අභ්‍ය­ව­කාශ තර­ග­යට බ්‍රැන්ස­නුත් | සිළුමිණ

අභ්‍ය­ව­කාශ තර­ග­යට බ්‍රැන්ස­නුත්

ලෝක ප්‍රකට බිලියනපති රිචඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් ඔර්බිට් සමාගම යටතේ ප්‍රථම චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම පසුගියදා සාර්ථකව සිදුවිය. වර්ජින් සමාගම සතු අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීම වෙනුවෙන්ම ප්‍රති නිර්මාණය කළ යානයක් යොදා ගනිමින් මේ චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීම සිදුකළ අතර සියල්ල සාර්ථකව සිදු වූ බවද නිවේදනය කර තිබිණි.

මෙලෙස වර්ජින් සමාගම විසින් අභ්‍යවකාශගත කර ඇත්තේ නාසා ආයතනය විසින් නිපදවන ලද චන්ද්‍රිකා දහයකි.

ශ්‍රීමත් බ්‍රැන්සන්ගේ මේ අභ්‍යවකාශ ව්‍යපෘතිය නාසා ආයතනය සමඟ එක්ව සිදුකළ අතර රොකට් විදිනය වර්ජින් සමාගම සතුවූ අතර චන්ද්‍රිකා අභ්‍යවකාශය කරා ගෙන ගිය රොකටය කැලිෆෝර්නියාවේ ලෝන්ග්- බීච් හි සමාගමක් සතුය. එය ‘ලොන්චර්වන්‘ යනුවෙන් නම් කර තිබූ අතර මේ රොකට් අභ්‍යවකාශය කරා යැවීම සඳහා යොදාගෙන තිබුණේ ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් සතු වූ බෝයිං 747 ගුවන් යානා අතරින් එකකි. එම ගුවන් යානය අභ්‍යවකාශ රොකට් විදීම සඳහා ප්‍රතිනිර්මාණය කර තිබූ අතර එය ‘කොස්මික් ගර්ල්‘ යනුවෙන් නම් කර තිබිණි. මේ යානය මගින් රොකටය පැසිෆික් සාගරයට අඩි 35,000කට වඩා ඉහළ ගෙන ගොස් වායුගෝලය විනිවිද යා හැකි වේගයකින් අභ්‍යවකාශය දක්වා යොමු කර තිබේ. මේ සඳහා යානයට විශේෂ නිව්ටන් බලයක් සහිත එන්ජිමක්ද ස්ථාපිත කර තිබේ.

මීට පෙර බ්‍රැන්සන්ගේ වර්ජින් සමාගම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙලෙස රොකට් යානයක් අභ්‍යවකාශය කරා යැවීමේ උත්සාහයක නිරතවූ අතර එය අසාර්ථක විය. මෙවර එය සාර්ථක වූ අතර, කුඩා චන්ද්‍රිකා දහයක් අදාළ ස්ථානවල නියමිත පරිදි ස්ථාපිත කිරීමටද නියමුවන්ට හැකි විය.

මේ සම්බන්ධව විදෙස් මාධ්‍ය වැඩි ඉඩක් ලබා දී තිබුණේ මේ වන විට අභ්‍යවකාශය ජය ගැනීමේ ව්‍යාපාරිකයන් අතර වන තරගයට මේ සමඟ තවත් තරගකරුවකු එක් වන බැවිනි. මීට පෙර ලෝකයේ ඉදිරියෙන්ම සිටින බිලියනපතියන් වන එලෝන් මස්ක්, ජෙෆ් බේසස් වැනි ව්‍යාපාරිකයෝද අභ්‍යවකාශ ව්‍යාපෘතීන්වල ආයෝජනයට කටයුතු කළහ. ඔවුන් වැඩි දෙනා උත්සාහ කර සිටියේ නාසා ආයතනය සමඟ හවුල්කරුවන් ලෙස ආයෝජනය කරමින් අභ්‍යවකාශ ව්‍යාපෘතීන්ගෙන් ලාභ ඉපයීමටය. දැන් ඔවුන් අතරට රිචඩ් බ්‍රැන්සන්ද එකතු වී සිටින අතර අභ්‍යවකාශය ජය ගැනීමේ ව්‍යාපාරිකයන්ගේ තරගය තවත් උණුසුම් වන බවට සලකුණුද දැකගත හැකිය.

ව්‍යාපාරිකයන් අතර මෙලෙස අභ්‍යවකාශය ජය ගැනීම සඳහා වන තරගය මේ වන විට ලෝකයේ ව්‍යාපාරිකයන්ගේ අරමුණු වෙනස්ම ඉසව්වක් කරා රැගෙන යමින් තිබේ. මේ වන විට ව්‍යපාරිකයන්ට අමතරව ලෝකයේ විවිධ රටවල්ද අභ්‍යවකාශය ජය ගැනීමට කටයුතු කරමින් සිටී. ජපානය මෙන්ම ඉරානයද ඒ අතරට අයත්ය.

 

 

ටිරෝනි වෑවලගේ

Comments