කෙළිබිම ජය ගන්න බාල කාලයේ දක්ෂයෙක් වෙමු | සිළුමිණ

කෙළිබිම ජය ගන්න බාල කාලයේ දක්ෂයෙක් වෙමු

අදටත් හෙටටත් එක සේ ගැළපෙන බේඩන් සාමිගේ බාලදක්ෂ ක්‍රීඩක පාඩම

ඔබ ව්‍යයාම්කළ යුතු යි. ඒත් ඔබ එය කළ යුත්තේ ශක්තිමත් මස් පිඬු ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නම් නෙවෙයි. ව්‍යායාම් කිරීමෙන් ඔබේ ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන් ක්‍රියාශීලීව පවත්වාගන්න පුළුවන්. ඒ වගේ ම සිරුරේ සෑම අංශයක ම රුධිර ධාවනය හොඳින් තබා ගැනීමට ද එය හේතුවක්

 ‘බේඩන් පවල් සාමිවරයාගේ බාලදක්ෂ පාඩම රටක සියලු දරුවන් බාල දක්ෂ පෝතකයන් බවට පත්කර ඔවුන් කායික හා මානසික ශික්ෂණයට පත්කරන්න හැකියාව උදාවෙන බවයි ‘ක්‍රීඩා’ හැඟීම. එය ක්‍රීඩාවට, ක්‍රීඩකත්වයට යහපත් උත්තේජනයක්, පදනමක්.’

“පුරෝගාමියාගේ ජීවිතය ප්‍රීතිමත් එකකි. එහෙත් එය ගත කිරීමේ දී ඔබට මුහුණපාන්නට සිදුවිය හැකි දුෂ්කරතාවයන් කලින් දැන සිටිය යුතු ය.”

බේඩන් පවල් සාමිවරයා එසේ පවසනවා. ඔහු කියන විදිහට බාලදක්ෂයා කියන්නේ සැබෑ පුරෝගාමියෙක්. ඒ ගැන ලබා දෙන උපදෙස් සංග්‍රහයක් ලෙස බාලදක්ෂ විද්‍යාව අත්පොත ගත හැකි යි. ක්‍රියාශීලි ජීවිතය තමයි ඔහුගේ පළමුවෙනි ඇගයීම. ඒ සඳහා ක්‍රීඩාව කොයි තරම් දුරට වැදගත් ද කියන කාරණයත් ඔහු දැන සිටියා. ඒ අනුව බාලදක්ෂයා තමන් විසින් ලෝකයට ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් වෙනුවෙන් ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී පුද්ගලයෙකු විය යුතු යි. ඒ වෙනුවෙන් ක්‍රීඩා කිරීම, දිවීම, ඇවිදීම ඒ වගේ ම බයිසිකල් පැදීම ශරීරයට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් වශයෙන් ඔහු හඳුනාගන්නවා.

බාලදක්ෂයා සැමවිට ම කළ යුතු දෙයක් තමයි එළිමහනේ නිදාගැනී ම. ජනේල වසාගෙන නිදා ගැනීමට පුරුදු වු ළමයෙකු නම් ඒ ආකාරයට එළිමහනේ නිදාගත් විට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නට පුළුවන්. ඔබ නිතරම ජනේල ඇර නිදා ගැනීමට පුරුදුව සිටින්නේ නම් නිකරුණේ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නෙ නැති බව සහතිකයි.

බේඩන් පවල් සාමිවරයා කියන විදිහට ඔහුට නම් කවදාවත් ජනේල වසාගෙන, තිර පහතට ඇදගෙන නිදා ගන්න එක පුරුදු ම නැහැ. පිටිසර ගත කරන කාල වල දී එළිමහනේ නිදා ගැනීමට තමන් මහත් සේ ප්‍රිය කරන බව ද ඔහු පවසනවා.

ඒ වගේ ම ඔහු මෙහෙමත් කියනවා. 'ඔබ ව්‍යයාම් කළ යුතු යි. ඒත් ඔබ එය කළ යුත්තේ ශක්තිමත් මස් පිඬු ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නම් නෙවෙයි. ව්‍යායාම් කිරීමෙන් ඔබේ ශරීර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන් ක්‍රියාශීලීව පවත්වාගන්න පුළුවන්. ඒ වගේ ම සිරුරේ සෑම අංශයක ම රුධිර ධාවනය හොඳින් තබා ගැනීමට ද එය හේතුවක් වෙනවා. එසේ හෙයින් සෑම උදයක ම හා සවසකම ව්‍යායාම් කිරීම සුදුසු බවට ඔහු නිර්දේශ කරනවා.'

ඒ වගේම තමයි දිනපතා ස්නානය කිරීම බාලදක්ෂයකු කළ යුතු යැයි පවසන ඔහු එසේ නොහැකි නම් ඇඟ සේදීමවත් අනිවාර්යයෙන්ම සිදුකරන්න තමයි උපදෙස් දී ඇත්තේ. මේ පෙන්වා දීම් සෑම දෙයක් ම බාලදක්ෂයන්ට මෙන් ම ක්‍රීඩකයන්ටත් කොතරම් වැදගත් ද කියන කාරණාව අමතක කරන්න එපා.

ඒ අනුව බාලදක්ෂයින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නාසයෙන් මිසක් කටින් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට හතිය ඇති වෙන්නෙ නැහැ. ඉක්මණින් වෙහෙස වෙන්නෙත් නෑ. ඒ වගේ ම වාතයේ ඇති නොයෙක් විෂබීජ ආශ්වාස කිරීමෙනුත් මිදෙන්න පිළිවන්. අන්න ඒ නිසා එහෙම අය රෑ නින්දෙන් ගොරවන්නෙත් නැහැ.

ඒ වගේ ම එළිමහනේ දී හොඳින් ආශ්වාස කිරීම වගේ ම ප්‍රමාණය ඉක්මවා එසේ නොකිරීමත් පෙණහලු වර්ධනයට මහත් සේ උපකාරී වෙනවා. රුධිරය පිරිසිදු වීමටත් (ඔක්සිජන් අම්ලකර වාතය ඇතුළු වීමටත්) එය ඉවහල් කරගත හැකියි. ඒ විදිහට ආශ්වාස කිරීමේ දී ඉළ ඇට හැකි පමණ දිග හැරෙනතුරු හොඳින් ඒ වාගේ ම සෙමින් හුස්ම ගත යුතු යි. මෙය කළ යුත්තේත් නාසයෙන් මිස කටින් නෙවෙයි. එයට ස්වල්ප වේලාවකට පස්සේ හෙමිහිට ක්‍රමවත්ව වැඩි වෙහෙසක් නොදැනෙන සේ හුස්ම පිට කළ යුතු යි.

මිනිසෙකු සිය ශරීර ශක්තිය හා කාර්යක්ෂමතාව වර්ධනය කර ගත යුත්තේ මක්නිසා ද? බේඩන් පවල් සාමිවරයා ඒ ප්‍රශ්නයට ත් පිළිතුරු දීලා තිබෙනවා.

“එසේ කිරීමෙන් නියම දේ, නියම අවස්ථාවට කිරීමේ හැකියාව වර්ධනය කරගත හැක. එසේ කටයුතු කිරීමෙන් කායික වශයෙන් සුදානම්ව සිටිය හැක.” ඒත් සමඟම ඔහු මෙසේ ද පවසනවා.

“ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨ දේවල් අතර හැදුණු වැඩුණු අයෙක් මට පෙන්වන්න. සත්‍ය වශයෙන් ම ඔහු සිය ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්නේ ය. ඔහු උදාර ආවේගයක් ඇත්තෙකි. ඔහු තමාගේ මිතුරන්ට නියම මිත්‍රයෙක් වන්නේ ය. තවද තම රටේ ධජයට අවංක වන්නේ ය.

මම එළිමහන් ක්‍රීඩා කරමි. එම ක්‍රීඩා අපහසුකම් මධ්‍යයේ කළ යුතු ඒවා වුව ද, ඉඳහිට, ඒවාට සහභාගි වන අයට තුවාල වීමට ඉඩ තිබුණ ද මම එය එතරම් සැලකිල්ලට නොගනිමි. ප්‍රමාණය ඉක්මවා ආරක්ෂා කිරීමෙන් තරුණයකු සුකුමාල ජීවිතයකට හුරු කිරීම ගැන මගේ සැලකිල්ලක් නොමැත. එළිමහන් ජීවිත ගත කරන පුද්ගලයකු නිතර ම ‘දිවියේ මුහුණදීමට සිදුවන තරගයේ’ වඩා හොඳින් ක්‍රියා කරයි. ඔබ ක්‍රීඩා කරන විට වෙහෙස වී ක්‍රීඩා කරන්න. වැඩ කරන විට මහන්සි වී වැඩ කරන්න.”

 

 

Comments