන් බිහිවන බවනම් උදක්ම පැවසිය හැකිය.

1979 සිට 2019 දක්වා ඉකුත් කාලය තුළදී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 41 දෙනෙක් ‘සන්ඩේ ඔබ්සවර්’ පුවත්පතේ මූලිකත්වයෙන් තෝරා ගනු ලැබිණි. ඒ අතරින් දෙවතාවක් මෙම සම්මානයෙන් ඇගයීමට ලක්වුණු ශූරතම ක්‍රීඩකයන් කීපදෙනෙකුම සිටීම විශේෂත්වයකි.

වර්තමානයේ ඔබ්සවර් - මොබිටෙල් ක්‍රිකට් සම්මාන උළෙල පළමු වරට සංවිධානය කළේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ 'ඩේලි නිව්ස්' පුවත්පත අනුග්‍රහයෙනි. එහිදී ප්‍රථම පාසල් ක්‍රිකට් ශූරයා ලෙස සම්මාන දිනාගත්තේ මහනවුර සාන්ත අන්තෝනි විදුහලේ විජේපාල ප්‍රේමරත්න ක්‍රීඩකයාය. ඒ 1956 වසරේදී ය. පසුව එය 'ඔබ්සවර්' පුවත්පත විසින් සංවිධානය කිරීම ඇරැඹුණේය. මේ වර්තමානයේ 'ඔබ්සවර්- මොබිටෙල් ක්‍රිකට් සම්මාන උළෙලේ අසිරිමත් ඉතිහාසය ගැනය

‘සන්ඩේ ඔබ්සවර්’ පුවත් පත මගින් වර්තමානයේ සංවිධානය කරනු ලබන පාසල් ක්‍රිකට් ශූරයින් තේරීමේ තරගය ආරම්භ වුණේ 1979 දී ය. පළමු වරට එහි ශූරයා වශයෙන් සම්මානයට පාත්‍ර වූයේ අද ලොව විශිෂ්ට තරග තීරකවරයකු වන රන්ජන් මඩුගල්ලේය. එම වසරේ කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමේ නායකයා වූ මඩුගල්ලේ පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂ පිතිකරුවකු ලෙස කැපී පෙනිණි. 1979 පැවැති රාජකීය - සාන්ත තෝමස් ශත සංවත්සර තරගයේදී රාජකීය පිලට නායකත්වය දිනා දීමේ ගෞරවය හිමිකරගත්තෙද මඩුගල්ලේ ම ය.

තමාට ලැබුණු වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය තම ක්‍රිකට් ගමනට බෙහෙවින් රුකුලක් වන බැව් එදා රන්ජන් මඩුගල්ලේ ප්‍රකාශ කර තිබුණා මතකය. එය ක්‍රියාවෙන්ද සනාථ වූයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට වරම් හිමිකරගැනීමත්, ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරීම සහ ගෞරවාන්විත තරග තීරකයකු වීමත්ය.

1979 සිට 2019 දක්වා ඉකුත් කාලය තුළදී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 41 දෙනෙක ‘සන්ඩේ ඔබ්සවර්’ පුවත්පතේ මූලිකත්වයෙන් තෝරා ගනු ලැබිණි. ඒ අතරින් දෙවතාවක් මෙම සම්මානයෙන් ඇගයීමට ලක්වුණු ශූරතම ක්‍රීඩකයන් කීපදෙනෙකුම සිටීම විශේෂත්වයකි.

අර්ජුණ රණතුංග (ආනන්ද විද්‍යාලය) 1980 - 1982

රොෂාන් මහානාම (නාලන්ද විද්‍යාලය) 1983-1984

තිලාන් සමරවීර (ආනන්ද විද්‍යාලය) 1994-1995

ළහිරු පීරිස් (සාන්ත පීතර විදුහල) 2004-2005

භානුක රාජපක්ෂ (රාජකීය විදුහල) 2010-2011

චරිත් අසලංක (රිච්මන්ඩ් විදුහල) 2015-2016

1979 සිට 1990 දක්වා පාසල් ක්‍රිකට් ශූරයා ලෙස සම්මාන දිනුවේ අගනුවර පාසල් හි ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ය. ඔවුන් අභිබවා යමින් කොළඹින් පිටත ක්‍රීඩකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් සම්මානයට ලක්වූයේ 1991 වසරේදීය. මහනවුර සාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමට ක්‍රීඩා කළ මුරලි එම පාසල් වාරයේදී විශිෂ්ටතම පන්දුයවන්නාද විය. සම්මාන ලබාගැනීමෙන් පසු මුරලි එදා ප්‍රකාශ කළේ තමාගේ ඉදිරි ගමනට මෙම අගය කිරිම දැඩි ප්‍රාණවත් හැඟීමක් ඇතිකළ බවයි. තමන්ට කඳුරටට විශාල ගෞරවයක් රැගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් ද ඔහු බෙහෙවින් සතුටට පත්වූයේය.

1996 ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලාන දිනා ගත්තේ අර්ජුණ රණතුංගගේ විශිෂ්ට නායකත්වය යටතේය. දෙවතාවක් ‘සන්ඩේ ඔබ්සර්වර්’ ක්‍රිකට් ශූරයාට හිමි සම්මානයට හිමිකම් කියූ අර්ජුන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමට ගන්නා පියවර පැසසුමට ලක් කළේය. ඔහු ආනන්ද විදුහලෙන් ඇරඹි ක්‍රිකට් ගමන මෙරට ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට නායකත්වය සේම අන්තර් සමාජයීය තරග මට්ටමින් ද දුන් දායකත්වය ප්‍රශංසනීය වූවක් විණි.

1996 ලෝක ශූරතාව දිනූ විශිෂ්ටතම ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකුම ‘ඔබ්සර්වර්’ ක්‍රිකට් ශූරයා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. රොෂාන් මහානාම (1983-84), අසංක ගුරුසිංහ (1995), කුමාර් ධර්මසේන (1989), මාවන් අතපත්තු (1990) සහ මුත්තයියා මුරලිදරන් (1991) එම ක්‍රීඩකයින්ය.

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායම් වලට වරම් ලබා සිටින ක්‍රීඩකයින් කීපදෙනෙක්ද මෙම ක්‍රිකට් ශූරයා සම්මානයෙන් පිදුම් ලැබූහ. දිනේෂ් චන්දිමාල් (2009) භානුක රාජපක්ෂ (2010-11), නිරෝෂන් දික්වැල්ල (2012), සදීර සමරවික්‍රම (2014) සහ චරිත් අසලංක (2015-16) එම ක්‍රීඩකයින්ය. මොවුන් අතුරෙන් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩකයෙකි.

වසරේ ක්‍රිකට් ශූරයා සම්මානයෙන් පිදුම් ලැබූ රංජන් මඩුගල්ලේ, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු සහ දිනේෂ් චන්දිමාල් පසුකලෙක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නට තරම් සුදක්ෂ වූහ. 2013 වසරේ මෙම ඔබ්සර්වර් සම්මානයෙන් පිදුම් ලද මොරටුව වේල්ස් කුමර විදුහලෙන් බිහි වූ කුසල් මෙන්ඩිස් වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

කොළඹ පාසල්වලට අභියෝගයක් වෙමින් 1997 ඔබ්සර්වර් ක්‍රිකට් ශූරයා සම්මානය දිනා ගත්තේ පන්නිපිටිය ධර්මපාල විදුහලේ චින්තන ජයසිංහ ය. එදා තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කැපී පෙනුණු චින්තක පාසල් වාරය තුළ ලකුණු දහස ඉක්මවා රැස් කිරීමට සමත්විය. පසුකලෙක තමන් ලැබූ එම සම්මානය සම්බන්ධයෙන් ලියුම්කරු සමඟ අදහස් දක්වමින් කියා සිටියේ එය මිල කළ නොහැකි එකක් බවය. තමාට ක්‍රීඩකයකු සේම පුහුණුකරුවකු වශයෙන් පිටියේ ස්ථාවරවීමට එකී සම්මානය මහත් රුකුලක් වූ බවය.

කොළඹ ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් ක්‍රිකට් ශූරයා සම්මානය රොහාන් වීරක්කොඩි විසින් දිනාගත්තේ 1987 වසරේදී ය. එම විදුහලට එවන් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව එය විණි. ‘මට ඔබ්සර්වර් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නට ලැබුණු අවස්ථාව ඉතා අගනා එකක්.’ යැයි පවසන්නේ පිලිපීනයේ සිට ශ්‍රී ලංකාව අමතමිනි. ඔබ්සර්වර් සම්මාන උළෙලකදී එකවර සම්මාන පහකට හිමිකම් කියූ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා වන්නේ ද ඔහුම ය. වසරේ ක්‍රිකට් ශූරයා, හොඳම පන්දුයවන්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා, හොඳම නායකයා සහ හොඳම පිතිකරුවා අනු ශූරයා යන සම්මාන පහකට හිමිකම් කීවේ එම වසරේදී පෙන්වූ විශිෂ්ට තුන් ඉරියව්වේ දස්කම් මාලාව නිසා ය. මෙම සම්මානනීය වාර්තාව තාමත් රොහාන් නමින් පවතින්නකි.

අවසාන වතාවට ‘ඔබ්සර්වර්’ ක්‍රිකට් ශූරයන් තෝරා සම්මාන ප්‍රදානය කළේ 2019 දීය. එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිස්රාට වසරේ ක්‍රිකට් ශූරයා සම්මානය හිමිවිය. ඔහු අනාගත බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු යැයිද පැවසිය හැකිය. මිස්රා තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු දහස ඉක්මවා රැස්කිරීමට සමත්වීම ද කැපී පෙණේ.

තවමත් මෙවර ඔබ්සර්වර් මොබිටෙල් සම්මාන උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා කවුරුන් ද යන්න ප්‍රකාශයට පත්කර නැති නමුත් එමගින් විශිෂ්ට ක්‍රීඩකයන් බිහිවන බව නම් උදක් ම පැවසිය හැකි ය.

Comments