
අතීතය විනිවිදුම-7
පරදින ගොනා පොර පිටියෙන් පළා යනවා. ජයග්‍රාහී ගොනා පරාජිතයා පස්සේ යාර විස්සක් විතර ලුහු බඳිනවා.
දෙවැනි රාජසිංහ රජතුමා යුද විරුවෙක්. නිකම්ම නිකං යුද විරුවකු නොව රණ ශූර යුද විරුවෙක්. හැබැයි දෙවැනි රාජසිංහ රජතුමා ක්‍රීඩාවට දැක්වුයේ දැඩි කැමැත්තක්. හරියට ඔහු ක්‍රීඩා ඇමැති කෙනෙක් වගේ. රාජාණ්ඩු පාලනයක් තිබුණත් ජන සහභාගී පාලන ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යන ආකාරයේ ක්‍රීඩා අමාත්‍යාංශයක් වැනි ආයතනයක් රජු සිය අනුග්‍රහයෙන් පවත්වාගෙන ගියේ රටවැසියන් තුටු පහටු කරන්න විය හැකියි. රටවැසියා තුටු පහටු කිරීම අයබදු එක් කිරීමට වගේම පාලනය පහසුවෙන් කරගෙන යාමට ඉවහල් කරගන්න හැකි බව රජු දැනගෙන ඉන්නත් ඇති. මේ ගොන් පොර ක්‍රීඩාව ජන ක්‍රීඩාවක් වූ ආකාරය ගැනයි.
දෙවැනි රාජසිංහ රජු ඉදිරියේ දක්වපු ක්‍රීඩා අතර ගොන් පොර ක්‍රීඩාවට තියෙන්නේ ඉහළ තැනක්. දහ හතර වැනි සියවසේ ලියපු සද්ධර්මාලංකාර ග්‍රන්ථයේ දැක්වෙන්නේ ලංකාවෙ හිටපු ගවයෝ වර්ණ තුනකින් යුක්ත වුණා කියලයි. එක් ගවයෙක් රතු වෙද්දී අනික් ගවයන් කළු සහ සුදු පාට වුණාලු.
මේ අය අතුරින් ගොන් පොරවලට ගත්තේ කොට විශාල අං තියෙන ගවයකුයි. ඒ වගේම කන්දෙක නහර ඉලිප්පිලා තියෙන්නත් ඕනෑ. ඒ වගේම ඒවා කුඩා වෙන්නත් අවශ්‍යයි.
ඌ කොට වු සිරුරකිනුත්, පිරිසිදු සිහින් පාද වගේම වට වුණු කුරකිනුත් සමන්විත වෙන්න වුවමනායි. ගොනාගෙ මොල්ලියට පිටිපස්සෙන් අඟල් හතක් පමණ දික්වුණු ලොම් සුළියක් තිබෙන්නත් ඕනෑ. ඒ වගේම උර පතුවලට පිටිපස්සෙන් මඳක් වල ගැහිච්ච පිට නැවතත් තුනටිය ගාවදී උස් වෙන්නත් වුවමනායි. උන්ව හඳුන්වන්නේ පිටවලයෝ කියලයි. නමුත් මේ පිටවලයන්ට සියලු අංග පෙර කිව්ව ආකාරයට තිබුණත් දිගු වූ ශරීරයක් තියෙන කඳ කොටසක් නම් තියෙන්නම බෑ.
මේ විධිහට පොරට ගන්න පුලුවන් හොඳම පොර ගොන්නු හිටියේ සබරගමුව පළාතෙයි. දැන් පොරට යවන්න ගවයෙක් තෝරාගත්තාට පස්සේ පුහුණු කරන්න පටන් ගන්නවා. එහෙම කරද්දී මුලින්ම මේ ගොනාව හොඳින් නාවලා, කවලා, වැඩ කරවලා, මස් පිඩු පදමට තලලා තෙල් ගාගන්න වෙනවා. ඒ කඳ ශක්තිමත් කරන්නයි.
කෑමට දෙන්නේ ධාන්‍ය කුඩු, කොස්කොළ, තණ කොළ වගේම කොල්ලු කැඳයි. ඒවගේම වරින් වර කටුසු පැටියෙක් ගිල්ලවීමට ද අමතක කරන්නේ නෑ. එය පොර ගොන්නුන්ට ජවය ලැබීමට ඉවහල් වෙනවා කියලා පිළිගැනීමක් තිබුණා. ඊට අමතරව ලුණු තැම්බූ වතුරෙන් හරි කප්පරවල්ලිය ඉස්මෙන් පොර ගොනුන් නහවනවා. ඒ උන්ගේ ශක්තිය වැඩිදියුණු කරන්නයි.
අට්ටික්කා කොළ ඉස්ම පොවලා බට කොළ සහ කොස් කොළ හා කෙසෙල් කඳන් කෑමට දීමත් කළ යුත්තේ උන්ගේ ජවය වැඩි කිරීම සඳහාලු. මේ බව සිංහල ත්‍රාස ජනක ක්‍රීඩා කියන කෘතියේ සඳහන් වෙලා තියෙනවා. අතරින් පතර තෙල් ගාලා මස් පිඩු තලලා, පැනීම හා දිවීම වගේ ක්‍රීඩාවල ඔවුන් යොදවනවා.
දුර්වල ගොන්නු එක්ක මුලදී පොරට යවන්නත් කටයුතු කරනවා. පොරට යවන්න පෙර ලබාදෙන සියලුම ආහාර වියලි ආහාරවීමත් විශේෂයක්. ඒ වගේම පොරයට යන ගොනා කුපිත කරවන්න උගේ තල්ල යටි කොටසේ පැඟිරි මානා තෙල් තවරනවා. පොර ගොනෙක් තමන්ගේ පරාජය පෙන්වන්නේ පොර ඇනගන්න නොහැකි බව පෙන්නලා එහෙමත් නැත්නම් අං එකට ගාවාගෙන නිහඩව ඉන්නවානම් තවත් විධිහකින් ප්‍රතිවාදියා පොර නොදී සිටින්නේ නම් තමයි.
පොරයට යන ප්‍රතිවාදියා දිහාට යනකොට පොර ගොනා කරන්නේ පිඹලා, කුර බිම ඇන අංවල පස් තවරා ගන්න එකයි. ඊට පස්සේ එකිනෙකා වටේ කැරකෙන්නේ බෙල්ල ටිකක් පහළට නවා ගනිමින් වගේම එක අඟක් ප්‍රතිවාදියාට මානා ගෙනයි. එහෙම මානාගෙන ඉන්න අඟෙන් තමයි ප්‍රතිවාදියා ට පහර දෙන්නේ.
අනික් ගවයා කරන්නේ ඒ පහර අඟ දැවටෙන එක වළක්වා ගන්න එකයි.
මේ වෙලාවෙ පොර ගොනුන් දෙන්නාම උත්සහ කරන්නේ එකිනෙකා තල්ලු කරගනිමින් තමන්ගේ බලය වැඩිදියුණු කරගන්න උත්සාහ කිරීමටයි. එහෙම තල්ලු කරලා ප්‍රතිවාදියා උඩුකුරු කිරීමට හරි හිස ඔසවලා තල්ල පල්ලට එහෙමත් නැත්නම් පපුවට හරි අං ප්‍රහාරයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. පුරුදු පුහුණු වුණු පොර ගොනෙක් නම් කරන්නේ ළඟ ළඟ පහර කීපයක් එල්ල කරලා පොර ගොනාගේ හිස ආක්‍රමණය කරලා උගේ අං මුල හිරිවට්ටන එක කිරීමයි.
මී ගොන්නු පොරය නවත්වලා වෙහෙස ඇරලා නැවතත් පොර වදින්න පටන් ගන්නවා. පොරය අවසානයේ වැනි වැනි පැනලා යනවා. කොහොම වුණත් ගොන් පොර පවත්වා ගන්න හැකිවෙන්නේ මිනිත්තු විස්සක් විතරයි. පරදින ගොනා පොර පිටියෙන් පළා යනවා. ජයග්‍රාහී ගොනා පරාජිතයා පස්සේ පන්නාගෙන ගිහින් යාර විස්සක් විතර ලුහු බඳිනවා.
රාජකීය පොර මී ගොං සහ දඩ මී ගොං පට්ටියක් ගැන මග සලකුණ කියන පොතේ සඳහන් වෙලා තිබෙනවා. මේ ගවපට්ටිය හිටියේ මහනුවර. පට්ටියේ පිරිස තමයි එය භාරව සිටියේ. ලංකා මිහරකා ඉන්දියන් මී හරකත් එක්ක සම කළත් උන් දෙවර්ගයක්ලු. හීලෑ මී හරක් වගේම කුළු මී හරක් වර්ගයක් ද සිටිනවා. හීලෑ එකා කුළු මීහරකාට වඩා කුඩායි. ඒ වගේම කොටයි. දකුණු ඉන්දීය මීහරකාගේ අං නිතරම බිමට පාත්වෙලා නෑ. හැබැයි ලංකා කුළු හරකා ටිකක් විතර විශාලයි. දික්වෙච්ච පාදත් තියෙනවා. තඹවන් ලොම් වලින් සමන්විත වෙනවා. දිගට, ශක්තිමත්ව අං වැඩිලා අගින් මඳක් නැමිලා තිබෙන්නේ ඉන්දීය මී ගොනාට වැඩිය කොට වෙන විධිහටයි. පිරිමි සතාගේ බෙල්ලත් හොඳටම වැඩිලා තිබෙනවා.
කාලවර්ණ පාට කඩිසර මී ගොනා බෙරවා කුලේ කියලා හඳුන්වද්දී, කොට පාද ඇති හිස නවාගත් මී ගොනා හඳුන්වන්නේ ඌරු වරිගයේ කියලයි. සිහින් ඇතකුගේ ස්වරූපය ඇති මී ගොනා ඇත් වර්ගයේ කියා කියන්නේ මධ්‍යකාලීන සිංහල පශු වෛද්‍ය ග්‍රන්ථයේ යි. බදුල්ලේ, වෙල්ලස්සෙ මී ගොන්නු මහතින් වැඩිවුණත් උන් පොරයට හරි දක්ෂලු.
සිංහල ගැමියො පොරට සුදුසු මී ගොනා තෝරන්නේ කොහොම ද දන්නව ද? ඇස් රැළි වටකොට තිබෙන්න ඕනෑලු. ඇස් කුඩා වෙන්නත් ඕනෑ. ඒ වගේම ඒවා රෞද්‍රවිය යුතුමයි. හකු විශාලයි, රවුම් හැඩතියි. ඇතුළත තියෙන සුදු ලොම් සහිත කුඩා කන්වල නහර ඉලිප්පෙන්න ඕනෑ. කොට මහත, අං ඇතුල් පැත්තේ තියුණු දුර තිබෙන්නත් අවශ්‍යයි. මුහුණයි පපුවෙයි රැලි තියෙන්නත්, පළල් උරපත් අතර බෙල්ල කොටට වගේම මහතටත් මොල්ලියට ඉහළ එක රැල්ලක් වගේම පහළින් රැළි තුනක් තිබිය යුතුමයි. කොට කඳේ උර ඇට කවාකාර වෙන්න ඕනෑලු. එළුවකුගේ වගේ උස ඒත් වට මිටි කුරයෙන් හැදුණු පාද එකිනෙකට ඈතින් තියෙන්නත් අවශ්‍යයි. එතැනදී වල්ගයත් නොසලකා හරින්නේ නෑ. මුලින් මහත, ක්‍රමයෙන් සිහින් වෙන වල්ගය පස්සා ගාතයෙන් පහළට වැටෙන්නත් ඕනෑ. අණ්ඩ කෝෂ කුඩා වෙන්නත් අවශ්‍යයයි. එක බීජයක් ඇති මී ගොනා සැර වැඩියි කියලා තමයි සිංහල ගැමියෝ එදා දැනගෙන හිටියේ.
ලබන සතියේ තවත් කොටසක්










