
ලොව වයස්ගතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාව
මේ දිනවල ලොව පුරා පැතිරී යන කොවිඩ් 19 ව්‍යසනය හමුවේ වුව ද අන්තර්ජාතික ක්‍රිකට් පිටිය කාර්ය බහුල ය. පිරිමි ක්‍රිකට් තරගාවලීන්ට අමතරව, පසුගියදා ඩුබායිහි දී නිමාව දුටු දෙවැනි ඉන්දීය ප්‍රීමියර් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියත්, ඕස්ට්‍රේලියාවේ දී නිමාව දුටු හයවැනි කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියත් මෙහි දී අමතක කළ නොහැකි ය.
එහෙත් අප මෙම සටහන තබන්නේ එලෙස නිමවූ ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් නම් නොවේ. මේ සොබා දහමේ ව්‍යසන කොතරම් පැමිණිය ද ක්‍රීඩාව හේතුවෙන්ම ශක්තිමත්ව ජීවිතය හා සටන් වැද සිටින ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩිකාව ගැනය. ඒ එංගලන්තයේ ජීවත්වන හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන එයිලීන් ඈෂ් (Eileen Ash) ය. ඇය මේ වන විට පසුවන්නේ 109 හැවිරිදි වියේය.
ඇගේ සාඩම්බර ජීවිතය සම්බන්ධයෙන් සටහන් තැබීමට අප උත්සුක වූයේ කෝවිඩ් වැනි වසංගත හමුවේ තවමත් නොසැලී සිටින්නට තරම් ආත්ම ධෛර්යයක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න භාවයක්ද ඈෂ් සතු හෙයිනි. ඈෂ් සතු දීර්ඝායු විඳීමේ හැකියාව 'අළු' කරන්නට වසංගත වලටත් නොහැකිවීම අපූරුය.
ඈෂ් 1911 වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින එංගලන්තයේ ලන්ඩන් අගනගරයට ආසන්න හයිබරිහිදී මෙලොව එළිය දැක තිබේ. ඇය උපතින් එයිලීන් වෙලාන් නම් වූ අතර, පසුව එයිලීන් ඈෂ් නමින් ප්‍රසිද්ධියට පත්වූවාය.
ක්‍රිකට් ක්‍රීඩාව තුළ පන්දු යවන්නියක් ලෙස දස්කම් දැක්වූ ඈෂ් මුල්වරට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තේ 26 හැවිරිදි වියේ පසුවද්දී ය. ඒ 1937 වසරේ ජුනි මාසයේ 12 වැනිදා එංගලන්තයේ නොදර්ම්ටන්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ය.
දෙවැනි ලෝක යුද්ධය ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජන ජීවිතයට එල්ලකළ බලපෑමට මුහුණදීමට ඇයටද සිදුවිණි. ඒ ක්‍රිකට් තරග පැවැත්වීමට ද දෙවැනි ලෝක යුද්ධය දැඩිව බලපෑම් කළ හෙයිනි. ඒ බලපෑම අනුව එයිලීන් ඈෂ් දෙවැනි ලෝක යුද්ධයට පෙර සහ පසු යනුවෙන් අවධි දෙකකට බෙදුණු ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතයකට උරුමකම් කියන්නීය. එම අවධීන් දෙකේදීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම මව්බිම නියෝජනය කිරීමට හැකියාව ලැබිණි.
පළමු ටෙස්ට් තරගය 1937 වසරේදී ක්‍රීඩා කළ එයිලීන් ඈෂ් වසර 12ක කාලයක් එනම් 1949 වර්ෂය දක්වා ක්‍රිකට් ක්‍රිඩාවේ නියැළුණ ද ක්‍රීඩා කිරීමට හැකිව තිබුණේ ටෙස්ට් තරග 7කට පමණි. ඒ ඇයගේ දක්ෂතාවල අඩුවක් නිසා නොව දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ සෘජු බලපෑමෙනි. එම කාලය තුළ ඈ රැස්කිරීමට සමත්වූයේ ටෙස්ට් ලකුණු 38ක් පමණි. පන්දුයවන්නියක් වශයෙන් කඩුලු 10ක් බිඳ හෙළීමට ද ඇය සමත්වූවා ය.
1949 වසරේ මාර්තු මස 29 වැනි දින නවසීලන්තයට එරෙහිව වූ තරගයට සහභාගි වීම සැලකෙන්නේ ඈෂ්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වශයෙනි.
දිවි ගමනේ දින, සති, මාස සහ වර්ෂ ගතකරමින් පැමිණි ඇය 2011 වසරේදී තම ජන්ම ශත සංවත්සරය සැමරූයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ගෞරව යාවජීව සාමාජිකත්වය හිමි කරගනිමිනි. ඒ එවකට ජීවතුන් අතර සිටි ලොව වයස්ගතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාව යන ගෞරවයද සිය නම ඉදිරියේ සනිටුහන් කරමිනි.
2017 වසරේ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර එහි සීනුව නාද කිරීමේ අවසරය හිමිවූයේ එවකට 105 හැවිරිදි වියේ පසු වූ එයිලින් ඈෂ්ට ය. එම අවස්ථාව ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සිදුකළ දැවැන්තම උපහාරයක් විය. ඈෂ් අද යළි යළිත් සිහිපත් වන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අභියෝගයක් සේ සැලකෙන කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේද හමුවේත් නොසැලී සිටින්නියක වීම නිසාය. සමස්ත ලෝකවාසීන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රේම නොකළද ඈෂ්ට දීඝායු පතනු ඇත්තේ එකී කාරණාව ඉවහල් කරගෙනය.










