ලොව වටා | සිළුමිණ

ලොව වටා

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර යළිත් බෝම්බ පිපිරීම්

 

වසර කිහිපයක නිහැඬියාව බිඳිමින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අතිශය ජනාකීර්ණ වීථියක් වන ටයිරාන් හිදී පසුගිය බ්‍රහස්පතින්දා දින බෝම්බ දෙකක් පිපිරී ගියා.

මේ බෝම්බ රැගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශවල සැකයට භාජනය වීම හේතුවෙන් ඔවුන් එය පුපුරවා ගන්නට ඇති බව ප්‍රකාශ වනවා. මේ පිපිරීමෙන් පුද්ගලයන් තිහකට ආසන්න පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලැබු බව සඳහන්. මෙහි විශේෂම කරුණ වුයේ අදින් වසරකට පමණ පෙර බැග්ඩැඩ්හි නිතිපතා බෝම්බ පිපිරුනද එය ලොව පුරා මාධ්‍යවලට පුවතක් නොවූ නමුත් මාස කිහිපයක නිහැඬියාවකින් පසු පුපුරා ගිය මේ බෝම්බ ලොව පුරා උණුසුම් පුවතක් ලෙසින් වාර්තා වීමයි.

 

 

වටස්ඇප් පාරිභෝගිකයන්ට බය වෙයි

 

ලබන මස අටවැනිදා සිට ක්‍රියාත්මක කරන බවට දැනුම් දුන් වට්ස්ඇප් යාවත්කාලීනය කල් දැමීමට සමාගම තීරණය කර තිබේ. මේ සඳහා ඔවුන්ට හේතු වී ඇත්තේ සමාජය පුරා වට්ස්ඇප් යාවත්කාලීනය සම්බන්ධව ඇතිවෙමින් පවතින අප්‍රසාදය බවද වාර්තා වේ. වට්ස්ඇප් යාවත්කාලීනය සමග එය භාවිත කරන පාරිභෝගිකයන්ගේ දත්ත නිල වශයෙන් සමාගමට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන බවට පාරිභෝගිකයන් තර්ක කළ අතර මේ යාවත්කාලීනයට විරෝධය දැක්වීමට වට්ස්ඇප් භාවිතයෙන් ඉවත්ව වෙනත් තොරතුරු හුවමාරු මාධ්‍ය සමඟ එක්විය යුතු බවට ලොව පුරා මහජන මතයක්ද ගොඩනැගෙන්නට විය. මේ යාවත්කාලීනය සම්බන්ධව තම විරෝධය පළ කරන්නන් අතරට එක්වූ ලෝක ප්‍රකට ව්‍යාපාරික එලෝන් මස්ක් පවසා සිටියේ වට්ස්ඇප් වෙතින් ඉවත්ව ‘සිග්නල්‘ හා සම්බන්ධ විය යුතු බවයි.

 

බ්‍රිතාන්‍ය සියලු ගුවන් ගමන් නවතයි

 

දරුණු ලෙස පැතිර යමින් පවතින කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයෙන් තම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සියලු ගුවන් ගමන් ලබන පෙබරවාරි 15වැනිදා දක්වා නවතා දමන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පසුගියදා පවසා සිටියේය.

මේ අනුව බ්‍රිතාන්‍යයට ඇතුළුවීම දකුණු අප්‍රිකානු රටවලට සහ බ්‍රසීල ජනතාවට මුළුමනින්ම තහනම් වනු ඇති අතර, බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවශ්‍ය අයෙක් තමන් ආසාධිත නොවන බවට තහවුරු කළ යුතු වනු ඇත. එමෙන්ම ඉදිරියේදී බ්‍රිතාන්‍යයට පැමිණෙන ඕනෑම අයෙක්ට දින 10ක නිරෝධායන කාලයක් පැනවීමටද කටයුතු කරන බව බ්‍රිතාන්‍ය බලධාරීහු දන්වා තිබේ.

 

හොංකොං සරණාගතයෝ ඇමරිකාවේ සහය ඉල්ලති

 

චීනය විසින් හොංකොං ජනතාව වෙනුවෙන් පනවා ඇති නව නීතිවලට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්වීම සම්බන්ධව වැරදිකරුවන් වූ තවත් පුද්ගලයන් පස් දෙනෙක් ඇමරිකාවට පලා යෑමට සමත් වී ඇති බව වාර්තා වේ.

මේ විරෝධතාකරුවන් බෝට්ටුවක් මගින් තායිවානය කරා ගොස් ඇති අතර එතැන් සිට ඇමරිකාවේ වොෂිංටන් කරා ගොස් තිබේ. ඔවුන් මේ වන විට ඇමරිකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි වාර්තා වේ. චීනය හොංකොං දේශයට සිදුකරන මැදිහත්වීම්වලට එරෙහිව මේ වන විට වසර හතරක පමණ කාලයක් පුරා විරෝධතා ක්‍රියාත්මක වේ. මේ විරෝධතා ඉතා සාමකාමී ලෙස ක්‍රියාත්මක වුවද, එම විරෝධතා ව්‍යාපාර මර්දනය කිරීමට, දහස් ගණනින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට හොංකොං බලධාරීහු කටයුතු කරමින් සිටී.

 

බ්‍රයිඩ්ස් මේඩ් ආච්චි

 

බ්‍රිතාන්‍යයේ දැඩි සේ පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් වියපත් මිත්තණියකට මනාලියකගේ යෙහෙළියක බවට පත්වීමේ වරම් ලබා දී තිබේ. මේ මනාලිය මේගන් නම් වන අතර මනාලයා තෝමස්ය. ඔවුන් දෙදෙනා පසුගිය වසරේදී විවාහ මංගල්‍යය සැලසුම් කර තිබූ අතර ආරාධිතයන් 200කට ඒ සඳහා ආරාධනා කර තිබිණි. එහෙත් මංගල උත්සවය කල් දැමීමට සිදුවූයේ වසංගතය දැඩි සේ පැතිර ගිය බැවිනි. මේ වන විටත් වසංගතයේ නිමාවක් දක්නට නොලැබෙන බැවින් පවතින නීති රීති යටතේ මංගල උත්සවය සරලව පැවැත්වීමට අවසානයේ මේගන් සහ තෝමස් තීරණය කළහ. උත්සවයට සහභාගී විය හැකි පිරිස 15ක් පමණක් වන බැවින් මනාලියගේ යෙහෙළියන් සඳහා එම ආරාධිතයන් 15 දෙනා අතරට නිශ්චිතවම එක්වන තම මිත්තණියන් දෙදෙනා යොදා ගැනීමට මේගන් තීරණය කළාය. අවසානයේ ඒ හේතුවෙන්ම ඇයගේ මංගල උත්සවය ඉතා සුන්දර වූ අතර එයට ලොව පුරා ප්‍රසිද්ධියද හිමි විය.

 

 
ටිරෝනි වෑවලගේ

Comments