මාස්ටර් සර් අපිටත් ප්‍රමිතියෙන් යුත් කෘත්‍රිම හොකී පිටියක් දෙන්න | සිළුමිණ

මාස්ටර් සර් අපිටත් ප්‍රමිතියෙන් යුත් කෘත්‍රිම හොකී පිටියක් දෙන්න

හොකී ගැන මෙතෙක් නොකී කතාව-2

කොන්ත්‍රාත්කාරයන්ට අවශ්‍ය ආකාරයට හැදෙන ලංකාවේ හොකී පිටි

‘පසුගිය සතියේ මෙරට හොකී ක්‍රීඩාව වල්වැදෙමින් පවතින ආකාරය පිළිබඳ අපි කතා කළෙමු. දෙවැනි කොටසේදී අවධාරණය කරන්නේ අපටත් ප්‍රමිති සහගත කෘත්‍රිම හොකී පිටියක අවශ්‍යතාව ගැනය.’

 

ආරම්භයේ ස්වභාවික තණ බිස්සේ සිදුකළ හොකී ක්‍රීඩාව 1970 සිට ක්‍රියාත්මක වන්නේ කෘත්‍රිම තණ පලසක් මතය. එකී අත්දැකීම් සැමවිටම පුළුල් කරගැනීමට ශ්‍රී ලාංකේය හොකී ප්‍රජාව තවමත් සිටින්නේ අපේක්ෂාවෙන් දෑස් දල්වාගෙන ය.

අප එසේ කියන්නේ ජාත්‍යන්තර හොකී සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව අන්තර් ජාතික තරගයක් පැවැත් වීමට තරම් සුදුසු එකදු කෘත්‍රිම ක්‍රීඩාංගණයක් හෝ ශ්‍රී ලංකාව තුළ නැති හෙයිනි. මීටර් 91.40 ක් දිග හා මීටර් 55.00 ක පළලකින් යුත් කෘත්‍රිම ක්‍රීඩාංගණයක් නිවැරැදිව සකස් කර ගැනීමේ හැකියාවක් මෙතෙක් හොකී ක්‍රීඩාව පාලනය කළ එකදු බලධාරියකුට හෝ නොතිබීම කනගාටුදායක ය. එයට ඉවහල් වූයේ මෙරට ඉදිවූ කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණ ද්විත්වයම ඉදිකෙරුණේ කොන්ත්‍රාත්කරුවන්ට අවැසි පරිදිය.

1960 දසකයේ දී ලෝකයා කෘත්‍රිම හොකී තණ නිල්ල සම්බන්ධයෙන් අත්හදා බැලුව ද මෙරට පළමු කෘත්‍රිම හොකී තණ පලස ඉදීවි ඇත්තේ 1993 වසරේ දීය. ඒ, රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රය තුළය. දෙවැනි කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය ඉදිවන්නේ මෙරට හොකී පාරාදීසය ලෙස විරුදාවලිය ලැබ ඇති මාතලේ පුරවරයේ ය. 2000 වසරේදී ඉදිකිරීම් ඇරඹුණු මෙම ක්‍රීඩාංගනයේ විවෘත කරන්නේ 2005 වසරේදී යි. "නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර ක්‍රීඩාංගණය" නමින් ඉදිකෙරුණු එකී දෙවැනි කෘත්‍රිම ක්‍රීඩාංගණයේ නාමයට අදත් මාතලේ ප්‍රජාව අතර ඇත්තේ කුළල් කා ගැනීමකි. එය අතිශයින් කනගාටුදායක ය. එහි ප්‍රතිඵලයක් ලෙස කීර්තිමත් මාතලේ හොකී ක්‍රීඩාව වළපල්ලට ගොස් ඇති බවක්ද පෙනෙන්නට තිබේ.

නන්දිමිත්‍ර ඒකනායක ලා හෝ ඒ. පී. බී. හරස්ගම ලා නොවන්නට මෙම ක්‍රීඩාංගණය මාතලේට නොලැබෙන බව ද ඒ අතර සිහි කළ යුතුමය.

මේ අතර ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ නිරතවන පාසල් සංඛ්‍යාව 100 කට වැඩිය. ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 60 කට ආසන්නය. අවාසනාව වන්නේ ඔවුන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි ක්‍රමානුකූල පුහුණු වීමක නිරතවීමට තරම් කෘත්‍රිම ක්‍රීඩාංගණ නොපැවතීම ය. එහි අවසන් ප්‍රතිඵලය වඩා කනගාටුදායක ය. ඒ ඔවුන් හොකී වෙනුවට වෙනත් ක්‍රීඩාවකට යොමු වීමේ අවකාශ දැන් දැන් ඉහළ යමින් ඇති හෙයිනි. එහෙත් එය හොකී ක්‍රීඩාවේ ඉහළ පරිපාලනයට තවමත් නොපෙනීමනම් කනගාටුදායක ය.

බොරළු සහිත පිටියක හෝ කඩතොළු වූ තණකොළ පිටියක හොකී ගසා ජාත්‍යන්තරය ජයගත නොහැකි බව ඔවුහු නොදන්නවා වීම ඊට හේතුවය. එහෙත් මෙම ක්‍රීඩක සහභාගිත්වය වසරින් වසර අඩුවීම අත්දකින්නේ හොකී ක්‍රීඩාවේ බිම්තලයේ නිරතව සිටින හොකී පුහුණුකරුවන්, ක්‍රීඩා භාර ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු කණ්ඩායම් ය. එය සම්මේලනයේ බල පොරයේ නියැලෙන්නෝ නොදැකීම කනගාටුදායක ය. බොහෝවිට ඔවුහු එය නොදැක්කා සේ සිටින්නට උත්සාහ ගනිති.

මාතලේට මෙහෙම වුණේ ඇයි?

ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක පිරිමි හොකී පදක්කමක් දිනාගෙන ඇත්තේ එකම එක වතාවක දී ය. ඒ 2006 වසරේ දී මාතලේ කෘත්‍රිම ක්‍රීඩාංගනයේදී ය. එය මෙරට ඉතිහාසයේ විශේෂ වාර්තාවකි. එමෙන්ම ආසියානු ක්‍රීඩා සමාජයීය පිරිමි හොකී තරගාවලිය පවත්වා ඇත්තේද මෙම මාතලේ ක්‍රීඩාංගනයේ දී ය. එය කොළඹ ක්‍රීඩාංගනයටවත් නොලැබුණු අවස්ථාවකි. එහෙත් කනගාටුව වන්නේ මෙරට ඉදිවූ දෙවැනි කෘත්‍රිම හොකී තණ නිල්ල අද වන විට ඇත්තේ නටබුන් බවට පත්ව ය.

මාතලේ මහ නගර සභාවට වැඩිම ආදායම ලැබුණු ක්‍රීඩාංගණය නන්දිමිත්‍ර ඒකනායක කෘත්‍රිම තණ පළස බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. එහෙත් එහි තණ නිල්ල කඩතොළු වී ආ විට දිගු කල් විසඳුමකට යාමට තරම් නගර සභා බලධාරීන්ට විකල්පයක් නොතිබීම මෙවන් ශෝචනීය තත්ත්වයක් උද්ගත වීමට මුල් වී තිබේ. එහිදී ඔවුන්ට තිබුණු එකම විකල්පය වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිට පැතීම පමණි. එකී පිළිසරණ සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස මාතලේ පුරවරයට අභිමානය කැන්දන් ආ කෘත්‍රිම පළස වෙනුවට දැන් දිස්වන්නේ පිටිය පුරා වැතිර ඇති දැවැන්ත කොන්ක්‍රිට් තට්ටුව පමණි. එමෙන්ම පිටිය පුරා වැවී ඇති තුරුලතා සිහි ගන්වන්නේ ලඳු කැලෑවකි.

මිනිත්තු අනූවක කාලයක් සඳහා රුපියල් 800 ක් වැනි සාධාරණ මිලකට පුහුණුව සඳහා ලබා දුන් මාතලේ කෘත්‍රිම පිටිය නොලැබීමෙන් මෙරට හොකී පාරාදීසය දැන් ඇත්තේ අකර්මන්‍යවී ඇති ස්වභාවයකිනි. පසුගිය යහපාලන රජය යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් වාර්ෂික අයවැය මගින් මාතලේ කෘත්‍රිම ක්‍රීඩාංගනයට වෙන්වූ බව කීව ද එය මාතලේ දේශපාලනඥයන්ගේ කඹ ඇදීම නිසා නොලැබී ගිය බවක් ද පැවසෙයි.

නමුත් ඒ සියලු දුක්ඛ දෝමනස්ස විසඳී වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මාතලේ හොකී සිහිනය යළි ප්‍රකෘතිමත් වනු ඇති බවට මාතලේ දිසාවේ දැඩි විශ්වාසයක් මෝදුවෙමින් ඇත.

එවන් කඩිනම් තීරණයක අවශ්‍යතාව තදින්ම දැනෙමින් ඇත්තේ ස්වභාවික තණ නිල්ලෙන් පෝෂිත ක්‍රීඩාංගනය ද භාවිතා කිරීමේ අසීරුතාවයක් ගොඩනැගී ඇති මොහොතකය.

ඒ මාතලේට අනන්‍ය වූ හොකී ක්‍රීඩාව සඳහා ම වෙන්ව තිබුණු ජාත්‍යන්තරයේ පවා නම කියැවෙන " එඩ්වඩ් ද සිල්වා ක්‍රීඩාංගණය " වෙනත් ක්‍රීඩාවන් සඳහා ලබාදීමට මාතලේ මහ නගර සභා ව තීරණය කර ඇති පසුබිමක ය. එය මෙම ශෝචනීයභාවය තවදුරටත් තීව්‍රකර තිබේ.

ඒ අනුව අද වන විට හොකී ක්‍රීඩාවට වඩා එහි පැවැත්වෙන්නේ වෙනත් සෙල්ලම් ය. එමගින් මාතලේ පාසල් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්ව ඇත්තේ මහත් අසීරුතාවකට යැයි කිව යුතුය. එබැවින් ම ඔවුන්ගේ පුහුණු ක්‍රියාකාරකම් ද දැන් අක්‍රමවත් ය.

ලබන සතියේ - කොළඹින් හොකී කොන් කළ හැටි

 

Comments