ක්‍රීඩාවේදී පරාජය දරාගන්න ඉගෙන ගන්න ඕනෑ | සිළුමිණ

ක්‍රීඩාවේදී පරාජය දරාගන්න ඉගෙන ගන්න ඕනෑ

IRANGANIE serasinghe

මම ටෙනිස්-පිහිනුම් වගේම දැල්පන්දුත් ක්‍රීඩා කළා

ඈ මාධ්‍යවේදිනියකි. ගුරුවරියකි. ඒ සියල්ලටම වඩා ප්‍රකට රංගනවේදිනියකි. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදැරීම ආරම්භ කළ ඈ කෙටි කලකින්ම කොළඹ බිෂොප් විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ක්‍රීඩාව සම්බන්ධයෙන් මූලික පරිචය ලැබූ අතරපසුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේද ශිෂ්‍යාවක් වූවාය. ඈ එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රීඩා විෂය කෙරෙහි දක්වන්නේ කවරාකාරයේ ආකල්පයක් ද යන්න සොයා බැලීමේ දුලබ අවස්ථාව පසුගියදා 'ක්‍රීඩා' සතු වූයේය. මේ කෘතහස්ත රූපණවේදිනියක වන අයිරාංගනී සේරසිංහ මහත්මිය තම ක්‍රීඩා ඇල්ම ගැන කළ දුලබ හෙළිදරවුව ය.

'මම මුලින්ම ඉස්කෝලෙ ගියෙ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. එතැන පොඩි කාලයක් ඉඳලා මාව මගේ මව්පියෝ බිෂොප් විද්‍යාලයට ඇතුළත් කළා. එතැන තමයි ක්‍රීඩාව ගැන මම හොඳින්ම ඉගෙන ගත්ත තැන.' අයිරාංගනී සේරසිංහ මහත්මිය අපහසුවෙන් වුව ද සෙමින් සිය ස්වරය අවදි කරවීය.

'ඒත් මම බිෂොප් විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය අවසන් කළේ නෑ. ඊට පස්සේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ආවා. එතැනදී තමයි මම ලංකා විශ්ව විද්‍යාලයට එන්න සමත්කම් පාන්නේ.' තම දසක හතකට අධික මතකයක යටගියාව ඈ අවුස්සන්නේ අසීරුතාවයෙන් විය යුතුය. එහෙත් අපි ඇයට කිසිදු බාධාවක් නොකොට අසා සිටියෙමු.

'විශ්ව විද්‍යාලයේදී මම ඉංගිරිසියි, ආර්ථික විද්‍යාවයි තමයි හැදෑරුවේ. ඒ වෙද්දී මම කැමැතිම ක්‍රීඩාව වෙලා තිබුණේ පිහිනන එක තමයි. ඒක පුදුම සැහැල්ලුවක් වුණා. මම දියකිඳුරියක් වගේ පිහිනන්න පටන් ගත්තා. ටෙනිස් ගහන්නත් හරිම කැමැතියි. පාසල් කාලයේ මම ටෙනිස් නායිකාවත් වුණා. දැල්පන්දු ක්‍රීඩාවත් කළා. එතැනදීත් මට දැල්පන්දු නායිකාව වෙන්න හැකියාව ලැබුණා.' ඈ කීවාය.

ඒ බිෂොප් විදුහලේ තම අත්දැකීම් සම්බන්ධයෙන් සිහිපත් කරද්දී ඇගේ මතකයට නැගෙන කරුණුය.

'චැප්මන් හවුස් එකට තමයි මාව ඇතුළත් කරලා තිබුණේ. ඒ නිවාසයේ ටෙනිස් වගේම පිිහිනුම් ක්‍රීඩාවෙනුත් නායිකාව වුණේ මම.' අයිරාංගනී සේරසිංහ මහත්මිය කියන්නේ සිය අතීතයේ ක්‍රීඩාවේ සශ්‍රීකත්වය සම්බන්ධවය. එය අලංකාර අතීතයක් වන්නට ඇතැයි සිතිය හැකිය. සොඳුරු, හුරුබුහුටි ක්‍රීඩිකාවක ලෙස අයිරාංගනී සේරසිංහ මිද්දෙණිය ඔබට කිසිදා දකින්නට ලැබෙන්නේ නැතැයි කැට තබා කිවහැකිය. ඒ ඈ සතුව අතීතයේ පාසල් යුගයේ ක්‍රීඩා ඡායාරූප කිසිවක් නොමැති හෙයිනි. එහෙත් එය මනසින් චිත්‍රණය කරගන්නට ඔබට ඇති හැකියාව අප අවතක්සේරු නොකරන බව කිවයුතුය. එය ඔබේ කුසලතාවයකි.

'කොහොමත් මම අදත් පින්තූර පස්සෙන් යන්නෙ නෑ. ඒ නිසා මගේ ළඟ පින්තූර එකතුවක් නෑ. ඒ අතීතය මතකයක් විතරයි. එය ස්වර්ණමය මතකයක්.' ඈ කියන්නීය.

'අපේ විද්‍යාලයේ තිබුණු නිවාස හතර වුණේ හෙන්ලි, ෆෝර්ඩ්, චැප්මන් හා කොප්ලෙස්ටන් කියන නිවාස හතර. මගේ නිවාසයේ පාට නිල් සහ රන් පාට. ඒකෙ තේමාව වුණේ එකමුතුව ශක්තියයි කියලයි.' ඈ සිහිපත් කරන්නේ ශක්තිමත් ස්මරණ ශක්තියක් තමාට ඇති බව ප්‍රකට කරවමිනි.

'රංගවේදිනියක් නොවී ක්‍රීඩිකාවක් වෙන්න මගේ ජීවිතය තුළ යම් සම්භාවිතාවක් තිබුණද කියලා නම් මට කියන්න බෑ. මොකද ඒ කාලේ වෘත්තීය ක්‍රීඩාවක් කියලා දෙයක් තිබුණේම නෑ. ක්‍රීඩාව කළේ විනෝදයට. සැහැල්ලුවට. ජීවිතය වෙනුවෙන් අධ්‍යාපනය නිවැරදිව කරලා වෘත්තියකට පිවිසිය යුතුයි. අද ගැන හිතද්දී මම ක්‍රීඩාව මගේ වැඩි අවධානය බවට පත්කරගත්තා නම් අනිවාර්යෙන්ම ටෙනිස් ක්‍රීඩිකාවක් වේවි.' සේරසිංහයන් පවසන්නේ සැහැල්ලුවෙනි.

'හැබැයි දැන්නම් මම ක්‍රීඩාව බලන්නේම නෑ. ඒ නිසා වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගැන දන්නේ නෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඇල්ම දක්වන අසවල් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ කියලා කවුරුවත් මට නෑ.' ඇය කියන්නේ අවංකවය.

රංගනවේදිනයක් ලෙසින් අතිශය විශිෂ්ට භාව නිරූපිකාවක ලෙස රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේදී ද දක්ෂතා දක්වා ඇති හෙයින් අප ඇසූයේ ඇය රංගනයෙන් දායක වූ සුපක්‍රට ටෙලි සිනමා සිත්තමක් වන 'යශෝරාවය' හා ක්‍රීඩාව පිළිබඳවය.

'එතැන ක්‍රීඩා කරන දරුවෝ නෑ. ඒකටත් හේතුවෙන්න ඇත්තේ අද තරම් එදා ක්‍රීඩාව වානිජකරණයවී නැතිනිසා වෙන්න ඇති. හැබැයි එතන චරිත ගෙතිලා තියෙන විධිහට යශෝරාවය ඇතුළේ ජීවත් වෙන මගේ දරුවෙක් ක්‍රීඩකයෙක් කරන්න මම කවදාවත් අකමැති වෙන්නේ නෑ. මොකද ක්‍රීඩාව කියන්නේ සැවොම නිරතවිය යුතු දෙයක් නිසා. ඒකට වයස් භේදයක් නෑ. අනෙක ක්‍රීඩාව කිව්වහම තරගකාරී ක්‍රීඩාවක්ම වෙන්න ඕනෑ නෑ' යැයි පවසද්දී සේරසිංහයන් සතු ප්‍රභාමත් කටහඩ වෙහෙසකර ස්වරයකට පත්වෙමින් තිබිණි.

'මම ක්‍රීඩාවක නියැලුණාට ඇසුරු කරන ක්‍රීඩිකාවෝ ක්‍රීඩකයෝ නම් දැන් නෑ. ඒ වගේම තරග නරඹන්න යන්නෙත් නෑ' ඇය පවසන්නීය.

අපි ඇයට බාධා කරමින් නිවසේ වෙසෙන විට ක්‍රීඩාවේ නියැලෙන්නේදැයි විමසීමට අමතක නොකළෙමු. 'ඔව්. මම ගෘහස්ථ ක්‍රීඩාවේ නියැලිලා තියෙනවා. ගෙදර ඉඳිද්දී කැරම් ක්‍රීඩා කළා. මගේ සහෝදර, සහෝදරියන් වගේම මව පියා එක්ක ඒ විධිහට කැරම් ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි එතැනදී ජයග්‍රහණය හඹාගියේ නම් නෑ. අපිට අවශ්‍ය වුණේ ක්‍රීඩා කිරීමයි. එහෙම කරලා අපි හොඳට විනෝද වුණා. ඒක තමයි ඇත්තටම ක්‍රීඩාවේ අරමුණ වෙන්නේ.' අයිරාංගනී සේරසිංහ මහත්මිය පැවසූවාය.

'ක්‍රීඩා කරද්දී ඉගෙන ගන්න ඕනෑ සැමවිටම ජයග්‍රහණ සමරන්න නොවෙයි. ඒක දිනුවහම ලැබෙන දෙයක්. නමුත් අපි පුරුදු වෙන්න ඕනෑ පරාජය විඳගන්න. ඒක තමයි වැදගත්. එතැන හරියට ඉගෙන ගත්තොත් ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. මුළු ජීවිතයටම ඒ දරාගැනීමේ හැකියාව පාඩමක් කියලා දෙනවා. මට නම් දිනන පැත්තෙ හිටියත් පරාජිත පැත්තේ හිටියත් ගැටලුවක් නෑ. ක්‍රීඩාවේ නියමාර්ථය තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ.' ඈ ප්‍රකාශ කරන්නේ සතුටිනි.

'ජීවිතය කියන්නේ පෙණ බුබුළක් වගේ. ඇතිවෙනවා නැතිවෙනවා. උපදිනවා, මියයනවා. ඒක ගැටලුවක් නොවෙයි. අපි ක්‍රීඩාවෙන්, කලාවෙන් ඒ දේ තේරුම් ගන්න මානසික ශක්තිය ඇතිකරගන්න සමත් වෙනවා කියලයි මම හිතන්නෙ.' සන්ධ්‍යා හිරු බැස යමින් ඇති මොහොතක ක්‍රීඩා හා පැවැති සාමීචිය අවසන් කරමින් අයිරාංගනී සේරසිංහ මිද්දෙණිය මහත්මිය පැවසූවාය. ජිවිතයේ අනූ තුන් වැනි විය ගෙවමින් සිටින ඇයට චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව උදාවේවා යැයි ක්‍රීඩා සුබාසිංශන කරමින් ඇගේ සුව අසපුවෙන් අපි නික්මුනෙමු.

සටහන හා ඡායාරූප - සුදම් ගුණසිංහ

 

Comments